spot_img
spot_imgspot_img

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අසමසම වාර්තාවක් හිමි මහින්දීයයකුට ආදි සිසුන්ගෙන් උපහාර

පුවත්

විදෙස්

තම පාසලේ සිසුවකු විසින් පිහිටවූ වාර්තාවක් ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයා විසින් බිඳහෙළා පැය 24ක් යාමට පෙර එය තම විදුහලේ ම නම ඉදිරියෙන් ලියා තැබීමේ අපූරු වාර්තාවකට හිමිකම් කියූ ආදි සිසුවකුට උපහාර පිදීම ඊයේ (19) ගාල්ල මහින්ද විද්‍යාලයේ “මහින්ද සමාජය” විසින් සිදුකෙරිණි.

මෙම අසමසම වාර්තාවේ හිමිකරුවා වන්නේ 1972 වර්ෂයේ රිච්මන්ඩ් මහින්ද “ආදරවන්තයන්ගේ සටන” මහා ක්‍රිකට් තරඟයට ක්‍රීඩාකළ පී.එච්.කේ.එච්.රණසිංහය. මහින්ද කණ්ඩායමේ උපනායකයා ලෙස එම තරඟයේ දී කටයුතු කළ රණසිංහ මහින්ද ඉනිමේ දී ලකුණු 162ක් ලබාගනිමින් එම මහා තරඟයේ එදා මෙදාතුර ඉනිමක වැඩිම ලකුණු ලැබීමේ වාර්තාවට හිමිකම් කියයි.

ඔහු විසින් බිඳහෙළන ලද්දේ ඊට පෙර දින රිච්මන්ඩ් කණ්ඩායමේ නායකයා ප්‍රසාද් කාරියවසම් විසින් පිහිටුවන ලද ලකුණු 156ක වාර්තාවකි. ප්‍රසාද් කාරියවසම් එම ලකුණු 156 ලැබීමට පෙර ඉනිමක වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාවට හිමිකම් කියන ලද්දේ මහින්ද විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ සිරිසේන හෙට්ටිගේ විසිනි. ඔහු එම වාර්තාව පිහිටුවා වසර 33කට පසු ප්‍රසාද් කාරියවසම් වාර්තාව රිච්මන්ඩ් විද්‍යාලය සතුකරගත්තේය.

පී.එච්.කේ.එච්.රණසිංහ විසින් වාර්තාව පිහිටුවා වසර 50ක් සම්පූර්ණවීම සහ “මහින්ද සමාජය” පිහිටුවා වසර 25ක් ගතවීම වෙනුවෙන් රණසිංහට උපහාර පිදීම ඊයේ සිදුකෙරිණි. කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම උත්සවය සඳහා විශේෂ ආරාධිතයා ලෙස මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකුවන හිටපු ටෙස්ට් නායක මාවන් අතපත්තු සහභාගී වූ අතර මහින්ද සමාජයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විදුහල්පති අතුල විජේවර්ධන ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම අසම සම වාර්තාව පිළිබඳ මහින්ද ආදි සිසුවන් විසින් තැබූ විශේෂ සටහනක් පහතින්

තමන් ඉගෙනුම ලැබූ පාසල යනු ඕනෑම පුද්ගලයකුගේ සුවිශේෂීතම වූත් කිසිදා අමතක නොවන්නා වූත් නවාතැනයි.

කෙනෙකුට පාසල අමතක නොවුන ද පාසලට සිප්සතර හැදෑරීමට එන දහස් ගණනක් සිසු දරුවන් පිළිබඳ මතකයන් බොහෝ පාසල් ප්‍රජාවන්ට කාලයත් සමඟ අමතකව යයි. කොතරම් විශිෂ්ඨයන් බිහි වුව ද ඔවුන් අතර අති සුවිශේෂී අති විශිෂ්ඨයන් සිටින්නේ කලාතුරකිනි.

අපගේ ආදරණීය විදුහල මහින්දයේ ද එවැනි අති විශ්ෂ්ඨයන් සිටිති. ඒ අතරින් විදුහල් නාමය පවතින තුරාවට අමතක නොවන නාමයක් වන්නේ “රණසිංහ” යන්ය.

