spot_img
spot_imgspot_img

උපයන විට බද්ද ගැන රාජ්‍ය ඇමති කීවේ බොරුවක්

පුවත්

විදෙස්

උපයන විට ගෙවීමේ (Pay-As-You-Earn Tax) බද්ද ගෙවීමට සිදුව ඇත්තේ මෙරට රැකියාවල නිරතව සිටින ඉතාමත් සුළු පීරිසකට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කරන ලද ප්‍රකාශය අසත්‍ය බව FactCheck.lk කරන ලද සොයා බැලීමකින් අනාවරණය වෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ එම බද්ද ගෙවීමට සිදුවන රුපියල් 100,000.00කට වැඩි ආදායම් ලබන පුද්ගලයන් සිටින්නේ 120,965ක් පමණක් බවයි. එය සමස්ත ශ්‍රම බලකායෙන් 2.6%ක් වැනි ඉතාමත් සුළු පිරිසක් බවත් අමාත්‍යවරයා කීවේය. වැඩි දෙනකු උපයන විට බදු ගෙවීමට විරුද්ධ වන්නේ මේ කරුණු නොදැන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු විසින් කියන ලද එම ප්‍රකාශයට rata.lk අපි ප්‍රචාරයක් දුන්නේ නැත. එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ අපට බරපතල සැකයක් තිබිණි. FactCheck.lk එම කරුණු පිළිබඳ සත්‍ය අසත්‍යතාව ගවේෂණය කිරීමේ දී ඒ බව තහවරු වී තිබේ.

මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2019 වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 සඳහා වන ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව පරිශීලනය කර තිබේ.

උපයන විට බද්ධ ශ්‍රී ලංකාවට නව සංකල්පයක් නොවේ. එය මීට පෙර ද පැවති බදු අය කරන ක්‍රමයකි. නමුත් 2020 ජනවාරි මාසයේ දී උපයන විට බදු අය කිරීමේ ක්‍රමය අහෝසි කරන ලදී. එබැවින් මෙම සත්‍යාසත්‍ය බව සොයා බැලීමේ දී යොමු වර්ෂය ලෙස සැළකීමට සිදුව ඇත්තේ 2019 වර්ෂයේ දත්ත පමණි. 2019 වර්ෂයේ දී ද තනි පුද්ගල ආදායම් බද්ද ගෙවීම සඳහා සුදුසුකම් ලැබීමට අදාළ අවම සීමාව ලෙස පැවතියේ රුපියල් 100,000.00ක මුදලයී. වර්තමානයේ ද එම සීමාව ඒ ආකාරයෙන් ම පවතී. මාසික වැටුපක් ලබන සේවා නියුක්තිකයකු වීම සහ මාසික ආදායම රුපියල් 100,000.00ට වැඩි සෑම පුද්ගලයකු ම උපයන විට බද්ද ගෙවිය යුතුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 වර්ෂයේ දී උපයන විට බදු ගෙවීමේ ක්‍රමයට බදු ගෙවන සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 1,149,883 දෙනෙකි.  

 20192022 (3 කාර්තුව)
ශ්‍රම බලකාය8,592,0108,429,503
රැකියාවල නියුතු (මුළු)8,180,6938,010,340
සේවානියුක්තිකයින්4,738,2444,592,864
සේවායෝජකයින්209,159238,343
ස්වයංරැකියාවල නියුතු/පවුලේ ව්‍යාපාරවලට දායක වන3,233,2903,179,133
උපයන විට ගෙවීමේ ක්‍රමය යටතේ ආදායම් බදු ගෙවන සේවා නියුක්තිකයින්1,149,883N/A
මූලාශ්‍රය: ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව, 2019, ශ්‍රම බල සමීක්ෂණ කාර්තුමය වාර්තාව 2022 තෙවැනි කාර්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව 2019 .

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට, 2019 සිටි බදු ගෙවන සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 120,965ක් දක්වා අඩු වූ යේ කෙසේ ද යන්න බරපතල ගැටලුවකි. එය කිසිසේත් ම සිදු විය නොහැකි දෙයකි.

2019 වසර අවසානයේ දී හා 2022 වර්ෂයේ අවසානයේ පැවැති ශ්‍රම බලකායේ ජනවිකාශය බොහෝ දුරට සමානව පැවැති බවත් 2022 වර්ෂය අවසන් වනවිට නාමික දළ දේශීය නිෂ්පාදිතය 50%5 ඉක්මවන ප්‍රතිශතයකින් වැඩි වී ඇති බවත් සංඛ්‍යාලේඛන අනුව පැහැදිළි වෙයි.

 20192022 (3 කාර්තුව)
ශ්‍රම බලකාය13.4%13.6%
රැකියාවල නියුතු (මුළු)14.1%14.4%
සේවානියුක්තිකයින්24.3%25.0%
මූලාශ්‍රය: 2019 වසර සඳහා වන ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව, 2022 වසරේ තෙවැනි කාර්තුවට අදාළ ශ්‍රම බල සමීක්ෂණ කාර්තුමය වාර්තාව, සහ 2019 වසර සඳහා වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව යන ප්‍රකාශනවල ඇතුළත් දත්ත මත පදනම්ව ගණනය කිරීම් සිදු කර ඇත.

2019 දී දේශීය අදාායම් දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරන ලද සංඛ්‍යාව 2023 සඳහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාව මෙන් දස ගුණයක‌ට ආසන්නය. එමෙන්ම, සමස්ත ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස ගත් විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති සංඛ්‍යාව 13.4%ක් වන අතර එය රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ පරිදි 2.6%ක් නොවේ.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් FactCheck.lk වර්ගීකරණය කර ඇත.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!