පාසලේ විනයභාරව සිටි බෞද්ධ භික්ෂුවකගේ ලිංගික අතවරයට ලක්වුව ද පාසලේ ගුරුවරුන් ඇතුළු පාලන අධිකාරිය විසින් ඒ පිළිබඳ නොතකා හරිමින් පීඩනයට පත්කිරීම හේතුවෙන් හිංසනයට පත්වූ සිසුවකු මාධ්‍යවේදියකු බවට පත්වීමෙන් අනතුරුව තමන් මුහුණ දුන් ඒ දුක්ඛිත ඉරණම පසුගිය දා හෙළිදරව් කළේය.
මෙම මාධ්‍යෙව්දියා පවසන්නේ තමන්ට අතවර කිරීමට උත්සාහගත් බෞද්ධ භික්ෂුව පසුගියා ද මියගිය බවයි. ඔහුගේ මරණයට හේතුව ලිංගිකාශ්‍රිත රෝගයක් බව ද අනාවරණය වී තිබේ. මේ වනවිට එම භික්ෂුව ඇසුරුකළ කුඩා සාමනේර හිමිවරුන්, කාන්තාවන් සහ පාසල් සිසුන්, පුහුණු ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් රුධිර පරීක්ෂණ සඳහා යොමුකිරීමට පවා සිදුව ඇතැයි එම මාධ්‍යෙව්දියා හෙළිදරව් කරයි.
තිවංක විශ්වනාත් ජයසේකර නම්වන මෙම මාධ්‍යෙව්දියා පවසන්නේ 2006 පෙබරවාරි මාසයේ තමන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වෙමින් සිටිය දී මහනුවර, වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ දී එම අතවරයට ලක්වූ බවයිි. ඒ පිළිබඳ එවකට පාසලේ සිටි ගුරුවරුන්ට, තම සහෝදර සිසුන්ට දැනුම් දුන්න ද අතවර සිදුකළ බෞද්ධ භික්ෂුවට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් ඔවුන් තමන්ට දිගින් දිගටම බලපෑම් සහ හිරිහැර සිදුකරමින් අපහසුතාවට පත්කළ බව ද කියයි.
අදාල බෞද්ධ භික්ෂුව දිගටම එම විද්‍යාලයේ සේවය කළ බව ද තමන් දැනුම්වත්ව තවත් සිසුන් කිහිප දෙනකුම ඔහු තම ලිංගික අවශ්‍යතා වෙනුවෙන් යොදාගත් බව ද පසුව පාසලෙන් ඉවත්ව ගිරාගම ගුරුවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක්ව සිටිය දී මියගිය බව ද මෙම ජයසේකර අනාවරණය කරයි.
“ඒ 2006 පෙබරවාරි මාසය, මම ඉගෙනගත්තු මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විද්‍යාල දිනය සැමරීම වෙනුවෙන් සාහිත්‍ය සහ කලාව සම්බන්ධ තරඟ පැවැත්වුණා. මම එ් වනවිට ඉගෙනුම ලබමින් සිටියේ 11 ශ්‍රේණියේ ඩී කොටසේ. මේ විනිශ්චය මණ්ඩලයට හාමුදුරුවෝ හිටියා. හාමුදුරුවෝ මට විශේෂ අවධානනයක් ලබාදුන්නා. මට ඇත්තටම හාමුදුරුවෝ දේවල් කියා දුන්නා. මට හාමුදුරුවෝ ගැන පැහැදීමක් ඇතිවුණා. එහෙම පැහැදීමක් ඇතිවන ආකාරයට හාමුදුරුවෝ වැඩ කළා. මට මතකයි ඒ වෙනකොටත් හාමුදුරුවෝ සතුව තිබුණා වීඩියෝ කරන්න පුළුවන් හෑන්ඩ්ෆෝන් එකක්. වෙනත් ඉහළ පන්තිවල තරඟකරුවන් තරඟකරන ආකාරය වීඩියෝ කරපුවා මට හාමුදුරුවෝ පෙන්නුවා. මට හාමුදුරුවෝ ගැන පැහැදීම තව තවත් වැඩි වුණා. එදා 2006 මාර්තු 02 වැනි දා. පාසල් දිනය වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනයක් තිබුණා. හාමුදුරුවෝ ඊට කලින් මට කිව්වා පිරිත් අහන්න එදා අනිවාර්යයෙන් ම ඉස්කෝලෙට එන්න කියලා. අපේ පාසල අස්ගිරිය මහා විහාරයෙන් ආරම්භ කරපු එකක්. ඒ නිසා අදටත් අස්ගිරිය විහාරයට සම්බන්ධයි. එදා රෑ 8.00 විතර හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා අස්ගිරිය පන්සලට ගිහින් එමු කියලා. හාමුදුරුවෝ වෙන පන්සලක නායක හිමිනමක් වුණාට නතර වෙලා ඉන්නේ අස්ගිරිය මහා විහාරයේ. හාමුදුරුවන්ගේ හැසිරීම ගැන මට ලොකු සැකයක් ඇතිවුණා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මම මගේ පන්තියේ ඒ වෙලාවේ හිටපු යාලුවෝ කිහිප දෙනෙකුට මේ ගැන කිව්වා. එයාල එකඟ වුණා අපේ පස්සෙන් නොදැනෙන්න එන්න.“
හාමුදුරුවන්ගේ බලකිරීම අනුව තිවංකට අස්ගිරිය විහාරයට යාමට සිදුවිය. ඔහුගේ ම සැළසුම අනුව විමසිල්ලෙන් සිටි මිතුරන් පිරිසක් ද හාමුදුරුවන්ට නොදැනෙන්නට අවශ්‍ය ඕනෑම මොහොතක තිවංකට සහයවීම පිණිස අස්ගිරිය විහාරස්ථානයට පසුපසින් පැමිණියහ. තිවංකට එදා එහි පැමිණි මිතුරන්ගේ නම් තවමත් මතකයේ ඇත. ඔහු ඒ ගැන අපට කීව ද ඔවුන්ගේ අනන්‍යතාව මෙහි සඳහන් නොකිරීමට අපි තීරණය කළෙමු.