නමේ අරුතෙන් ම සටන්කාමී සිංහයකු වූ ඔහු විදුහලට අහිමිවී ගිය කීර්තියක් මොහොතකින් යළි ලබා දීමේ මහා පෙළහරක් පෑ අද්විතීය මිහිදු පුතයෙකි. මේ නිසාම ඔහු මහින්ද නාමය පවතින තුරාවට සදානුස්මරණීය වූ නාමයකි.

ඒ, 1972 මාර්තු 24 වැනි දා ය.

රිච්මන්ඩ් – මහින්ද “ආදරවන්තයන්ගේ සටන” දහවල් 12.00 ආරම්භ විය. රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායක ප්‍රසාද් කාරියවසම් පිටිය සිසාරා පහර පිට පහර එල්ලකරමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යමින් සිටියේය. මහින්ද සිසුන් පුදුමයෙන් බලා සිටියි. එදා මෙදාතුර ආදරවන්තයන්ගේ සට‍නේ එක් ක්‍රීඩකයකු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තා වූ මහින්දයේ සිරිසේන හෙට්ටිගේ රැස්කරගෙන තිබූ ලකුණු 155 සීමාවට ප්‍රසාද් කාරියවසම් සේන්දු විය. ඔහු එම ලකුණු සංඛ්‍යාව ඉක්මවා 156ක් රැස්කර ඉනිම අත්හිටවූයේය. මහින්දය සතු වූ කීර්තිය රිච්මන්ඩ්වරු සතුවීම පිළිබඳ මහින්දීයයෝ පසුවූයේ ඉමහත් වේදනාවකිනි. රිච්මන්ඩ් කණ්ඩායම පළමු දිනය අවසන්වීමටත් පෙර දැවැන්ත ලකුණු 274ක් කඩුළු 05ක් දැවී රැස්කරගෙන තිබිණි. එය ද කණ්ඩායමක් ඉනිමක ලැබූ වැඩිම ලකුණු වාර්තාව විය.

මෙය මහින්දය ලැජ්ජාසහගත තරඟයක් බවට පත්වන ලකුණු පෙනෙන්නට තිබිණි.

මහින්ද කණ්ඩායම පිටියට පිවිසෙද්දී විදුහල් ප්‍රජාව ඉච්ඡා භංගත්වයට පත්ව සිටියහ. එහෙත්, මහින්දයේ ගුරුවරයකු වූ තියඩෝර් මාස්ටර් සැළුණේ නැත. මහින්ද කණ්ඩායමේ උපනායකයා වූ රණසිංහට ඔහු මෙසේ කීවේය. “ අපිට රෙකෝඩ් නැති වුණා. ඒත් උඹට පුළුවන් පුතා. උඹ ඒක ගහන්නම ඕන. හෙමිහිට පරෙස්සමෙන් ගහන්න.” මේ වදන් රණසිංහගේ හද පත්ලටම වැදුණේය. මහින්දීයයන්ගේ වුවමනාව ඔහුට කවදාටත් වඩා දැනෙන්නට විය.

“එදා අපේ ඉනිම අරම්භ කරපු සාලිය සමරනායක, රෝයි කරුණානායක දෙන්නගෙන් සාලිය මුලින් ම දැවී ගියා. ඊට පස්සේ මම පිට්ටනියට ගියා. දවස ඉවරවෙන්න ළඟයි. මම හිතුවා එදා දවස කොහොම හරි අල්ලගෙන ඉන්නවා කියලා. තට්ටු දදා හිටියා. අන්තිම ඕවරේ අනිත්ම බෝලෙට එක ලකුණක් ගැහුවා. ඒ තමයි එදා දවසේ මම ගත්තු එකම ලකුණ. අපි ලකුණු 20යි කඩුළු 01යි. පසුව දා මම තමයි පළවෙනි බෝලෙට ෆේස් කළේ.”

රිච්මන්ඩ් විද්‍යාලය වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් ලබාගත් බැවින් දෙවැනි දිනියේ මහින්ද සිසු කූඩාරම බො‍හෝ සෙයින් හිස්ව තිබිණි. රිච්මන්ඩ් ක්‍රීඩාගාරය පිරී ඉතිරි ගොසිනි.

