spot_img
spot_imgspot_img

වායු දූෂණයෙන් ශ්‍ර්‍රී ලංකාවේ 14,300ක් වසරක දී මියයයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයක් සැළකූ විට ඉන් 65 දෙනකු වායු දූෂණය හේතුවෙන් වර්ෂයක දී මිය යන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වායු දූෂණය සම්බන්ධයෙන් නිකුත්කළ සටහනක දක්වා ඇත. ශ්‍රී ලංකා ජනගහනය ලක්ෂ 220ක් ලෙස සැළකූ විට එම දත්ත අනුව සෘජුව ම වායු දූෂණය හේතුවෙන් වර්ෂයකට ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ අවම වශයෙන් 14,300ක් මියයති.

වාතයේ ස්වභාවික සංයුතිය හානිකර අයුරින් වෙනස්කරවන වායු දූෂක විශාල සංඛ්‍යාවක් අතරින් ලංකාවෙ අප මේ දිනවල අවධානයෙන් පසුවන වායු දූෂණ තත්වයට වගකිව යුතු බවට හඳුනාගෙන ඇත්තේ අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) බව විශ්ලේශකයින්ගේ අදහසයි.

අංශුමය දූෂක ලෙස පොදුවේ හැඳින්වෙන්නේ දුම්, අලු, දුහුවිලි සහ නොයෙක් වාෂ්ප වර්ගයි. වාහන වලින්, විවිධ කර්මාන්තශාලා සහ බලාගාර මඟින් මෙන්ම බාහිර පරිසරයේ නොයෙක් දෑ පිළිස්සීම මගිනුත් මිනිසා විසින් මේවා වැඩි වැඩියෙන් වායුගෝලයට මුදාහරිනු ලබයි.

පහසුවෙන් දැකියහැකි වර්ණයකින් සහ එක් ස්ථානයක වැඩි වශයෙන් එක් රැස් වී පවතින අවස්ථාවල පමණක් මේවා පියවි ඇසෙන් දුමාරයක් ලෙස දකින්නට හැකිය. මෙම අංශු අතරින් වඩාත් කුඩා කාණ්ඩයට (PM 2.5) පෙනහලුවල සියුම් අභ්‍යන්තර කොටස් දක්වාම ගමන් කිරීමටත් රුධිරයට ඇතුලුවීමටත් හැකියාව පැවතීම භයානක තත්වයකි.

වායු දූෂණය නොයෙකුත් ක්‍රම මගින් අපට ජීවිත හානි ගෙනදෙන අතරම නිරෝගී පැවැත්මටත් බරපතල තර්ජනයක් එල්ල කරන බව පර්යේෂණ මගින් සනාථ වී තිබේ.

අඝාත තත්වයන්, හෘදයාබාධ, පෙනහලු පිළිකා, නියුමෝනියාව, සහ නිධන්ගත ශ්වසන මාර්ග අවහිරතා (COPD) වලට වායු දූෂණය ඍජුවම හේතු වන අවස්ථා ගණන අප සිතනවාට වඩා බොහෝ විශාලයි. මීට අමතරව ඇස් දැවිල්ල සහ කඳුලු ගැලීම වැනි ආසාත්මික ලක්ෂණ ඇතිවීමත් ඇතැම් සමෙහි රෝග උත්සන්න වීමත් වැඩි වශයෙන් දකින්නට ලැබේ. කාලගුණයේ වෙනස්කම් සමඟ වරින්වර නිරීක්ෂණය වන බාහිර පරිසරයේ වායු දූෂණ තත්වයට අමතරව ලාංකික අප බොහෝ දෙනා ජීවත්වන්නේ දූෂිත වාතයෙන් යුතු නිවාස ඒකක තුළ බව විද්‍යාත්මකව තහවුරු කල කරුණකි.

ශ්‍රී ලාංකිකයින් ලක්ෂයක් සැළකුවහොත් වර්ෂයක් තුල දී 65 දෙනෙකුට ඍජුවම වායු දූෂණය නිසා ජීවිත අහිමි වෙන බව සෞඛ්‍ය අංශ ගණනය කර තිබේ.

මේ මොහොතේ උද්ගතවී ඇති තත්වයට නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින අතරේම , දිගුකාලීන වශයෙන් අප හුස්මගන්නා වාතය පවිත්‍රව පවත්වාගැනීමට නිවාස අභ්‍යන්තරයේ මෙන්ම බාහිර පරිසරයේත් වා‍යු දූෂණයට තුඩු දෙන ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීම ඉතා වැදගත් ය. නිවෙස් තුල මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු සඳහා දර වැනි ඝණ ඉන්ධන භාවිතයෙන් ඈත්වීම, උඳුනෙන් පිටවන දුම් නිවසින් පිටතට ගමන් කරන ලෙස චිමිනියක් සකස් කිරීම, කැළිකසල ගිනි තැබීමෙන් වැළකී දිරායන දෑ කොම්පෝස්ට් සෑදීම්ටත දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයටත් කටයුතු කිරීම මෙන්ම අප භාවිතාකරන වාහන නියමාකාරයෙන් නඩත්තුව මඟින් විෂ දුම් වාතයට නිකුත්වීම අවම කරගැනීම පුරවැසියන් ලෙස අපට ගතහැකි වැදගත් පියවර කිහිපයකි.

අප සියලු දෙනාම පුද්ගලික මට්ටමෙ අපේ වගකීම් කොටස ඉටු කරන අතරේම සමස්ත ලෝකයම මේ කරුණ ප්‍රමුඛතාවයේ ලා සැළකුවහොත් අනාගතයේ සුරක්ෂිත හුස්ම පොදක් ඉතිරි කරගැනීමට අපට හැකියාව ලැබෙනු ඇති. එසේ නොවුවහොත් මිනිසාට මෙන්ම සතුනට පවා ජීවත්වීමට නොහැකි වටපිටාවක් මිහිමත නිර්මාණය වීම නුදුරේම සිදුවනු නොඅනුමානයි.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!