තිවංක සමඟ අස්ගිරිය විහාරයට ගිය හාමුදුරුවෝ එහි ඉදිවෙමින් තිබූ පිරිවෙන් ගොඩනැගිල්ලකට ඇතුළු විය. ඒ ගොඩනැගිල්ලට මහනුවර නගරය මනස්කාන්තව දර්ශනය වෙයි. එලෙස නගරය හොඳින් දර්ශනය වන ස්ථානයකට තිවංක රැගෙන ගිය හාමුදුරුවන් තිවංකට මහනුවර නගරයේ රාත්‍රී දර්ශනය පෙන්වමින් ඔහු පසුපසින් සිටගත්තේ ය. හාමුදුරුවන් සිසුවාගේ උරහිස් දෙකෙන් අල්ලාගෙන මහනුවර නගරය පෙන්වන්නට වූ අතර ක්‍රමයෙන් ඔහුගේ සිරුර තිවංකගේ සිරුරට සමීප කරවමින් ලිංගික අතවරයකට සූදානම් වූයේය.
“ඇත්තටම ඒ වෙලාවේ හාමුදුරුවෝ මට ලිංගික අතවරයක් කරන්න සෘජුව උත්සාහ ගත්තා. මාව බදාගත්තා.මම ඊට විරුද්ධ වෙලා ඔහු තල්ලුකරලා පැත්තකට පැන්නා ඒ එක්කම මම කෑගහලා කිව්වා හාමුදුරුවන්ගේ සහෝදරියකගේ පුතෙක් මගේ පන්තියේ ඉගෙනුම ලබනවා. එයාට මේ බව කියනවා කියා. මගේ යාලුවෝ කිහිප දෙනාත් මේ එක්කම මෙතැනට කඩා පැන්නා. ඒ නිසා හාමුදුරුවෝ බය වුණා. එයා අපෙන් සමාව ඉල්ලුවා. මේ සිද්ධිය පාසලේ ගුරුවරුන්ගෙන් සහ අනෙක් ළමයින්ගෙන් සඟා තබන්න අවශ්‍ය ඕනෑම දෙයක් කරනවා කියලා අපිට කිව්වා. නමුත් අපි කිව්වා එහෙම කරන්න අපි එකඟ නෑ, තවත් ළමයින්ට මෙහෙම කරන්න පුළුවන් නිසා අපි මේවා හෙළිකරනවා කියලා.“
තිවංක සහ මිතුරන් පිරිස මේ සිද්ධිය තම ගුරුවරුන්ට සහ අනිකුත් සහෝදර ශිෂ්‍යන්ට කීහ. ඒ නිසා පසුදා කතාව ලැව් ගින්නක් සේ මහනුවර, වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ පැතිර ගොස් තිබිණි. විනයභාර අනෙකුත් ගුරුවරු, පන්තිභාර ගුරුවරිය, අංශ ප්‍රධාන ගුරුවරු, උප විදුහල්පතිවරු තිවංක සහ සිද්ධිය ඇසින්දුටු ඔහුගේ මිතුරන් ගෙන්වා ප්‍රශ්න කළහ. ඒ ප්‍රශ්න කිරීම් වෙන වෙනම සහ තනි තනිව ම ද සිදු කෙරිණි.
