මේ පිංතූර දෙක දැක්කම බොහොම අයට කාලෙකට ඉස්සර බලපු හොලිවුඩ් චිත්‍රපටි දෙකක් මතකෙට එනව ඇති. පලවෙනි එක Day After Tomorrow එකේ,

නුදුරේදීම එළඹෙන කාලගුණ ව්‍යාසනය ඉව වැටී තම දරුමල්ලන් කැටුව රංචු පිටින් නොදන්නා දිහාවල රැකවල් සොයා ඇදෙන කුරුලු රෑන් ඇතුලත් අමතක නොවන රූපරාමුවක්.

අනික් එක Volcano එකේ ව්‍යසනය ඇරඹෙන කොට තමන්ගේ ආදරණීයයන් රැකගැනීම සඳහා වහවහා ම නගරයෙන් ඉවත පලා යමින් රැකවල් සොයන නගර වාසීන්ගේ රිය පෝලිම.

දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වෙනකොටම පැය විසිහතරක පමණ ලොක්ඩවුන් එකකට ගිහින් මුල්ම ආසාදිතයින් ටිකදෙනා වෙන්කර නොගෙන රට පුරා ලෙඩේ වපුරපු එකේ වරද ගැන මේ වෙනකොට ගොඩක් දෙනා ලියල තියෙනව.

එදාවේල හොයාගන්න පිරිස ගැනයි රටේ පද්ධති බිඳවැටෙන එක ගැනයි දුක් වෙච්ච අයට දැන් තියෙන ප්‍රතිඵලය ගැන සතුටු ඇති.

‘ලෝක සෞඛ්‍ය සංවිධානෙත් මේක 2021 අග වෙනකල් ඇදෙනව කිවුවා, එතකල් ලොක්ඩවුන් කරන්නද කියන්නෙ’ කියල අහපු මාධ්‍ය ප්‍රකාශකවරුත් අද වෙනකොට නිවාඩුවට ගමේ ගිය මිනිස්සු හොයනව උන්ට දඬුවම් කරන්න.

බස්නාහිර පළාත තර්ජිත තත්වයක නම් තියෙන්නෙ, කලින් වතාවෙ ඇඳිරිනීතිය දාලා කාපු කට්ටත් මතක නම්, තවම ඒ පළාතෙ පදිංචි මගේ පවුලට රෝගය වැළඳිලා නැත්නම්, මට ටික දවසකට බස්නාහිර පළාතෙන් පිටවෙලා ඉන්න දකුණේ මහගෙදරක් හරි ඥාති නිවසක් හරි වෙන තැනක් හරි තියෙනව නම් සති අන්තයේ දීර්ඝ නිවාඩුවකුත් ආවම දරුපැටවුනුත් අරන් ඒ ගමන නෑවිදින් ඉන්නෙ ඒක නීතියෙන් තහනම් කළොත් විතරයි.

මට අනාවැකි කියන්න බෑනේ අනික් මිනිස්සුත් මේ දේම කරයිද කියල.

අනෙක ඔය ඉන්නවාය කියන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරන පකීර්ලටත් පෙනුනෙ නෑනේ ඇඳිරිනීතිය දාන බව පැය විසිහතරකටත් කලින් කිවුවම මිනිස්සු පළාත අතෑරල යාවි කියල.

එහෙම අවබෝධයක් තිබ්බ නං ඒ ගමන්ම දිස්ත්‍රික් මායිමි හරහා සංචරණය සීමාවත් පණවන්න තිබ්බනෙ.

අන්තිමට පළාතෙන් පිටත ගිය මිනිස්සු සංවිධානාත්මක අපරාධකාරයො වගේ හංවඩු ගහල උන් හොයන්න බදුර්දීන් හොයන්නවත් නොගත්ත තරම් වැඩපිළිවෙළක් දාල දඬුවමක් වශයෙන් නිරෝධායනය යොදාගන්න හදනකොට අහන්න හිතෙන්නෙ “දෙවැනි රැල්ල තුළ දැනට සපයලා තියෙන හිනා නොයන විහිළු මදිද මහත්තයෝ..” කියල.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අතීතයට බලපාන විදියට නීති ගේන්න හදනකොට පොලීසියෙම තව උසස් නිලධාරි තුමෙක් කියනව ‘වෙන සැරවල් වල දීර්ඝ සති අන්තවල හයිවේ එකේ ගිය ගණනෙන් බාගයයි මේ වතාවෙ ගිහින් තියෙන්නෙ, ඒ නිසා මේක කුමන්ත්‍රණකාරී වැඩක් කියල හිතන්න බෑ’ කියල.

ඉතිං නීතිය නොදන්න අපට තියා දන්න අයටවත් තේරෙනවද දන්නෙ නෑ සංචරණය සීමාකර නැති මාර්ගයක අදාල ගාස්තු ගෙවා තමන්ට අභිමත ගමනාන්තයක් වෙත ගොස් අභිමත කාලයක් රැඳීසිටීම වරදක් වෙන්නෙ මොන වගන්තිය යටතෙද, ඒ වරදට පෙනල්ටිය වෙන්නෙ නිරෝධායනයද කියන එක.

එතකොට නිරෝධායන කඳවුරු වලින් පොලීසියෙ අය පවා පැනල යන්නෙ ඒව දණ්ඩන කඳවුරු වර්ගයක් හින්දද?

අන්තිමට මේකත් නියමුවෙක් නැති හටනක් වෙච්චි බවයි මට මගේ මෝඩ මොලේට හිතෙන්නෙ.

ඉස්සර දවස ගානෙ ටීවී එකෙන් ඇවිත් අපට අතහෝදන එකයි මීටරේ පරතරෙයි තිබ්බම ඇති, මාස්ක් නං ඕන නෑ කියල ලස්සනට කට හදමින් තෝරල දීපු ගෙඩිමාල කරමාල පැලඳපු මැඩම්ලා රටේවත් නැති බව අහන්න ලැබෙනව.

