spot_img
spot_imgspot_img

බංගලියන් පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි වටයට පිවිසෙයි

පුවත්

විදෙස්

තියුණු තරඟයකින් පසු බංග්ලාදේශය කඩුලු 02කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලබාගත් ලකුණු 183 ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 08ක් දැවී පන්දු 04ක් ඉතිරිව තිබිය දී සපුරා ගත්තේය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි 20 තරඟයක දී හඹාගොස් ජය ලැබූ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය. මීට පෙර ලකුණු 194ක ඉලක්කයක් හඹාගොස් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබූ අතර එය ද බංග්ලාදේශයට එරෙහිව වීම විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනූ දසුන් ශානක බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. පවර් ප්ලේ පන්දු වාර 06 දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 55ක් ලබා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවන් සමත්වූයේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අඩිතාලම දමමිනි. හසන් පන්දු 26ක දී 06 පහර ‍02ක් සමඟ ලකුණු 28ක් රැස්කරගත්තේය. එසේ වුව ද හසන් මිරාස් සහ මුෂ්ෆිකර් රහීම් දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ යළි පීඩනය වැඩි කළහ.

අෆීස් හොසනේ, මොසදෙක් හොසේන් සහ මහමුදුල්ලා අවසන් පන්දුවාර 05 දී ලකුණු 60ක් ලබාගනිමින් ආරක්ෂිත ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම ඔසවා තැබීමට සමත්වූහ.  එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී බංග්ලාදේශ කණ්ඩායමක් විස්සයි 20 තරගයක දී ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

ඊයේ තරඟයේ දී ජාත්‍යන්තර විස්සයි 20 වරම් දිනාගත් අසිත ප්‍රනාන්දු සිය පළමු පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී ම සබීර් රහ්මාන් දවා ගත්ත ද ඔහුගේ පන්දු වාර 04 අවසන් වනවිට ලකුණු 51ක් උදුරා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්ව සිටියහ. වනිඳු හසරංගට සහ චාමික කරුණාරත්න දෙදෙනා හමුවේ ද ලකුණු 08කට වැඩි වේගයකින් පන්දුවට පහරදුන් ඔවුන් ලකුණු 06 සීමාවේ රඳවා ගැනීමට සමත්වවූයේ ඩිල්ෂාන් මදුශංක සහ මහීෂ් තීක්ෂණ පමණි.

ඉලක්කය පසුපස හඹා යාමේ දී කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක සාර්ථක ආරම්භයක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ආරම්භයේ සිටම ප්‍රහාරය දියත් කරමින් පන්දු 37ක දී ලකුණු 60ක් ලබාග්තතේය. දසුන් ශානක පන්දු 33ක දී 06 පහර 02ක් සහ හතරේ පහර 03ක් සමගින් ලකුණු 45ක් ලබාගත්තේය. 18 වැනි පන්දුවාරයේ 05 වැනි පන්දුවේ දී චාමික කරුණාරත්න දැවීයාමෙන් නම් දැරූ සියලු පිතිකරුවන් අහිමිවීමෙන් ශ්‍රී ලංකාවට නැවත අසීරු අවදානමක් ඇතිවිය. අවසන් පන්දු 07 දී ලකුණ 12ක අභියෝගය අසීරු බවක් පෙණිනි. නමුත් තමන් මුහුණ දුන්න ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු පන්දුව ම 04 සීමාවට යැවූ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට බලාපොරොත්තු එක්කළේය. ඔහු තරඟයේ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුව හෙවත් තමන්ට ලැබුණු දෙවැනි පන්දුවත් 04 සීමාවට යැවූ අතර ඊළඟ පන්දුවට ලකුණු 02ක් ලබා ගැනීමත් සමඟ එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කෙරණි. ශ්‍රී ලංකා ජයග්‍රහණය ඒ සමඟ තහවුරු විය. අසිත පන්දු 03කින් ලකුණු 10ක් ලබා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!