spot_img
spot_imgspot_img

Digital තිරයෙන්, දරුවන්ගේත් ඔබේත් ඇස් බේරාගන්නේ කෙසේ ද ?

පුවත්

විදෙස්

(සජීව විජේවීර)

පරිගණකය ඇතුළු ඩිජිටල් තිර භාවිතය හේතුවෙන් දෘෂ්ඨි ආබාධයන්ට ගොදුරුවන  ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විශේෂඥ අක්ෂි වෛද්‍ය සමන් විිමලසුන්දර පවසයි.

කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශය කලකට ඉහත කර තිබූ සමීක්ෂණයකින් මෙම කරුණු හෙළිවූ බවද වෛද්‍යවරයා කීවේය. මේ වන විට ලෝකය පුරා මිලියන 60 ක් වූ අතිවිශාල ජනගහණයක් මෙලෙස පරිගණක භාවිතයෙන් ඇතිවන දෘෂ්ඨි අබාධයන්ට ගොදුරුවී ඇතැයිද එම තත්වය පරිගණක දෘෂ්ඨි සින්ඩ්‍රෝමය (Computer Vision syndrome) නමින් හඳුන්වන බවද විශේෂඥ වෛද්‍ය සමන් විමලසුන්දර කීවේය.

පරිගණකය ඇතුළු ඩිජිටල් තිර අත්‍යාවශ්‍ය උපකරණයක් වී ඇති යුගයක පරිගණක දෘෂ්ඨි සින්ඩ්‍රෝමය නම් මේ තත්වය පිලිබඳ අප සොයා බැලිය යුතුව තිබේ.

පරිගණක භාවිතය මෙතරම් ප්‍රචලිත වීමට පෙර කාර්යාලයීය කටයුතු යනු විශාල විවිධත්වයක් සහිත රාජකාරියකි. එනම් යතුරු ලියනය කිරීම, ලිපි ගොනු ගත කිරීම, කියවීම, ලිවීම, වැනි එකිනකට වෙනස් වූ කටයුතු නිසා කාර්යාලයීය සේවක සේවිකාවෝ විවිධ ඉරියව් රැසක නිරතවෙමින් තම දෛනික කාර්යයන්හි නිරතවූහ. ඒ අනුව කාර්යාලයීය සේවක සේවිකාවන්ගේ ඇස් වලට විවිධ අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවූ අතර එහි විවිධත්වය නිසාම ඒ ඇසෙහි ක්‍රිරයාකාරීත්වය ද ඉතාමත්ම හොඳින් සිදුවුණි.

අධ්‍යාපනය ලබන දරුවන් ද එසේමය.

නමුත් පරිගණකය පැමිණීමත් සමඟම ඉහත කී සියල්ල සිදුකරනුයේ පරිගණක භාවිතයෙනි. ඒ අනුව පරිගණක භාවිතා කරන කාර්යාල සේවක සේවිකාවෝ දවසේ වැඩි කාලයක් එකම ආකාරයකින් හිඳගෙන ආලෝකයක් සහිත එක් තිරයක් දෙස නෙත් යොමා සිටීමට පුරුදුව ඇත. මෙහිදී සිදුව ඇත්තේ ඇසේ ක්‍රියාකාරීත්වය ඒකාකාරී වීමයි.

ඇසට ලැඛෙන ආලෝකයත්, තමන් බලන වස්තුවේ පිහිටීමත්, හිස ඉහළට හෝ පහළට නැඹුරුවීමත් යන කරුණු අනුව ඇසේ පේෂි ක්‍රියාකාරීත්වය විවිධ වේ.

පාසල් දරුවන් ද කොරෝනා වසංගතය සමඟ ආරම්භ වූ ඔන්ලයින් අධ්‍යාපනය හමුවේ පෙර කවරදාටත් වඩා පරිගණක ඇතුළු විවිධ ආකාරයේ ඩිජිටල් තිර භාවිතයට පුරුදුව සිටී. ඔවුන් වෙනදාට වඩා වැඩි කාලයක් එක දිගට එවැනි තිර භාවිතා කරයි.

වෙනදා කාර්යාල සේවක සේවිකාවෝ සිය මේසය මත තබාගත් ලිපිගොනු වල කටයුතු කිරීමේ දී ඇස් පහතට යොමු කර එම කාර්යය සිදු කළ අතර ලිපි ගොනු ගත කිරීම, යතුරු ලියනය කිරීම, කියවීම යන විවිධ අවස්ථාවන්හිදී ඇසේ පේෂි හොඳින් ක්‍රියාත්මක විය. ඇස් වඩාත් විවරවූයේ නැත. අඩක් පියවී තිබූ ඇස් හොඳ කඳුළු සාන්ද්‍රණයක් සහිතව තිබූ අතර ඇසි පිය ගැසීම ද එවැනි විවිධත්වයකින් යුතු කටයුතු වලදී හොඳින් සිදුවේ.

