වෛද්‍ය සචී පනාවල
“විද්‍යාත්මක සාක්ෂරතාවය යනු, විද්‍යාව පිළිබඳ දැනුම කෙනෙකුට ලෝකය සමඟ අන්තර් ක්‍රියා කළ හැකි ආකාරය වෙනස් වන අයුරුත්, පුළුල් අරමුණු ඉටුකර ගැනීම සඳහාත් විද්‍යාව භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධයයි” යනුවෙන් අර්ථ දැක්වීම වඩාත් සාධරණ යැයි අපිට සිතිය හැකියි.
ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (OECD) ජාත්‍යන්ත ශිෂ්‍ය තක්සේරුව පිළිබඳ 2018 වාර්තාවේ මෙම අර්ථකථනය සඳහන් වෙනවා.
නෙබ්‍රස්කා ව්‍යාප්තියේ සහකාර පීඨාධිපති Kathleen Lodl, විද්‍යා සාක්ෂරතාවය විද්‍යාව පිළිබඳ දැනුම ලෙස අර්ථ දක්වන්නේ එය “මිනිසුන්ගේ මතය හෝ අසා දැනගැනීම් මත නොව කරුණු, පර්යේෂණ සහ දැනුම මත පදනම්ව තීරණ ගන්නා විද්‍යාත්මක රාමුව” ලෙසිනුයි. යුනෙස්කෝ සංවිධානයත් විද්‍යාත්මක සාක්ෂරතාව යන්නට සරලව පවසන්නේ “එදිනෙදා ජීවිතයේ දී ගැටලු කලාත්මකව විසඳීම සඳහා විද්‍යාත්මක දැනුම භාවිතා කිරීමේ හැකියාව” යනුවෙනුයි.
විද්‍යා සාක්ෂරතාවයේ වැදගත්කම නම්, එය සමාජීය ගැටලු විසඳීම සඳහා සන්දර්භයක් සැපයීමයි. එමෙන් ම විද්‍යා සාක්ෂරතාවයෙන් යුත් ජනතාවකට තමන්ට මුහුණ දීමට සිදුවන බොහෝ ගැටලුවලට වඩා හොඳින් මුහුණ දිය හැකි නිසාත්, ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවය ඉහළ නංවන තාර්කික සහ දැනුවත් තීරණ ගැනීමටත් හැකි නිසාත් එය ඉතාමත් වැදගත් දෙයක් වනවා.
නවීන උපාංග සහ යෙදුම් භාවිතා කිරීමේ හැකියාව වන “තාක්ෂණික සාක්ෂරතාවය” සමඟ “විද්‍යාත්මක සාක්ෂරතාවය” බොහෝ විට ව්‍යාකූලයි. විද්‍යාත්මක සාක්ෂරතාවයෙන් සරලව අදහස් වන්නේ පුද්ගලයා ඔහු හෝ ඇය වටා ඇති භෞතික ලෝකය පිළිබඳ කරුණු ප්‍රශ්න කිරීම, තේරුම් ගැනීම, සොයා ගැනීම, අවබෝධ කර ගැනීම සහ අර්ථ නිරූපණය කිරීම ලෙස හැඳින්විය හැකියි.
විද්‍යාත්මක සාක්‍ෂරතාවයෙන් තොර වීම සමාජයට විශාල ගැටලුවක්. අධ්‍යයන කිහිපයකින් ඔප්පු වී ඇති පරිදි, ලොව පුරා සෑම රටක් ම පාහේ වර්තමානයේ යම් ආකාරයක විද්‍යාත්මක නූගත්කමකට මුහුණ දෙනවා. ඔක්ලහෝමා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ එම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට ආහාරවල DNA තිබේද යන්න දැක්වීමට ආහාර ලේබල් අවශ්‍ය බවයි. එම ප්‍රජාව ප්‍රමාණවත් ලෙස සාක්ෂරතාවයෙන් යුක්ත වූයේ නම්, සියලුම ජීවීන්ට DNA ඇති බව ඔවුන් දැන ගැනීම සාමාන්‍ය දෙයක්. ශාක හෝ සතුන්ගෙන් සකස් කරන ලද ආහාරවල නියත වශයෙන්ම DNA අඩංගු වන බව ඔවුන් දැන සිටියේ නැහැ.
