spot_img
spot_img

ශ්‍රී ලංකාව ලෝකයේ වටිනා ම රටක් බවට පත් වූ හැටි මෙන්න

පුවත්

විදෙස්

“මා වනගතවූ පළමුවන දවස මට හොඳට මතකය. පළමුවෙන් කෝපි වවන්නන් අතිනුත් දෙවනුව තේ වවන්නන් අතිනුත් පෞරාණික ඝන වනාන්තරවල මිටියාවත් එළි පෙහෙළි වී ගියේය. තේ කෝපි සඳහා එළි පෙහෙළි නොකළ තැනක් එහි වීනම්, ඒ සෝදාපාළුව ගිය බිම්, මඩ වගුරු, ගිරි කඳුරු, වැවිල්ලට අයෝග්‍ය දිය සීරාවන්ය. මෙහි ඇති වල් පඳුරු මුගටි, කබල්ලෑ, ඉත්තෑ හා හිවල් ආදීන්ගේ වාසස්ථානය. එහෙමත් දුර දිග බලන ඇතැම් වැවිලිකරුවන් විසින් කඳු මුදුන්වල අතන මෙතන ලී දඬු සඳහා නොකපා  ඉතිරි කරන ලද පැරණි කැළෑ ඇත්තේය. ඒවායේ ඉතා හොඳ මෙහෙය වී පවත්නේ විශාල වාසස්ථාන වුවමනා කරන වන සතුන්ගේ අභයස්ථාන බවට පත්වී තිබීමයි.”

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උප අධ්‍යක්ෂ ධූරය දැරූ ජෝන් ස්ටිල් මහතා විසින් ලියන ලද Jungle Tide නම් ග‍්‍රන්ථය වන ප‍්‍රවාහය නමින් සිංහල භාෂාවට පරිවර්ථනය කරනු ලැබූ සී.ඒ.විජේසේකර මහතා  සිය කෘතිය ආරම්භයේ දී ම එලෙස සටහන් කර තිබේ.

ලංකාවේ ස්වභාවික පරිසරය විනාශ මුඛය කරා ගිය ආකාරය ඔහු පැහැදිළි කර ඇත. වනාන්තර එළි කිරීම හා වාසස්ථාන පරිවර්ථනය කිරීම අද සමස්ත ලෝකයට ම බලපාන ප‍්‍රධාන පාරිසරික ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ.

ස්වභාව ධර්මයේ දී යම් කිසි ප‍්‍රදේශයක ජීවත් වන සත්ත්ව විශේෂ සංඛ්‍යාවේ අඛණ්ඩ වැඩි වීමක් සිදු නොවේ. විවිධ පාරිසරික සාධක මගින් එම සංඛ්‍යාව තුලනය කිරීම හේතුවෙන් එම සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් ස්ථායී මට්ටමකට සීමා වේ. එය යම් කිසි වාසස්ථානයක් සඳහා වූ ධාරණ ධාරිතාව නමින් හැඳින්වේ. මිනිසාද එක් සත්ව විශේෂයක් පමණි. ඒ නිසා ස්වභාව ධර්මයේ පොදු ධර්මතාවයන් මිනිසුන්ට අදාල විය යුතු වුව ද මිනිසා එය පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. විද්‍යාව හා තාක්ෂණය යොදා ගනිමින් මිනිසා විසින් තමා මත බලාපාන්නා වූ සොබා දහමේ පොදු ධර්මතා වෙනස් කර ඇත. එබැවින් තාවකාලිකව හෝ අඛණ්ඩ ධරණ ධාරිතාව ඉක්මවමින් වර්ධනය වීමේ හැකියාවක් මිනිස් ගහණයට ලැබී තිබේ. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ලෝකයේ ජනගහණය සීඝ‍්‍ර ලෙස ඉහළ යාමයි.

පෘථිවි තලය තුළ පමණට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් ජීවත් වීම අපේ ප‍්‍රධාන පාරිසරික ගැටලූ බොහොමයකට හේතුවී ඇති කරුණ ලෙස දැක්විය හැකියි. මේ අතින් ප‍්‍රධානතම ගැටලුවක් වන්නේ මිනිස් ජනගහණයේ වර්ධනය වීමට සාපේක්ෂව ලෝකයේ ජෛව විවිධත්වය ඉතා සීඝ‍්‍රයෙන් විනාශ වී යාමයි. ඒ අනුව ජනගහණය වැඩිවීමේ ගැටළුව සමඟ ජෛව විවිධත්වය සුරැකීම සඳහා ලෝකයේ අවධානය යොමුවී තිබෙන අතර ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇති කාලයකට අප එළැඹ ඇත.

ලෝකයේ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමේ හැකියාවක් නොලැබෙන බැවින් ජෛව විවිධත්වය ඉතාමත්ම ඉහළ අගයක් ගන්නා එමෙන්ම විනාශවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ස්ථාන කිහිපයක් තෝරාගෙන ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට සුරැකීමට තීරණය කර තිබේ. එලෙස තෝරාගනු ලබන ස්ථාන ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස නම් කර ඇත.

ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහාවූ උණුසුම් කලාප ලෙස යම් ස්ථානයක් තෝරාගැනීම සඳහා නිර්නායකයන් දෙකක් පිළිබඳ අවධානය යොමු කර තිබේ. ඒ අනුව යම් ප‍්‍රදේශයක හෝ රටක එම ප‍්‍රදේශයට හෝ රටට ආවේණික ශාක විශේෂ 1500 ක් තිබිය යුතුය. එය සමස්ථ ලෝකයේ පවතින මුළු ශාක සංඛ්‍යාවෙන් 0.5%ක ප්‍රතිශතයක් විය යුතුය. ජෛව විවිධත්ව උණුසම් කලාපයක් බවට පත්වීමේ දෙවැනි සුදුසුකම වන්නේ එම ප‍්‍රදේශයේ හෝ රටේ ස්වභාවික පරිසරය සියයට 70 කින් විනාශවී ගොස් තිබීමයි.

ආසියානු කලාපයේ ඉතාමත්ම ඉහළ ජෛව විවිධත්වයක් සහිත රටක් වන ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත් කළ හැකිදැයි මෙහිදී වැඩි අවධානයක් යොමු කරන ලදී. ජීව විද්‍යා ක්ෂේත‍්‍රයේදී අදට ද භාවිතා කරන ද්විපද නාමකරණ ක‍්‍රමය ලොවට හඳුන්වාදුන් කැරොලස් ලීනියස් නම් විද්‍යාඥයාගේ සමයේ පටන් ලංකාවේ සත්ත්ව හා ශාක පිළිබඳ පර්යේෂණ සිදුකිරීම හේතුවෙන් ලංකාව ජෛව විවිධත්වය අතින් වැදගත් දේශයක් යැයි පිළිගෙන තිබීම ද මෙයට එක් හේතුවක් වන්නට ඇත.

සමස්ථ ලෝකයේ භූමි ප‍්‍රමාණය සළකා බැලූ විට අප දේශය ඉතාමත්ම කුඩා ප‍්‍රදේශයක් වුව ද මෙහි මෑතකදී කරන ලද පර්යේෂණ හා නිරීක්ෂණ අනුව මෙරට සත්ත්ව හා ශාක විවිධත්වය ඉතා ඉහළ අගයක් ගන්නා බව තහවුරු වී ඇත.

ලංකාවේ සමස්ථ ගහකොළ හා සතුන් සංඛ්‍යාව අතරින් ඉතාමත් විශාල සංඛ්‍යාවක් මෙරටට ආවේණික විශේෂ වීමද මෙහිදී වැදගත් වේ. මෑතකදී හෙළි පෙහෙළි නොවූ සිංහරාජය, සිරිපා අඩවිය හා දුම්බර කඳුවැටිය වැනි වනාන්තර ඇතත් ලෝකයේ සමස්ථ භූමි ප‍්‍රමාණය සැළකූ විට එයද නොසැළකිය හැකි තරම් කුඩා ප‍්‍රමාණයකි. ලංකාවේ ස්වභාවික පරිසරය වගාබිම් හා වාසස්ථාන වෙනුවෙන් මුළුමනින්ම පාහේ බිලිදී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමස්ථ රටම සැළකූවිට එහි බොහෝ ප‍්‍රදේශ කවර හෝ යුගයක මිනිසා විසින් හෙළි පෙහෙළි කර තිබූ බවට සාධක හමුවේ. ඒ අනුව ලංකාවේ ස්වභාවික පරිසරයෙන් 95% ක් පමණ විනාශ වී ගොසිනි. ඉතුරුව ඇති ස්වභාවික පරිසර පද්ධතීන්ද විවිධාකාර වූ ආක‍්‍රමණික ශාක හා සතුන් හේතුවෙන් විනාශ වෙමින් පවතී. එමෙන්ම රටට ඔරොත්තු නොදෙන තරම් වූ ජනගහණ වර්ධනය සහ කෘතිම රසායනික භාවිතය හේතුවෙන් ඉතුරුව ඇති භූමිය ද කඩිනමින් විනාශ මුඛය කරා යමින් පවතී. මේ අනුව ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වීමේ එක් සුදුසුකමක් වන 70% කට වඩා ස්වභාවික පරිසරය විනාශවී යාම යන සාධකය සපුරා තිබුණි.

එහෙත් එහි අනෙක් අවශ්‍යතාවය වන ආවේණික ශාක 1500 ක් ලංකාව තුළ දක්නට නැත. ලංකාවේ ශාක අතරින් ආවේණික බවට මේ වන විට හඳුනාගෙන ඇත්තේ ශාක විශේෂ 900 ක පමණ ප‍්‍රමාණයකි. ඒ අනුව ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමේ හැකියාවක් නොතිබුණි.