එහෙත් පරිගණකය පැමිණීමෙන් මේ සියල්ල උඩුයටිකුරු වූවේය. මේසය මත පැමිණි පරිගණක දෙස එය භාවිතා කරන්නන් බලන්නේ වෙනදා මෙන් හිස පහතට යොමු කරගෙන නොවේ. එබැවින් ඇස වඩාත් විවර වේ. තිරයෙන් පිටවන ආලෝක කඳම්භය නිසා ඇසි පිය ගැසීමේ වාර ගණන අඩුවී යයි. ඒ හේතුවෙන් ඇසට අත්‍යාවශ්‍ය වූ කඳුළු සංසරණය හොඳින් සිදුවන්නේ නැත. වෙනදා සිදුකළ විවිධ කටයුතු සියල්ල පරිගණකයෙන් සිදු කරන බැවින් එය භාවිතා කරන්න දිනයේ වැඩි කාලයක් එකම ඉරියව්වක සිටිමින් පරිගණක තිරය දෙසම බලා සිටී. එබැවින් අක්ෂි කාචය, අක්ෂි විවරය ආදිය දිනයේ වැඩිම කාලයක් එකම පිහිටීමක පවතී.

පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමයට හේතුවන්නේ මේ තත්වයයි. වැඩි කාලයක් පරිගණක තිරය ඉදිරියේ සිටිමින් එදෙස බලා සිය දෛනික කටයුතු වල නිරතවන ඔවුන්ගේ ඇස් රිදෙන්නට පටන් ගන්නේ ඇසේ ඒකාකාරී බව හේතුවෙන් බව විශේෂඥ වෛද්‍ය සමන් විමලසුන්දර අවධාරණය කරයි. පරිගණකය හේතුවෙන් ඇස් වියළී යන අතර, ඇස් රතුවීම, කැසීමක් හටගැනීම, ඇසේ විඩාව, තාවකාලිකව වරින් වර පෙනීම බොඳවීම, ආලෝක සංවේදී බවේ විෂමතා ඇතිවීම, අක්ෂි පේෂි වල ආබාධ, මේ පරිගණක දෘෂ්ඨි සින්ඩ්‍රෝමය නම් තත්වයේදී බහුලව හමුවන ආබාධයන් වේ.

ඇසට හා පෙනීමට සිදුවන ආබාධයන්ට අමතරව එකම ඉරියව්වක වැඩිකාලයක් සිටීම නිසා ඛෙල්ල හා පිටේ ඉහළ කොටස්, කොඳු ඇට පෙළ හා දෙ අත් වල වේදනාව හා හිසරදය ඇතිවිය හැකි බවද මේ වන විට පර්යේෂණ මගින් තහවරු කරගෙන ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ කුඩා ළමුන් පරිගණක භාවිතයට නැඹුරු වීමේ ප්‍රවණතාවය ඉතාමත්ම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. නිවසේදී හා පාසලේදී ළමුන් පරිගණක භාවිතා කරයි. දෙමාපියන්ද සිය දරුවන් ළමා වියේදීම පරිගණකයට යොමු කිරීමට කටයුතු කරමින් සිටී. එහෙත් මෙය මේ වන විට ඉතාමත්ම භයානක තත්වයක් බව පර්යේෂණ මගින් තහවරු වී ඇත. පර්යේෂකයන් පවසන්නේ අඩු වයසකදී පරිගණකය ඇසුරේ කටයුතු කිරීම නිසා කුඩා ළමුන් අවිදුර දෘෂ්ටිකත්වය නම් දෘෂ්ටි ආබාධයට ගොදුරුවන බවයි.

කෙසේ වෙතත් සියළු වැඩිහිටියෝ පරිගණක භාවිතා කරන සිය දරුවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්ම ඇත. සාමාන්‍යයෙන් දරුවෙකු ඩිජිටල් තිරයකට හුරු වුවහොත් ඔහු හෝ ඇය එය භාවිතයේ සීමාවක් නැත. ඉතාමත්ම දීර්ඝ වේලාවක් එවැනි ඩිජිටල් තිර සමඟ ඔවුන් ගත කරන්නේ කිසිදු විවේකයක් නොළඹමිනි.