රටේ මිනිස්සුන්ට යන්න එන්න වෙන්නෙ මාධ්‍ය ප්‍රකාශක කියන හැටියටද නැත්තං පළාතෙ පොලිස් ප්‍රධානියා කියන ලෙසටද යන්න උභතෝකෝටිකයක්.

කාර්ය සාධන මහත්වරු කියනව ගියපාර වගෙ 5000.00 නෙවෙයි මේ සැරේ 10,000.00 බඩු මල්ලක් දෙනව කියල.

හැබැයි මේක ලියන වෙලාව වෙනකොට එහෙම දීල නං මාධ්‍ය වලට නොපේන්න කොහොම දුන්නද මංදා.

අනෙක් අතින්, පවතින පාලනයට තමන් කිසිසේත් විකල්පයක් නොවන බව පෙන්වමින් විපක්ෂ නායකය ලොවෙන් ප්‍රතිකෂේප වුණු ප්ලැකනිල් ලංකාවෙ ලෙඩුන්ට පොවන්නයි රතන සූත්‍රය සජ්ජායනය කරන්නයි ඉල්ලමින් පන්සල් වන්දනාවෙ යනව.

එයාගෙ වත්මන් උපදේශක වෙලා ඉන්නෙ දානෙ වළඳන්නවත් මහින්දගෙන් නාහ ශ්‍රී මුඛය නොඅරින මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො.

දැන් දෙන්න එකතුවෙලා කැමරා ඉස්සරහ විස්සට බණිනව.

හාමුදුරුවන්ගෙ ද්විත්ව පුරවැසි විරෝධය එන්නෙ කොතනින්ද කියන එක නොපේන්නෙ ජාති අන්ධයෙකුට විතරයි.

එජාප දරසෑයට ගිණි අවුලවලා අවසාන කටයුත්ත හමාර කරන්න භාර දීපු බෑනප්පුව ගිය සතියටම කළ එකම රාජකාරිය ආගමික කටයුතු වල යෙදීම හා පාක්ෂිකයින්ගේ දුකසැප අසා දුරකථන ඇමතුම් දීම බව වාර්තා කරන්නෙ එයාලගෙම පත්තරේ.

රතු තරුවත් මිනිස්සු එක්ක විරසක වෙච්චි පාර බැහැල ගිහින් බැහිල්ලක්.

පාරෙ සින්ක් එකක්වත් හයිකර ගන්න තිබිච්ච එක අපේ උන් නැතිකරගත්ත.

ආසන හතර පහක් වත් ආව නං වැඩක් කරන්න තිබ්බ.

පක්ෂ අරමුදලට එන්නෙ මන්ත්‍රී වැටුප නිසා.

දැං ඉතිං මොකෝ මැදපෙරදිගින් සල්ලි ගේන්නද? කොම්පැනි බයකරල ඉල්ලන්නද?

ඖෂධ විෂය බලාගන්න පත් කරපු මහාචාර්ය තුමා පැණියකින් වැඩේ සෙට්ල් කරන්න යන්නෙ.

ඒ ගැන ආටිකල් එකක් කියෙවුවා ලංකාදීපේ.

ඒ කටයුත්තට එක්වුන වෛද්‍ය චක්‍රවර්තිල අතර සමහරු කියනව මේක ආයුර්වේද ප්‍රතිකාරයක්ලු.

සමහරු කියනව හෙළ එකක්ලු.

එක්කෙනෙකුට අනුව නං මේක රාවණ ඩිවලප් කරපු එකක්.

ඉතිං කෝමද වරදින්නෙ.

නේවි එක ගොඩ ගියෙත් නිලවල එයාල දීපු තෙල් ගාගෙනලු.

නේවි එක ගොඩ ගිය හැටි අපි දැකකනෙ පහුගිය කාලෙ.

හොඳ වෙලාවට මේ පැණියත් අර ඒ දවස්වල අපේ කට්ටිය පෝලිමට පේටන්ට් කරපු සෞඛ්‍ය උපකරණ වගෙ මාධ්‍ය සංදර්ශන වලට සීමා වෙයි වගේ.

මට මතකයි ගුවන් තොටුපලේ මොකද්ද ලයිට් එකක් හයිකරල ‘ලක් පුතෙක් ලොව වෙනස් කරන නිමවුමක!’ කියල උඩපැන්න හැටි.

අර ඉස්සර නියර රහින යන්තරයක් හදපු ළමයෙකුගෙ නමින් තාරකාවක් නම්කළා කියල අපිත් රැවටුන බොරුවක් ගෙනිච්චෙ ප්‍රාදේශීය දේශපාලුවෙකුගෙ උවමනාවකට.

අන්තිමට ඇත්තක් කිවුවත් පිලිගන්න බයයි.

නාථ දේව මණ්ඩලයත් අවුට් ඔෆ් ඕඩර් කියල ඒකෙ ප්‍රකාශක තුමාමත් දැන් ගන්නෙ ගණිතය වගෙම බොරුයි කියපු බටහිර ප්‍රතිකාර.

අපි බොයි පැණි… !

අහන්න ලැබුන එකම සතුටු දායක දේ මීට පස්සෙ නිරෝධායනය කරවන්න කන්දකාඩුයි අරහෙ මෙහෙයි අරන් නොයන බව විතරයි.

ඒව තියෙන්නෙ ඩවුන්සවුත් ආපු තක්කඩි හිරකරන්නනෙ.

(සටහන – ඉන්ද්‍රජිත් කොහොඹන් විසින් සිය Facebook ගිනුමේ තැබූ සටහනකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here