“අපෙන් ප්‍රශ්න කළා විතරයි. ඒ කාලේ හිටපු විදුහල්පතිවරයාත් මේ කතාව හොඳින්ම දන්නවා. නමුත් එයා කවදාවත් අපෙන් ප්‍රශ්න කළේවත් මේ ගැන කතා කළේවත් නෑ. මේ ඔක්කොම ප්‍රශ්න කිරීම්වල විතරක් සීමා වුණා. කිසිම දෙයක් වුණේ නැහැ. අපි ඉල්ලා සිටියා මේ හාමුදුරුවන්ගෙන් අනෙක් ළමයි බේරගන්න ඕන. ඒ නිසා මේ හාමුදුරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද මේ සිද්ධියත් එක්ක තවත් ළමයින්ට හාමුදුරුවෝ කරපු දේවල් හෙළිදරව් වුණා. ඒත් කිසිම කෙනෙක් අපිට උදව් කළේ නෑ. අපේ සහෝදර සිසුන් බේරගන්න කාටවත් ඕන වුණේ නෑ. හාමුදුරුවන් එක්ක යම් යම් ගැටලු තිබුණු ගුරුවරු අපේ පැත්තට කතා කළත් අනෙක් හැමෝටම ඕන වුණේ හාමුදුරුවන්ව බේරගන්නයි. පාසලේ කීර්ති නාමය බේරගන්නයි විතරයි. හාමුදුරුවෝ ටික කාලයක් බයවෙලා වගේ හිටියට පස්සේ සාමාන්‍ය තත්වයෙන් හිටියා. අන්තිමේ ද මට හාමුදුරුවන්ගේ නම ඉස්සරහට දාලා ගල් කොල්ලා කියන්න ගත්තා. එයාගේ නමට ඉස්සරහින් ‘පොඩි‘ කියලා දාලා මට කතා කළා. මේවා මට ඇතිකරපු පීඩන ගුරුවරු කිව්වේ ඕව අමතක කරලා ඕලෙවල් විභාගය ලියන්න කියලා.“ තිවංක අදටත් ඒ සිද්ධිය මතක් කරන්නේ විශාල තැතිගැන්මක ආකාරයෙනි.
පාසලේ සියලු දෙනා හාමුදුරුවන් බේරාගැනීමට මේ සිසුන්ට හාමුදුරුවන් සිදුකළ අපරාධ යට ගැසීමට කටයුතු කළහ. අවසානයේ පාසලේ ම ගුරුවරුන්ගේ, සහෝදර සිසුන්ගේ පීඩන, තර්ජන මැද තිවංක දෙසැම්බර් මාසයේ අපොස සාමාන්‍යෙපළ විභාගයට ද මුහුණ දුන්නේය.
“මම දිගිටම නින්දා, අපහාස, උපහාස, පීඩන, තර්ජනය කිරීම්, නොසළකාහැරීම්, වෛරී ප්‍රකාශ හැ එකක්ම විඳ දරාගෙන විභාගයටත් මුහුණ දුන්නා. නැවත උසස් පෙළ පන්ති ආරම්භ වුණාම ශිෂ්‍යයන් විතරක් නෙවෙයි ගුරුවරු පවා මට උසුළු විසුළු කළා. ඒක නිතරම සිදුවුණු දෙයක්“ ඔහු පවසන්නේ මහත් වේදනාවකිනි.
මේ පීඩනය දරාගත නොහැකි වූ තිවංක උසස් පෙළ සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට යාමට සම්මුඛ පරීක්ෂණයකට ද සහභාගී වූයේය. ධර්මරාජ විද්‍යාලයෙන් ඔහු තෝරාගෙන තිබිණි. නමුත් වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ඔහුට ඒ සඳහා අවසර දුන්නේ නැත. විද්‍යාලයේ මාධ්‍ය අංශයෙන්, කලා ක්ෂේත්‍රෙය් ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ඔහු පාසලේ ශිෂ්‍යනායකයකු බවට ද පත්වූයේය.
එදා තිවංක ඇතුළු සිසුන් කිහිප දෙනකුගෙන් පාඩමක් ඉගෙන ගත්ත ද හාමුදුරුවන් එය අමතක කර දමා තිබිණි. ගුරුවරු ඇතුළු පාලන අධිකාරිය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බැවින් හාමුදුරුවන් නැවත තම සුපුරුදු ලිංගික ක්‍රියාවන් සඳහා සිසුන් පොළඹවා ගැනීම නවතා තිබුණේ නැත. පාසලේ ශිෂ්‍යයකුව සිටිමින් හාමුදුරුවන්ගේ සිද්ධිය නිසාම පීඩාවට නිරන්තර ලක්වුව ද තිවංක තම සහෝදර පාසල් සිසුන් හාමුදුරුවන්ගෙන් බේරාගැනීමට විශාල කැපවීමක් කර තිබිණි.
