spot_img
spot_imgspot_img

“ජනපති මැදුර විනාසයි. රිලව් රැළක් වැනසූ නිවසක් වැනියි” අරගලකරුවෙකුගේ පාපොච්ඡාරණයක්

පුවත්

විදෙස්

අරගලකරුවන් විසින් අත්පත්කරගත් කොළඹ ජනාධිපති මන්දිරය හෙවත් “රජ ගෙදර”  දැන් රිලවුන් විසින් වැනසූ ස්ථානයක් මෙන් දිස්වන්නේ යැයි ඊයේ අරගලයට සහභාගී වූ පුබුදු ප්‍රියංග ජයසිංහ තම facebook පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

ඔහු පවසන්නේ ඊයේ දවහල් ඔහු මන්දිරය ඇතුලට යද්දී එහි තිබූ බඩු මුට්ටු කිසිවක් කැඩී බිඳී නොතිබුණු බවයි. අරගලය කරපු සියලු දෙනාගේ ඉල්ලීම වූයේ ඒ සියල්ල ආරක්ෂා කරන්න යැයි ද ඔහු කියා සිටී. මේ බව ශබ්ද විකාශන යන්ත්‍රවලින් පවා වරින් වර පැවසූ බවත් කිසිසේත් ම පොදු දේපළක්වන මේ මන්දිරයට සහ එහි ඇති කිසිම දේකට හානි  නොකරන්න යැයි ඉල්ලා සිටි බව ද පුබුදු ප්‍රියංග ජයසිංහ කියා සිටියි.

නමුත් ජනාධිපති මන්දිරය ඇතුළත හා ඉන් පිටත පැමිණි පිරිස් විනෝද වීමට පටන් ගැනීමත් සමඟ  ඒ සියල්ල විනාශ වී තිබේ.

නානකාමරවල යට ඇඳුම් පිටින් නාගෙන, සෝෆාවල පෙරැළී නිදාගෙන, ඇඳන් උඩ පෙරළෙමින් පොර අල්ලා, කුස්සියේ උයාගෙන, පිහිනුම් තටාකයේ නාගෙන, සිංදු කියා බජව් දමා, සෙල්ෆි ගසා, වීඩියෝ කර හිතේ හැටියට ලයිව් දීලා විවෘත කළ හැකි සෑම දොරක්ම විවෘත කර, අගුලු කඩා තල්ලු කර පෙරළා මේවා අපේ සල්ලි කියා දැඟලූ පසු දැන් අපේ කියූ සියල්ල විනාශ වෙමින් පවතී.

ඔහු පවසන්නේ තමන් අද දිනයේ ද එහි ගිය බවයි. දහස් ගණන් ජනතාව ජනාධිපති මන්දිරයට යන එන බවත් දැන් මන්දිරය වෙනස් වී ඇති බවත් පුබුදු පවසයි.

“පුටු කඩලා, දොරවල් කඩලා, ඇඳං කඩලා, ටැප් ෂවර් බාත්රූම් ඇක්සසරිස් කඩලා, ටීවි පෙරළලා බිඳලා, ඇන්ටික් බඩු පෙරළලා , කඩලා, පාටිෂන් කරලා තිබුන රහස් කාමරවල බිත්ති කඩලා හිල් කරලා, සෝෆා සෙටි පාගලා විනාස කරලා, කුස්සි වනසලා, පිඟන් බඩු තිබුන කාමරේ තිබුණ පිඟං අඩු වෙලා, වීදුරු අඩු වෙලා, වයින් වීදුරු අතුරුදන් වෙලා, පිඟං කෝප්ප සෙට්ස් කෑලි කෑලි අඩු වෙලා, පවර් කෝඩ්, ප්ලග් වල ඉඳං වයර් කෑල්ලකට එනකං වනසලා.

කොටින්ම අර ගෙවල්වලට කවුරුත් නැති වෙලාවට රිලව් පැනලා විනාස කරලා දාන්නෙ, අන්න ඒවගේ.

දැන් මේ විනාශ කරලා තියෙන්නේ ” අපේ සල්ලි” නෙමේ ද ?

ජනාධිපති මන්දිරය යනු ගෝඨාභය රාජපක්ෂගේ හෝ රාජපක්ෂ පවුලේ දේපළක් නොවේ. එය ශ්‍රී ලංකා ජනතාව සතු පොදු දේපළකි. එය නිල නිවසක් ලෙස තිබුණ ද එය රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පවත්වන ස්ථානයයි. රටේ සාඩම්භර බව ගාම්භීරත්වය, විදේශ රාජ්‍ය නායකයාගේ සිට කියාපාන නිල ස්ථානයකි. මෙතැන මේ විදියට විනාශ කර දැමිය යුතු ද ?

