spot_img
spot_imgspot_img

මහින්ද විදුහල්පතිට ලැබුණු නියෝගය මෙන්න

පුවත්

විදෙස්

මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින්, අධ්‍යාපන අයිතිය අහිමිකරන ලද සිසුවා යළි පාසලට භාරගන්නා බවට මහින්ද විද්‍යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇතැයි ගාල්ල ප්‍රධානන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ දැනුම් දුන්නාය.

මහේස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියේ අද (11) එම දරුවාගේ අධ්‍යාපන අයිතිය අහිමිවීම සම්බන්ධයෙන් නැවත විමසා බැලීමේ අවස්තාවේ දී ය

දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන බවට අධිකරණයට වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි මහේස්ත්‍රාත්වරිය පැවසූ අවස්ථාවේ දී අගතියට පත් දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ඒ.කේ.ඩී.දර්ශන ඉල්ලා සිටියේ එම තීරණය දැනගැනීමට හැකිනම් වඩාත් සුදුසු බවයි.

එම අවස්ථාවේ දී ඒ පිළිබඳ පැවසූ මහේස්ත්‍රාත්වරිය, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂ විමර්ශන කමිටුව එම දරුවා මහින්ද විද්‍යාලයට ම නැවත ඇතුළත් කරගත යුතුයැයි නියෝගයක් ලබා දී ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී දරුවා පාසලට කැඳවනු ඇති බව ද කියා සිටියාය.

අද (11) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන හෝ ඔහුගේ නියෝජිතයන් හෝ පැමිණ සිටියේ නැත. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස්කරන ලද වාර්තාව සහිතව විදුහල්පතිවිසින් එම කරුණු අධිකරණයට දැනුම් දී තිබිණි.

අධිකරණයේ විභාග වෙමින් පවතින අපරාධමය නඩුවක වින්දිතයකු බවට පත්ව සිටින එම දරුවා පරිවාස භාරයේ දින කිහිපයක් තබාගැනීමෙන් පසු යළි පාසල් යැවීම ඇතුළු සාමාන්‍ය ජීවිතය ගතකිරීම සඳහා දෙමාපියන්ට භාර කරන ලෙස අධිකරණයෙන් ම නියෝග කර තිබිණි. ඒ අනුව දරුවා භාරකරුවන් වෙත යොමු කළ ද එම දරුවාට මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබීමේ අවස්ථාව විදුහල්පති අතුල විජේවර්ධන විසින් ලබා දී තිබුණේ නැත.

විදුහල්පතිවරයා චෝදනා කර තිබුණේ මෙම සිසුුවා විදුහල්පතිවරයා පන්නා දැමිය යුතු බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල අදහස් දක්වා තිබූ බවයි. නමුත්, එම සිසුවා යළිි පාසලට ඇතුළත් කරගන්නා ලෙස පරිවාස දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා විසින් දැනුම් දුන්න ද දරුවා පාසලට ඇතුළත්කරගෙන තිබුණේ නැත.

දරුවාගේ අධ්‍යාපන අයිතිය විදුහල්පතිවරයා විසින් අහිමිකර ඇතැයි අධිකරණයට නීතිඥ අජිත් කුමාර විසින් කරුණු වාර්තා කිරීමෙන් පසු ඔක්තෝබර් මස 28 වැනි දා අධිකරණය කියා සිටියේ මෙම සිසුවාගේ අධ්‍යාපන අයිතිය තහවරු කර ඒ බව නොවැම්බර් 11 වැනි දා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

නමුත් ඉන් පසුව ඔක්තෝබර් 31 වැනි දා දරුවා පාසලට ගිය ද විදුහල්පතිවරයා ඔහුට පාසලට ඇතුළුවීමට ඉඩ දී තිබුණේ නැත.

විදුහල්පති අතුල විජේවර්ධන අධිකරණ උපදෙස් පවා නොතකාහරින බව rata.lk ඇතුළු මාධ්‍ය මගින් අනාවරණ්‍ය කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ උපදෙස් මත විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබිණි. ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ මේ දරුවාට මහින්ද විද්‍යාලයේ ම අධ්‍යාපනය ලබා දිය යුතු බවයි.

එසේ වුව ද අද (11) මේ සම්බන්ධයෙන් නඩුව නැවත සළකා බලන අවස්ථාව වනවිට ද විදුහල්පති අතුල විජේවර්ධන දරුවා පාසලට ඇතුළත් කරගෙන තිබුණේ නැත. ඔහු ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝගය අනුව ඉදිරි දිනක (නිශ්චිත දිනයක් නැත) දරුවා පාසලට ඇතුළත් කරගන්නා බවට දැනුම් දී තිබේ.

ඒ අනුව අධිකරණය දැනුම් දුන්නේ මහින්ද විද්‍යාලයෙන් කැඳවීමක් ලැබුණු විට දරුවා පාසලට නැවත ඇතුළත් කරන ලෙසයි.

අපරාධමය නඩුවක වින්දිතයකු වූ දරුවකුට අධ්‍යාපන අයිතිය අහිමිකරමින් මාස 03කට ආසන්න කාලයක් ඔහුට ඉගෙන ගැනීමට නොදීම හේතුවෙන් විදුහල්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකිරීම පිළිබඳවත් ඔහුට අහිමිවූ අධ්‍යාපන අවස්ථාව වෙනුවෙන් සැළකිය යුතු වන්දි මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙනුත් අවධානය යොමුකරන බව නීතිඥ අජිත් කුමාර කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!