රණසිංහ, පිටියට පිවිසියේ ය. වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් රැස්කරමින් තරඟ ඉතිහාසය වෙනස් කළ නායක ප්‍රසාද් කාරියවසම් ප්‍රමුඛ රිච්මන්ඩ් බල ඇණිය ජයග්‍රහණයක් ම පැතුවේය.

නමුත් රණසිංහ සටනට පිවිසි සිංහයකු ලෙස ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියේය. ඔහුගේ පිත්තෙන් ලකුණු ගලා එනවිට ක්‍රම ක්‍රමයෙන් මහින්ද සිසුන්, ආදි සිසුන සහ සුබ පතන්නන්ගෙන් ක්‍රීඩා පිටිය පිරී ඉතිරියන්නට විය. රිච්මන්ඩ් ක්‍රීඩාගාරය නිහඬතාවයේ ගිලී යද්දී කළු රන්වන් ධජ ලෙළවමින් ජයඝෝෂා හඬ ගාලු අඹර පුරා නැගෙනන්ට විය.

රණසිංහගේ පිත්තෙන් පිටිය සිසාරා පහර පිට පහර එල්ලවන්නට විය.

අර්ධ ශතකය, ශතකයක් බවටත් එය ලකුණු 150ක් බවටත් පත්විය. මහින්දය සතුව තිබූ වසර 33ක් පැරණි වාර්තාව පෙර දිනයේ උදුරාගත් ප්‍රසාද් කාරියවසම් පන්දුව අතට ගෙන තිබිණි. තමන් සතු වූ වාර්තාවට අභියෝග කරන ප්‍රතිවාදියා දවා ගැනීම ඔහුගේ එකම අභිප්‍රාය වන්නට ඇත.

මහින්දයට අහිමි වී ගිය අභිමානය තවත් මොහොතකින් ලබාදිය හැකිබව දන්නා රණසිංහ වඩාත් ඉවසිලිවන්ත වූයේය. ඔහු එක් ලකුණෙන් ලකුණ රැස් කළේය. 156 වැනි ලකුණ රැස්කළ විට ඔහුගේ සහායක පිතිකරු වූ, පසුකාලයක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නා ද වූ ඩී.එල්.එස්. ද සිල්වා එක් ලකුණක් ගෙන පැති මාරු කළේය. ප්‍රසාද් කාරියවසම් දිවැවිත් එවූ දඟ පන්දුවට එක්ස්ට්‍රා කවර් හරහා පහරක් එල්ල කළ රණසිංහ පැතිමාරු කළේ රිච්මන්ඩ් ක්‍රීඩකයන් විසින් උදුරාගත් වාර්තාව පැය 24ක් ඉක්මයාමට පෙර යළි මහින්දය සතුකරගනිමිනි.

තමන්ගේ ම වාර්තාව බිඳ දමමින් තම පන්දුවට ම ලකුණක් ලබාගත් මේ ප්‍රතිවාදියා වෙත ආ ප්‍රසාද් කාරියසම් “මහින්දෙ කොල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ” යැයි කීවේ ආදරවන්තයන්ගේ ක්‍රීඩා ශීලීත්වය ප්‍රදර්ශනය කරමිනි.

ක්‍රීඩාංගණය මහින්දීයයන්ගෙන් පිරී ඉතිරී යද්දී මොහොතකට තරඟය නැවතිනි. පසුව යළි තරඟය ආරම්භ වූ අතර ලකුණු 162ක් ලබා සිටි රණසිංහ උඩ පන්දුවක් දී දැවී ගියේය.

එදා ඔහු පෑ වික්‍රමයෙන් මහින්දය සිය ඉනිම අත්හිටුවන විට කඩුළු 09ක් දැවී ලකුණු 359ක් වාර්තා කර තිබිණි. එය එදා මෙදාතුර ආදරවන්තයන්ගේ සටනේ එක් කණ්ඩායමක් ඉනිමක ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

රණසිංහ ඉතිහාසගත වූයේත්, මහින්දය පවතින තුරාවට ඔහුගේ නම රන් අකුරින් ලියැවී ඇත්තේත් මේ සුවිශේෂී දස්කම හේතුවෙනි. එවැනි දස්කමක් පෑ ක්‍රීඩකයෙක් ලෝකයේ පාසල් ක්‍රිකට් ඉතිහාය තුළම නොමැත.