Durant et al විසින් සිදු කරන ලද තවත් අධ්යයනයක්. එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ගෙන් 05%ක් වැනි සුළු පිරිසක් සතුව විද්‍යාත්මක සාක්ෂරතාව ඇති බව අනාවරණය වුණා. ඉරාම් ෂාසාඩි සහ ලාහෝර්හි පන්ජාබ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අබිදා නස්රීන් පකිස්ථානයේ ලාහෝර්හි රජයේ පාසල් සිසුන්ගේ විද්‍යාත්මක සාක්ෂරතාවය තක්සේරු කළ අතර එය ඉතා අඩු මට්ටමක පවතින බව ඔවුන් අනාවරණය කළා. චීනයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ රටේ විද්‍යාත්මක සාක්ෂරතාව 2005 දී 1.6% සිට 2020 දී 10.56% දක්වා වර්ධනය වී ඇති බව.
සමාජයක් “විද්‍යාත්මක සාක්ෂරතාවක්” නොමැති වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දේශපාලකයන් විසින් ප්‍රවර්ධනය කරන ව්‍යාජ විද්‍යාවයි. ජවහර්ලාල් නේරු සහ ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව විද්‍යාත්මක සාක්ෂරතාව ඇති රටවල් අතර ඉහළම රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කළ ද, රටේ විද්‍යාත්මක සාක්ෂරතාවය අනතුරේ හෙළන දේශපාලනඥයන් තවමත් සිටිනවා. මේ සඳහා ඉන්දියාවෙන් මෑත උදාහරණ කිහිපයක් ම තිබෙනවා. 2018 දී “ඩාවින් න්‍යාය විද්‍යාත්මකව වැරදියි” යනුවෙන් කනිෂ්ඨ අධ්‍යාපන ඇමති සත්‍යපාල් සිං ප්‍රකාශ කළා. එය එක් උදාහරණයක්. 2009-2011 දක්වා උත්තරාකාන්ද් ප්‍රධාන අමාත්‍ය ලෙස කටයුතු කළ රමේෂ් පොක්‍රියාල් නිශාන්ක් “ජ්‍යොතිෂය යනු විද්‍යාවට වඩා ඉහළින් පවතින විශාලතම විද්‍යාව” යැයි ප්‍රකාශ කළා. එ් වගේම එය ප්‍රවර්ධනය කළ යුතු බවටත් තර්ක කළා.
ශ්‍රී ලංකාවේ ඇත්තේ මේ සියලු රටවලට වඩා නරක සහ භයානක තත්වයක්. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ අපට ගෙනහැර දැක්විය හැකියි. ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් පරිසරවේදියෙකුට අභියෝග කරමින් “ඔක්සිජන් වල ප්‍රයෝජනය කුමක්ද? අපිට කන්න පුළුවන්ද?” යනුවෙන් ඇසීම ඊට එක් උදාහරණයක්. විෂය පිළිබඳ විශේෂඥයින්ගේ උපදෙස් සහ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් එක් රැයකින් සමස්ත රට කාබනික ගොවිතැන් කරන රටක් බවට පත් කිරීමට රටේ හිටපු ජනාධිපතිවරයා තීරණය කිරීම තවත් උදාහරණයක්. දේශපාලනික සහ ආගමික කණ්ඩායමක් විසින් තවත් ආගමික සහ ජන කොට්ඨාසයක් වෙත වෛරය ඇතිකිරීම ඉලක්ක කරගෙන පතුරුවා හරින චෝදනා අතරට මෙරට මුස්ලිම් ජනතාව ආහාර සහ යට ඇඳුම්වලට, වඳභාවයට හේතු වන ඖෂධ සහ රසායන ද්‍රව්‍ය එක් කරන බව කීමත් මේ අතර ප්‍රධාන වනවා. ප්‍රකට මුස්ලිම් වෛද්‍යවරයකු සිංහල බහුතර කාන්තාවන් 8,000කට අධික සංඛ්‍යාවකට පමණ බලහත්කාරයෙන් වඳ සැත්කම් කළ බව පවසමින් දේශපාලනික වශයෙන් බලගතු තවත් වෘත්තිකයන් පිරිසක් මෑත කාලයේ ගෙන ගිය “සාෆිගේ වඳ සැත්කම්” කතාවත් මේ අතර කැපී පෙනෙන සිදුවීමක්.