එමෙන්ම ළමුන් ඕනෑම තත්වයකට ඉතාමත්ම ඉක්මණින් හැඩගැසීමේ අපූරු හැකියාවකින් යුතු බව අපි සියළු දෙනාම දන්නා කරුණකි. දරුවන් ඩිජිටල් තිර සමඟ ගත කිරීමේදී යම් දෘෂ්ඨි ආබාධිත තත්වයක් හෝ අපහසුතාවයක් ඇති වුවහොත් ඔවුන් සළකන්නේ එයද සාමාන්‍ය දෙයක් ලෙසිනි. එමෙන්ම එම අබාධය අනුව හැඩගැසීමටද දරුවා නිරන්තරවම යොමුවේ. ඒ අනුව සිය දරුවාට දෘෂ්ඨි ආබාධයක් ඇතැයි දෙමාපියන් දැනගන්නේද නැත.

බොහෝ විට ළමුන් නිවසේදී භාවිතා කරන්නේ සිය දෙමාපියන් විසින් භාවිතා කරන පරිගණක සහ ස්මාර්ට් දුරකථන වැනි උපකරණයන් ය.

පරිගණකය වැඩිහිටියන් වෙනුවෙන් සැකසූ උපකරණයක් වීම හේතුවෙන් එහි පිහිටීම කුඩා ළමයෙකුට ගැලපෙන්නේ නැත. එවැනි පරිගණකයක් භාවිතා කරන දරුවා තමන්ට නුසුදුසු තරමේ උසින් පිහිටි පරිගණකය දෙස බැලීමේදී ඇයගේ හෝ ඔහුගේ දෑස් මුළුමනින්ම විවෘතව පවතී. මෙය දෘෂ්ඨි ආබාධයන්ට බරපතල සාධකයක්ද වේ. එබැවින් වැඩිහිටියන් තමන් භාවිතා කරන පරිගණකය සිය දරුවාට පරිහරණය කිරීමට දෙන්නේනම් එය පවතින ප්‍රමාණයේ සිට සියයට 15 ක කෝණයකින් පහතට නැඹුරු කිරීමට දෙමාපියන් වග බලාගත යතුව ඇත.

වයස් බේදයකින් තොරව ළමා වැඩිහිටි කොයි කාටත් බලපාන පරිගණක දෘෂ්ඨි සින්ඩ්‍රෝමය නම් මෙම තත්වය මඟහැර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග රැසක් ඇතිබවද විශේෂඥ වෛද්‍ය සමන් විමලසුන්දර පෙන්වා දෙයි.

ඇසට කරනු ලබන ප්‍රතිකාර වලින් හා පරිගණකය ස්ථානගත කිරීමේදීත් එය භාවිතා කිරීමේදීත් මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කිරීමෙන් දෘෂ්ඨි ආබාධයන්ට ගොදුරුවීමෙන් වැළකී සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය විමලසුන්දර කියයි.

සාමාන්‍යයෙන් අපි ලියනු ලබන හෝ අඳිනු ලබන අකුරක් හෝ වේවා රේඛාවක් හෝ වේවා එය සෘජු සංතෘප්ත රේඛාවකි. එහෙත් පරිගණකය අපට ලබානේනේ දෘෂ්ඨි මායාවකි. පරිගණකයක් තුළින් සෑදෙන අකුරක් එක් සෘජු රේඛාවකින් සෑදෙන්නේ නැත. එය තිත් රාශියක එකතුවකි. පරිගණකයක් සමඟ කටයුතු කිරීමේදී පරිගණකයේ  තිරය දීප්තිමත් සුදු පැහැයෙන් යුතු වීමත් ඒ මත සටහන් වන අක්ෂර තද කළු පැහැයෙන් යුතුවීමත් මෙලෙස කුඩා තිත් ගණනාවකින් සෑදෙන අක්ෂරය කුමක්දැයි හඳුනාගැනීමට හා එය ක්ෂණයකින් හඳුනාගැනීමට ඇසට හැකියාව ලැබේ. එහෙත් පරිගණක තිරය මතට හා ඒ අවට වෙනත් දීප්තිමත් ආලෝක තත්වයක් තිබුණහොත් තිරය මත තත්වය වෙනස් වේ . එවිට අක්ෂර හෝ වෙනත් සංකේත නිශ්චිතව ක්ෂණයකින් හඳුනාගැනීමට ඇසට හැකියාව නැත. ඇස විවිධ ස්ථානයන් නාභිගත කරගැනීමට උත්සාහගනී. එහි ප්‍රතිඵලය වන්නේ පරිගණක භාවිතා කරන්නා නොදැනුවත්වම ඇස ඉතාමත්ම විඩාවට පත්වීමයි. ඒ තත්වයද අක්ෂි රෝග වලට අතවැනීමකි.