එහෙත් මෙම කුඩා භූමියේ ඇති ශාක හා සත්ත්ව විවිධත්වයේ අගය වටහාගත් විද්‍යාඥයෝ ලංකාවේ ජෛව විවිධත්වය අනිවාර්යයෙන්ම දැඩි සේ සුරැකිය යුතු බව තේරුම් ගෙන සිටියහ. ලොව මහද්වීප සියල්ල එකට එක්ව තිබූ ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකම මහද්වීපික තටකයක පිහිටා තිබීමත් මෙම රටවල් දෙක මෑතක් වන තුරු එකිනෙකට යාව පිහිටියේ යැයි විශ්වාසයක් ඇති බැවින් සහ එය භූගෝලීයව එක් කලාපයක් වන බැවින් ද එම කරුණු සැළකිල්ලට ගනිමින් ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය හා ශ්‍රී ලංකාව එක් ප‍්‍රදේශයක් ලෙස සළකා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳ කරුණු සොයා බලන ලදී.

ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශයේ ද ඇත්තේ ආවේණික ශාක 1,300 ක පමණ ප‍්‍රමාණයකි. එහි පරිසරයද 70% කට වඩා හානියට පත්ව තිබුණි. එකිනෙක වෙන්ව ගත්විට ලංකාව හෝ ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කළ නොහැකි වුව ද මෙම ප‍්‍රදේශ දෙක එක්ව සැළකූ විට ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමේ සියළු සුදුසුකම් සපුරා තිබේ. ඒ අනුව ලොව ජෛව විවිධත්වය උණුසුම් ස්ථාන විසි පහ අතරට ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය තෝරාගන්නා ලදී.

මෙම කලාපයේ ආවේණික ශාක විශේෂ 2,180 ක් දක්නට ලැබේ. එය ලොව මුළු ශාක ප‍්‍රමාණයෙන් 0.7%ක ප‍්‍රතිශතයකි. එමෙන්ම මෙම කලාපය තුළ පෘෂ්ඨවංශීන් හෙවත් කොඳු ඇටපෙලක් සහිත සතුන් විශේෂ 1,073 ක් දැකිය හැකි අතර ඉන් විශේෂ 355 ක් මෙම කලාපයට ආවේණික විශේෂ වේ. එය ලෝකයේ සමස්ථ පෘෂ්ඨවංශීන් සංඛ්‍යාවෙන් 1.3%ක ප‍්‍රතිශතයකි.

ඉන්දියාවේ බටහිර ගාට්ස් හා ශ්‍රී ලංකාවේ  වනාන්තර වර්ග කිලෝ මීටර 182,500 ක් පමණ තිබී ඉන් මේ වනවිට ඉතුරුව ඇත්තේ ස්වභාවික වනාන්තර වර්ග කිලෝමීටර 12,450 ක පමණ ප‍්‍රමාණයකි. ඒ අනුව ඉතුරුව ඇත්තේ 6.82% ක ප‍්‍රතිශතයකි. ලංකාවේ හා ඉන්දියාවේ ඉතුරුව ඇති මෙම සියළු වනාන්තර නීතියෙන් ආරක්ෂා කර තිබීම සැනසුම් සහගත කාර්යයක් වුව ද මේසා විශාල වූ ජෛව විවිධත්වයක් දරාගෙන සිටීමට එම සුළු පරිමාණ වූ වනාන්තර ප‍්‍රමාණයට හැකියාවක් තිබේද යන්න ගැටළුවකි. ලොව නම් කර ඇති ජෛව විවිධත්ව උණුසුම් කලාප 35 සැළකූ විට තත්වය ද මේ හා සමාන වේ.

ලොකයේ හඳුනාගෙන ඇති ශාක අතරින් 44%ක් හෙවත් ශාක 133,149 ක් මෙම ප‍්‍රදේශ වලට ආවේණිකය. ලෝකයේ ජීවත් වන පෘෂ්ඨවංශීන් අතරින් විශේෂ 9,645 ක් හෙවත් සමස්ථ සංඛ්‍යාවෙන් 35%ක් මේ ස්ථාන 35 ආවේණික විශේෂයන්ය. එතරම් විශාල ජීවී විවිධත්වයක් සහිත උණුසුම් කලාප 35 හි සමස්ථ වපසරිය වර්ග කිලෝමීටර මිලියන 2.1 කි එනම් ලෝකයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 1.4%ක ප‍්‍රතිශතයකි.

මෙවැනි සුවිශේෂී වටිනාකමක් සහිත පරිසරයක ජීවත් වන අප විසින් සිදු කරන්නාවූ ක්‍රියාවලින් මෙම පරිසරය විනාශ වීම තවදුරටත් සිදු වෙමින් පවතින අතර එය වැලැක්විය නොහැකි මට්ටමට ගමන් කර තිබේ. ඒ නිසා මේවා සංරක්ෂණය කර ගැනීම සඳහා රටේ සියළුම තරාතිරම් වල ජනතාව මේ පිළිබඳව දැනුම ලබා එය ආරක්ෂා කිරීම සඳහා වහා ම කටයුතු කිරීමට කාලය එළැඹ ඇත. විශේෂයෙන්ම ළමා පරපුර මේ කෙරෙහි යොමු කිරීමෙන් අප රටේ ප‍්‍රධානත ම සම්පත වන ජෛව විවිධත්වය සුරැකීම අප සියළු දෙනාගේ ම යුතුකම හා වගකීම වන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!