“කාබනික පොහොර” ව්‍යාකූලත්වය තුළ, කළ නොහැකි හා ප්‍රායෝගික නොවන තීරණයක් ගැනීමට අමතරව, “කෘත්‍රිම” පොහොර වෙනුවට “රසායනික” පොහොර තහනම් කිරීමට අමතරව, කාබනික පොහොර පවා රසායනික ද්‍රව්‍ය බව නොදැන සිටීම ව්‍යාකූලත්වය තවත් වැඩි දියුණු කරන්නක් ද වනවා. වඳභාවයට හේතු වන ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැළකූ විට, එවැනි ඖෂධ, රසායනික සහ වෙනත් ද්‍රව්‍ය නොමැති අතර එවැනි දේ තවමත් සොයාගෙන පවා නැහැ. කාන්තාවන් බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණ කතාව, වෛද්‍ය විද්‍යාත්මකව විකාරයක්, මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලින් එය ගොතන ලද කතාවක් බව සනාථ වුණා.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකෙහි ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද මෙවැනි ගැටලුවලට ඒවා අවුලාවලීමට ඉන්ධන එක් කරනවා. මොන්ටානා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ විශාරදයෙකු වන කේසි ෆොරස්ට් කැනොඩේ ප්‍රකාශ කරන්නේ ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති මාධ්‍ය මගින් විද්‍යාත්මක කරුණු දේශපාලනීකරණය කිරීම, ව්‍යාජ හෝ ව්‍යාජ විද්‍යාත්මක රූපවාහිනී වැඩසටහන්වල නැගීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම ඇමරිකාවේ විද්‍යාත්මක සාක්ෂරතාවයට අහිතකර ලෙස බලපාන බවයි.
අනෙකුත් රටවල් සියල්ලම පාහේ තම තමන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් එය සහතික කරන අතර, ශ්‍රී ලංකාවට මේ ගැන දැඩි අවධානයක් යොමුකිරිමට හේතුවන උදාහරණ රැසක් තිබෙනවා.
COVID-19 වසංගතයට පිළිතුරක් ලෙස අළෙවි කරන ලද “ධම්මික පැණිය” නමින් හැඳින්වෙන ස්වයං ප්‍රකාශිත “දේශීය වෛද්‍යවරයකු” විසින් සකස් කරන ලද කුප්‍රකට දේශීය “සිරප්” මෙයට ඇති හොඳම උදාහරණයක්.
යම් රටකට තම සමාජය යම් කරුණක් සම්බන්ධයෙන් මනාව දැනුවත් කිරීමටත්, පවතින හොඳම දැනුමෙන් හැකි හොඳම තීරණ ගැනීමටත් අවශ්‍ය නම්, ඒ සඳහා රටේ සමාජය තුළ විද්‍යාත්මක සාක්ෂරතාව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි.
එය සාක්ෂාත් කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වනුයේ STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමයි, එය සාමාන්‍යයෙන් විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව හෝ ගණිතය ඉගෙනීම හෝ ඉගැන්වීම ලෙස වරදවා වටහා ගනු ලබනවා. නමුත්, STEM අධ්‍යාපනයට වඩා පුළුල් අර්ථයක් තිබෙනවා. එය සංගීතය, නැටුම් වැනි කලා විෂයයන් පවා ඕනෑම විෂයයක් ඒකාබද්ධ කරන ඉගැන්වීමේ ප්‍රවේශයක්. එමගින් ශිෂ්‍යයා ඕනෑම දෙයක් විද්‍යාත්මකව, විශ්ලේෂණාත්මකව, ක්‍රමානුකූලව සහ විවේචනාත්මකව සිතීමට සහ ඉගෙනීමට පුහුණු කිරීමට පුහුණ කරනවා. එපමණක් නොවෙයි එමගින් ඕනෑම විෂයයක් සමඟ සම්බන්ධ වන තාක්‍ෂණයන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමත් මෙහි අරමුණයි.