ඒ පිළිබඳව සැළකිලිමත් වෙමින් අප පරිගණකය ස්ථානගත කළ යුතය. පරිගණකය ස්ථානගත කිරීමේදී එය තබන ස්ථානය හෝ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා පරිගණයක් හෝ වෙනත් ඩිජිටල් උපකරණයක් ස්ථානගත කරන තැන ඉතාමත් අධික ආලෝකයකින් යුතු ස්ථානයක් නොවිය යුතුය. කෙළින්ම ඇසට දීප්තිමත් ආලෝකය නොලැඛෙන ආකාරයට පරිගණකය ස්ථානගත කිරීම වැදගත් වේ. ජනෙල් තුළින් ලැඛෙන ආලෝකය තිරරෙදි දමා පාලනය කිරීම වීදුරු යොදා ආලෝකයේ තීව්‍ර තාවය අඩුකිරීම හෝ කළ යුතුය. එහෙත් යතුරු පුවරුව ආලෝකමත් වීමත්, තමන් යම් දෙයක් පරිශීලනය කරමින් පරිගණකයේ කාර්යයන්හි නිරතවන්නේනම් එලෙස පරිශීලනය කරන දෙය ද අලෝකමත් වීම වැදගත් වේ.

පරිගණකය ස්ථානගත කරනු ලබන ස්ථානය සේම එය සවිකරණ ආකාරයද අතිශය වැදගත් වේ. පරිගණකයේ තිරය එය භාවිතා කරන්නාගේ ඇසෙහි සිට අඟල් 35- හෝ 40 ඈතින් තිබීම වඩාත් සුදුසු බව වෛද්‍ය මතයයි. එමෙන්ම එම පරිගණක තිරයේ පිහිටීම භාවිතා කරන්නාගේ ඇස්මට්ටමට වඩා අංශක 10 හෝ 20 ක් පමණ පහතින් තිබිය යුතුය. එවිට බැල්ම පහතට යොමුවන බැවින් ඇස නිරාවරණය වන ප්‍රමාණය අඩුවේ.

පරිගණකය භාවිතා කිරීමේදී පැය දෙකක් පමණ එක දිගට පරිගණකය සමඟ කටයුතු කළහොත් විනාඩි 10 ක් 20 ක් පමණ කාලයක් පරිගණක තිරයෙන් ඇස ඉවත් කර හැකිනම් තමන් සිටි ස්ථානයෙන් ඉවත්ව එළිමහනේ ඇවිදීමට යාම වැනි පුරුදු ඇතිකර ගතහොත් මෙම සින්ඩ්‍රෝම තත්වයෙන් මිදිය හැකි බව විශේෂඥ වෛද්‍ය සමන් විමලසුන්දර කීවේය. කෙසේ වෙතත් පරිගණකය සමඟ කටයුතු කරන අතර තුරම වරින් වර එයින් ඇස ඉවත් කර ඈත බලා සිටීමෙන් සිය ඇස් බේරාගැනීමට හැකියාව පරිගණක භාවිතා කරන්නන්ට ලැබේ.

ඇසේ වියළි බව නිසා ඇතිවන අපහසුතා සඳහා ඖෂධ පතිකාර භාවිතා කළ හැකි බව  ද වෛද්‍යවරයා කියයි. නමුත් දෘෂ්ඨි ආබාධයකට ගොදුරුවුවහොත් ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ප්‍රතිකාර හැකි පමණ ඉක්මනින් ලබාගත යුතු බවත්, පරිගණකය නිසි භාවිතය තුළින් අක්ෂි රෝග අවම කරගැනීම වඩාත් සුදුසුම ක්‍රියාදාමය බවත් පෙන්වා දෙයි.

මේ වනවිට ලොව පුරා පරිගණක භාවිතා කරන ළමුන්ගෙන් සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයකට උපැස් යුවලක් පැළඳීමට සිදුව ඇති බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දෙයි.

1995 වර්ෂයේ සිට තායිවානයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කරණ ලද සමීක්ෂණයක ප්‍රතිඵල පෙන්වා දෙන්නේ පරිගණක භාවිතය බහුල වීමට සාපේක්ෂව අවිදුර දෘෂ්ඨිකත්වයට ගොදුරු වූවන්ගේ ප්‍රමාණයද සියයට 12.1 සිට 20.4 දක්වා වැඩි වී ඇති බවයි.

කෙසේ වෙතත් පරිගණක දෘෂ්‍ය සින්ඩ්‍රෝමය (Computer Vision syndrome) නමින් හඳුන්වන මෙම පරිගණකය නිසා ඇතිවන දෘෂ්‍යාබාධවලට ගොදුරුවූ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් ඇති ඇති අතර සෑම වර්ෂයකම ඒ සඳහා අළුතෙන් එක්වන සංඛ්‍යාව මිලියන ගණනක් වේ.  

Computer Vision syndrome තත්වයෙන් මිදීම සඳහා පරිගණක භාවිතා කරන සියල්ලෝම වගබලා ගත යුතුව ඇත. නොඑසේනම් අනාගතයේ දෘෂ්‍යාබාධිත පිරිස අධික වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!