මේ වනවිට එම මන්දිරයට සිදුව අති අලාභය කෝටි ගණනකි.

අරගලකරුවන් විසින් මේ අත්පත් කරගත්තේ ශ්‍රී ලංකාවේ සිටි අවසන් රාජ්‍ය නායකයාගේ මන්දිරය නොවේ. එය මේ රටේ මතු රාජ්‍ය නායකත්වය දරන ඕනෑම අයකුගේ නිල නිවසන්යි. රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් තබන ස්ථානයයි.  දැන් එය නැවත ගොඩනැගීමට කෝටි ගණනක් වැය කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා ජනාධිපති මන්දිරයේ විනෝද වූ අය පමණක් නොව ඈත පිටිසර ගමක ලෙඩ ඇඳේ වැතිර සිටින මහල්ලා දක්වාමත්, හෙට උපදින දරුවා දක්වාත් වන්දි ගෙවනු ඇත.

“ගේට්ටුවෙ ඉඳලා ගෙදර ප්ලග් පොයින්ට් එකට එනකං තියන හැම අස්සක් මුල්ලක්ම ආපහු හදන්න කීයක් යයි කියලා හිතාගන්න පුලුවන්ද ? කෝටි වලින් නිකං හිතලා එස්ටිමෙිට් එකක් හදන්න පුලුවන්ද? කීයක් විතර එයිද?

එ්වට සල්ලි එන කෙනා අරං එයිද?

නෑනෙ නේද?” යනුවෙන් පුබුදු ප්‍රශ්න කරයි.

ඔහු පවසන්නේ තමන් ඊයේත් (09) සහ අදත් (10) මේ ජනාධිපති මැදුර සියැසින් දුටු බැවින් මේ විනාශය ගැන ඇත්තටම තරහක් ඇති වූ බවයි.

“අරගල කරපු මිනිස්සු අරගල කරලා ගෝටාභය තනතුරෙන් යනතැනට අරගලය ගෙනාවා. ඒ මිනිස්සු ජීවිත පිදුවා, තුවාල වුණනා, ජල ප්‍රහාර කෑවා, කඳුළු ගෑස් කෑවා, ගුටි කාලා, ලේ හළලා, කතා අහලා, නොකා නොබී තමන්ගෙ දාඩිය කැපකරා. දවස් ගානක් අරගල බිමට ගිය මම දන්නවා ඒ අරගලේ තිබුන හැටි. ආදරයෙ අරගලයේ හැටි. ඒක ඇතුලෙ තිබුන කලාව, සාහිත්‍යය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට මිනිස්සු ගියාම අරගල වේදිකාවෙන් ඇහුනෙ කිසිම හානියක් කරන්න එපා හැමදේම පරිස්සම් කරන්න අපිට තියේනනේ ගෝඨාභය ගෙදර යවන්න ඕනකම මිසක් ගොඩනැගිළි දේපල එක්ක තරහක් නෙමේ. ඒ වගේම ඒ කොල්ලො කෙල්ලො ඒක පිළිපැද්දා. ඒ මිනිස්සුම තමයි ඒ තැන්වල පෝස්ටර් එල්ලුවෙ “කඩා බිඳ දාන්න එපා පරිස්සම් කරන්න, ඇති තරම් බලන්න” කියලා.”

නමුත් පුබුදු පවසන්නේ මේ වනවිට ජනාධිපති මන්දිරේ තත්වෙ ඛේදජනක බවයි.

“මේවා අපේ සල්ලි යකෝ මේවා අපේ අම්මලගෙ තාත්තලගෙ දාඩිය මහන්සිය” ගගා කෑගහපු අය නං ඇති තරම් දැක්කා, ඒත් ඒ මිනිස්සු එහෙම කෑ ගැහුවෙ ලඟ තිබුන පුටුවක් උඩ කකුල් දෙකම උඩට අරං ඉඳගෙන ඉන්න ගමන්. සමහර විට මේවා අපේ සල්ලි නිසා අපි මේවට ඕන එකක් කරාට කමක් නෑ කියලා හිතෙනවද දන්නෙත් නෑ, ඉතිං මට නොතේරෙනවද දන්නෑනෙ.” යනුවෙන් ඔහු සඳහන් කරයි.  