1952 දෙසැම්බර් මස 22 වැනි දා ගාල්ලේ පදිංචි පී.එච්.කේ.ඇල්බට් රණසිංහ මහතාට දාව ඉයුජිනී රණසිංහගේ කුසින් මෙළොව එළිය දුටු පී.එච්.කේ.එච්.රණසිංහ 1958 මාර්තු පළමුවැනි දා අරලිය මල් වැටුණු මාවත ඔස්සේ කුඩා රණසිංහ තම පියාගේ අතැඟිලි අල්ලාගෙන මහින්දයට පිය මැන්නේය.  ඔහුට සහෝදරයන් දෙදෙනෙ‍ක් හා සහෝදරියෝ දෙදෙනෙක් සිටියහ. ඔහු එදා මේ අද්විතීය වාර්තාව තබන මොහොතේ ඔහුගේ බාල සොහොයුරා ද මහින්ද කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටීම විශේෂත්වයකි.

මහින්දයේ විශ්ෂ්ඨයන් අතර පී.එච්.කේ.එච්.රණසිංහ යනු සදානුස්මරණීය තවත් විශිෂ්ඨයෙකි. බොහෝ දෙනකු තම අධ්‍යාපනයෙන්, වෘත්තියෙන් මහින්දයට කරනු ලබන සේවයෙන් විශිෂ්ඨයන් වෙති. ක්‍රීඩාවෙන් ද විශිෂ්ඨයෝ බිහිවෙති. මේ අතරින් රණසිංහ යනු අද්විතීය විශිෂ්ඨයකු වන්නේ ඔහු තම විදුහලට අහිමිවූ කීර්තිය පාසල් සිසුවකුව සිටිය දී ම ඉතාමත් කෙටි කාල සීමාවකින් යළි මහින්දයට ම හිමිකරදීමට දැක්වූ සුවිශේෂී දස්කම හේතුවෙනි.

ඔහු මේ නිසාම ඉතිහාස ගත වී සිටියි. එවැනි දසක්මක් දැක්වීමට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයකුට යළි හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසාම ඔහු අද්විතීය චරිතයකි.

Mahinda club ආරම්භ කළ අවස්ථාවේ සිට ම එහි පූරණකාලීන සාමාජිකයකු වශයෙන් ඔහු අප සැම හා එක්ව සිටීම අප ලැබූ භාග්‍යයක් මෙන්ම අභිමානයට හේතුවන්නා වූ කරුණකි. මහන්ද සමාජයට වසර 25ක් සම්පූර්ණවන මේ මොහොතේ ඔහු තැබූ අසමසම වාර්තාවට ද වසර 50ක් සම්පූර්ණවීම ඉතා සුවිශේෂිතය.

එබැවින් Legacy of Victory උපහාරය පුදකිරීමට වඩාත් සුදුසුම පුද්ගලයා රණසිංහයන් බව අවිවාදිතය.

දැඩි අධිෂ්ඨානය, කැපවීම, නොපසුබස්නා උත්සාහය, ඉවසීම යන සියල්ල කැටිකර මහින්ද නාමය කීර්තියෙන් ම වැජඹවූ අප ආදරණීය පී.එච්.කේ.එච්.රණසිංහ මිහිඳු සොහොයුරාණනි මහින්ද සමාජයේ යාවජීව සාමාජිකයකු වූ ඔබ සමස්ත මහින්ද පරපුරටම ආඩම්භරයකි, ආඩම්භරයකි. එබැවින් Legacy of Victory ඔබටයි.

මෙම උපහාර උත්සවයේ නිර්මාණ සංකල්පය මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ICONN MEDIA නිර්මාණ අධ්‍යක්ෂ චන්දිමාල් විතානගේ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!