“මට වඩා බාල මල්ලිලා විශාල ප්‍රමාණයක් මේ හාමුදුරුවන්ට ඊට පස්සෙත් ගොදුරු වෙලා තිබුණා. ඒ අතරින් කිහිප දෙනෙක්ව මට බේරාගන්නත් පුළුවන් වුණා. මම නොදන්න අය කොච්චර මේ හාමුදුරුවන්ට ගොදුරු වෙන්න ඇත්ද ?“තිවංක සිහිපත් කරයි.
තිවංක පවසන්නේ තමන් පාසලෙන් ඉවත්ව වසර ගණනක් ගතවුව ද තමන් අර හාමුදුරුවන්ගේ ‘ගල් කොල්ලා‘ යැයි කීම නැවතුනේ නැති බවයි. තමන් සමාජ මාධ්‍යවල යමක් ලියූ විට එයට විරුද්ධ මත දරන ඇතැම් පුද්ගලයන් එහි කමෙන්ට්වලට කිසිවක් නොදා එම සිද්ධියට අදාල හාමුදුරුවන්ගේ නම පමණක් සඳහන් කරමින් තමන් පීඩාවකට ලක්කිරීමට උත්සාහ ගන්නා බව ද එය තවමත් වරින් වර සිදුවන බව ද හෙතෙම පවසයි.
“මම පාසලෙන් ඉවත්වෙලා දැන් අවුරුදු 14ක් වෙනවා. එදා අපේ ඉස්කෝලේ උගන්වපු ගුරුවරියක් තමන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් දාලා හාමුදුරුවන්ට නිවන් සුව අත්වේවා කියලා දාලා තිබුණා. මේ ගැන විමසිලිමත් වුණා ම තමයි දැනගත්තේ හාමුදුරුවෝ මැරිලා කියලා. පෙට්ටිය සීල් කරලා එක දවසක දී ආදාහන කටයුතු කරන්න කියලත් උපදෙස් දීලා කියලා දැනගත්තා. මම ඒ පෝස්ට්එකට දැම්මා ‘නිවන නම් දුර බව අත්දැකීමෙන් ම දනිමි‘ කියලා. මෙන්න ටිකකින් අර ගුරුවරිය ඉන්බොක්ස් ඇවිත් මගෙන් අහනවා එහෙම කියන්නේ ඇයි කියලා. මම ගුරුවරියට සිද්ධිය මතක් කරලා දුන්නා. නමුත් ඒ ගුරුතුමිය ඒ සිද්ධිය ගැනත් කණගාටුවෙලා, එදා පාලන අධිකාරියට සම්බන්ධ නැති නිසා මම වෙනුවෙන් අපි වෙනුවෙන් යමක් කරන්න බැරිවුණා කියා කණගාටුවෙලා අර පෝස්ට් එක ඉවත්කළා.
මෙලෙස ඔහුට අතවර කිරීමට තැත් කළ භික්ෂුව කඩුගන්නාව ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් ලෙස කටයුතුකර ඇති අතර ඔහුට දියවඩන නිලමේ පත්කිරීමේ දී ඡන්දය පවා හිමිව තිබූ බැවින් අතිශය විශාල සමාජ බලයක් තිබූබවත් තිවංක සිහිපත් කරයි. මේ සියලු සමාජ බලය භාවිතා කරමින් ඔහු තම අපචාර යටපත් කරගත් බව ඔහුගේ අදහස වී තිබේ.
තිවංක විශ්වනාත් ජයසේකර පවසන්නේ තන් වෙනදාට වඩා දැන් ඉතාමත් ශක්තිමත් සහ සමාජය දන්නා පුද්ගලයකු බවයි. ඉතාත් සිල්වත් සහ ගුණ යහපත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමන්ට ඇසුරුකරන්නට ලැබුණු බවත් තම පාසලේ පවා එවැනි ගුණ යහපත් යතිවරු සිටි බවත් තිවංක පවසයි. නමුත් ඒ අතර මෙවැනි භික්ෂූන් රැසක් සිටින බැවින් පාසල්වල උගන්වන ගුරු භික්ෂූන් අතින් සිදුවන අතවර බොහෝ විට පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් ම යටපත් කරන බව ඔහු පෙන්වා දෙයි. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ ඔහු සතුව ඇති බව ද තිවංක පවසයි. මාධවේදියකු ලෙස ආයතන කිහිපයක ම සේවය කර ඇති තිවංක මෙලෙස අතවර සහ අපචාරවලට ගොදුරුවන සිසු දරු දැරියන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආධාර, ළමා ආරක්ෂණ අධිකාරිය, මානව හිමිකම් කොමිසම වැනි ආයතනවල සහය මෙන්ම මාධ්‍යවලින් අවශ්‍ය ශක්තිය ලබාගැනීමටත් අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් ව සිටියි.