ජන මාධ්‍ය හරහා මහජනතාවගේ විද්‍යා සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තවත් ප්‍රවේශයක්. කෙසේ වෙතත්, පකිස්තානයේ මහාචාර්ය මුහම්මද් හමීඩ් සමාන් 2019 දී එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පතට ඉතා නිවැරදිව ලීවා. මෙහි ඇති එකම ලොකුම බාධකය විද්‍යාත්මකව නිවැරදි නමුත් පුළුල් ප්‍රේක්ෂකයින් අතර සිත් ඇදගන්නාසුළු කතාවක් සන්නිවේදනය කළ හැකි විද්‍යා මාධ්‍යවේදීන් සහ අන්තර්ගත සංස්කාරකවරුන්ගේ හිඟයයි. ඒ ගැටලුව ලංකාවටත් අදාලයි.
විද්‍යාත්මක පුවත්පත් කලාවට මාධ්‍යවේදීන් ආකර්ෂණය කර ගැනීමට කිසිදු පෙළඹවීමක් අපට පෙනෙන්නට නොමැතිවීම ඉතා කණගාටුවට කරුණක්. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් වාර්ෂිකව ඇගයීමට ලක්කරනු ලබන “ශ්‍රී ලංකා ජනමාධ්‍ය සම්මාන උළෙලෙහි” ද වසරේ විද්‍යාත්මක සන්නිවේදනය නැතිනම් වාර්තාකරණය පිළිබඳ සම්මානයක් පිරිනැමීම සිදුවන්නේ නැහැ. එහි ඇත්තේ “වසරේ හොඳම පාරිසරික වාර්තාව” සහ “වසරේ විශිෂ්ටතම ම සෞඛ්‍ය වාර්තාකරණය” පමණයි. ප්‍රාදේශීය වශයෙන් විද්‍යාත්මක පුවත්පත් කලාව තවමත් ශ්‍රී ලංකාව තුළ පුළුල් අර්ථයකින් අනාවරණය කරන්නේ නැහැ. අදාළ බලධාරින් මේ ගැන බැරෑරුම් ලෙස සලකන්නේ නම්, අඳුරු උමඟක සිරවී සිටින අපට අවසානයේ ආලෝකයක් දැකීම බලාපොරොත්තු විය හැකියි.
සුප්‍රසිද්ධ ඇමරිකානු තාරකා භෞතික විද්‍යාඥයෙකු, කතුවරයෙකු සහ විද්‍යා සන්නිවේදකයෙකු වන Neil de Grasse Tyson වරක් පැවසූ පරිදි, විද්‍යා සාක්ෂරතාවය යනු හෙට දවසේ ගැටලු වලට විසඳුම් ගලා යන ධමනියයි. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය, ධනය සහ ආරක්ෂාව රඳා පවතින්නේ එම රටේ, සමාජයේ විද්‍යාත්මක සාක්ෂරතාව මතයි. එය සාක්ෂාත් කර ගන්නා තුරු, අපට, අපගේ ප්‍රජාවන්ට, අපේ රටට සහ ලෝකයට පවා බලපාන තීරණ ගැනීමේ දී අඩු දැනුම්වත් භාවය, විද්‍යාත්මක නොවන නිවැරදි නොවන තීරණ ගැනීමේ අවදානමක් තිබෙනවා. එය හරියට ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපි දැන් පාඩම ඉගෙන නොගත්තොත්, අපි කවදාවත් අඳුරු උමගක් අවසානයේ අලෝකයක් දකින්නට ලැබෙන්නේ නැහැ.
වෛද්‍ය සචී පනාවල අලුතින් පිහිටුවන ලද ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ අතිරේක ප්‍රධාන නව්‍යකරණ නිලධාරිනීයයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු විද්‍යා තාක්ෂණ හා නව්‍යකරණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (COSTI) සහ ජාතික විද්‍යා පදනමේ සේවය කළාය.
Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් නිදහස් චින්තනයකි