ඔහු පවසන්නේ මේ විනාශය කළේ ගෝල්ෆේස් අරගලකරුවන් නොවන බවයි. ඒ වගේම ඔවුන්ගේ තනි නොතනියට දවස් 90ක පුරා හිටපු අරගලයට ආදරය කරපු මිනිසුන් නොවන බවත් “මේ අපේ සල්ලි යකෝව්” මූඩ් එක අනවශ්‍ය තරම් ආරූඪ කරගත්තු විඥානයක් නැති මිනිස්සු බවත් ඔහුගේ අදහස වී තිබේ.

“එයාලා ආතල් එක ගැන විතරක් හිතුවා මිසක්, අනාගතයක් ගැන හිතුවෙ නෑ. මං වැරදිද දන්නෑ ඉතිං. මට හිතෙන හැටි ඒ.” පුබුදු එසේ ලියා තිබේ.  

මට හිතෙන්නෙම “මේවා අපේ සල්ලි බොලව්” කියන වාක්‍යයේ තේරුම තාම අපිට හරියට තේරුම් ගන්න බැරිවෙලාවත් ද කියලා.

“නැත්තං උඩිං ගිහිං “අ‍ඩෝ ගෝඨාගේ ඇඳ නේද ඩෝ” කියලා ඩෝං ගාල ඇඳට පැනලා තුන් හතර පාරක් බම්ප් වෙලා උඩ නැගලා සෙල්පි ගහන්න හිතෙන්න විදිහක් නෑනෙ. අවුරුදු සියගානක් පරණ කැබිනට් ලාච්චු ඇදලා ඇදලා කඩලා දාන්න හිතෙන්නෙ නැතිවෙන්න එපැයි නේද? පිඟං කෝප්ප බිමදාලා කඩන්න, ස්ටැචූ පෙරලලා අහු මුළු කඩලා දාන්න හිතෙන්න විදිහක් නෑනෙ නේද?” යනුවෙන් පුබුදු ප්‍රශ්න කරයි.  

මං හිතාගෙන හිටියෙ ජනාධිපති මන්දිරය කියන්නෙ ජනාධිපතිවරයෙක් තමන්ගෙ ධූර කාලය අතරතුරේදි වාසය කරන්න හැදිලා තියන තැනක් කියලා. තව අවුරුදු ගානකුත් අපෙනුත් පස්සෙ අපේ ළමයින්ගෙ කාලෙ වෙද්දිත් ඒ ඉන්න ජනාධිපතිට වාසය කරන්න හදපු නිල නිවස කියලා.

ඒක ගෝඨගෙ ගෙදර, අඩෝ ගෝඨා මාර සැපක්නෙ විඳලා තියෙන්නෙ “අපේ සල්ලි” වලින් කියලා මට නොහිතුනෙ මගෙ කුමක් හෝ දුර්වලකමක් නිසාද කියලා මට තේරෙන්නෙ නෑ. අනේ එහෙමනං සොරි හොඳේ. මට එහෙම හිතුනෙ නෑ.

ඇත්තටම මට හිතුනෙ ෂිහ් මාර ප්ලේස් එකක්නෙ මේක, මේක ඩිසයින් එක මාර ඩිසයින් එකක්නෙ, මේක ජෙෆ්රි බාවාගෙ ද දන්නෑ, මාර ෆ්ලෝර් ප්ලෑන් එකක්නෙ තියෙන්නෙ, බලකො ඇන්ටික් බඩු ටික, අඩෝ මේ කාලකන්නි මේවා කඩලා විනාස කරලා නොදකිං මේවා ආපහු හදන්න පට්ට වියදමක් යයි ය‍කෝ කෝටි ගානක්, යකෝ තොපි ඇඳක් මේසයක් දැකලා නැද්ද ඕයි………. වගේ සිතුවිලි.

අනේ මංදා ඉතිං.

එහෙම හිතෙන එක අමුතුයි ද ?

දවස් දෙකේම ඇවිදලත් එක බඩුවක් මුට්ටුවක් අල්ලපු උස්සලා බලපු නැති මට හිතුනෙ එහෙම.

මට හිතෙන්නෙම , අරගලේ තාම ඉවර නෑ කියලා.

පුබුදු ප්‍රියංකර ජයසිංහ සිය facebook ගිනුමේ තැබූ සටහනක් ඇසුරිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!