spot_img
spot_imgspot_img

අතීතයේ ර‍ජගෙදර ලොක්කෝ ‍ගැන ඔබ නොදත් තොරතුරු

පුවත්

විදෙස්

රජුන් සමග වැඩි ඇසුරට යන්නට එපායැයි කීවේ තථාගතයන් වහන්සේය. ලොව දහම් දිවයින වූ මෙසිරිලක පාලකයා වූ රජුගේ මහ වාසලේ සේවය කරමින් රජු සමීපව ඇසුරු කළ ඇත්තෝ බොහොමයක් වූහ. සිංහලද්වීපයේ සිංහාසානරූඪ වූ විවිධ රජවරු ඒ ඒ අවස්ථාවන්හිදී තම අවශ්‍යතාව සහ සමාජයීය අවශ්‍යතාව අනුව විවිධ තනතුරු ඇති කරමින් විවිධ පුද්ගලයන්ට වගකීම් භාරදුන්හ. ඒ පාලනය වඩාත් විධිමත් හා පහසු කැර ගැනීමේ අරමුණෙනි.

සිංහල ආණ්ඩුවේ මහ වාසල රාජකාරියේ යේදී සිටි නිලධාරන්ට ව්‍යවහාර කළ තනතුරු නාමයන්හි අර්ථ හා සේවයෙහි තත්ත්වය ද එකිනෙක වෙනස් වේ. උඩරට රාජධානියේ මහ වාසළ රාජකාරී කළ තනතුරු වරින් වර ලේඛණ ගත වී තිබීම හේතුවෙන් අදට ද ඒ තනතුරු පිළිබඳ අවබෝධයක් ලැබීමේ අවස්ථාව උදාවී ඇත.

සිංහල ආණ්ඩුවේ උසස් තනතුරු ලැබූවෝ ගොවි කුලයේ පිරිස වෙති. මෙරට අවසන් රාජධානය වූ මහනුවර රාජ්‍ය පාලන කාලයේ දී එම ප‍්‍රධානීන්ට පොදුවේ රදළ යැයි ව්‍යවාහාර කර තිබේ. රදළ යනු රජකුළ යන ශබ්දයෙන් බිඳී ආ වචනයකි. මොවුන් පිළිබඳ පැරණි සෙල්ලිපිවල දැක්වෙන්නේ “රදොල්සම් දරුවන්” නමිනි. සිංහල රාජ වංශය ගොවි වංශය, බ‍්‍රාහ්මණ හා වාණිජ වංශය යන ගෝත‍්‍ර තුනෙන්ම සම්මිශ‍්‍රව තිබූ බව පැරණි ඓතිහාසික සාධක අනුව පෙනීයයි. ඒ අනුව ඉතිහාසඥයන් පවසන්නේ රජුගේ පරපුරට පසු ප‍්‍රධානතම වංශය වූයේ ගොවි වංශය බවයි.

පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු ගොවි වංශිකයන්ට රාජ්‍ය පදවිය අහිමි බව දක්වමින් සෙල්ලිපියක් පවා පිහිටුවා තිබේ. ඇතැම් විට එම කාලයේ ගොවි වංශයේ බලය රාජ්‍ය වංශය ඉක්මවමින් තිබෙන්නට ඇත.

ගොවි වංශයේ ඇත්තන්ට රජවාසල තනතුරු බොහොමයක් ලැබී තිබිණි.

නිළමේ

මහ වාසලේ නිළමේ වරු ප‍්‍රසිද්ධ තනතුරකි. මහ නිළමේ යනු රජුගේ අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියාය. විටෙක යුවරජ, මහ අදිකාරම යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මේ නිලයයි. අධිපතියා හෙවත් ඉඩම් හිමියා ලෙස දෙමළෙන් භාවිතා කරන ‘‘නිළමෛ’’ යන පදයෙන් මෙම ‘‘ නිළමේ ’’ යන්න සෑදී ඇත.

මුදලි

මුදලි යන වචනයේ අර්ථය ද ප‍්‍රධානියා යන්නයි. පැරණි සාහිත්‍යයේ ගම්මුදලියා යැයි ගමේ ප‍්‍රධානියා හඳුන්වන අතර සිංහල රජු විසින් පත්කළ තනතුරු අතර මුදලි වරු කිහිප දෙනෙකුම සිටියහ. දෙමළ භාෂාවේ ‘‘මොදල්’’ යන ශබ්දයත් ‘‘මුදලි’’ යන ශබ්දයත් එකිනෙක ඥාතීත්වයක් ඇති ශබ්දයන්ය. වර්තමානයේද මදුර, මදුරාසි යන ප‍්‍රදේශයන්හි වෙල්ලාල ගෝත‍්‍රයේ මුදලියාර් යන පෙළපත් නාමයක් ව්‍යවහාර වෙයි

මුදියන්සේ

මුදියන්සේ යන්න මුදලි යන අර්ථයෙන්ම ගැනෙන තවත් වචනයකි. ගොවි වංශයේ පෙළපත් නාමයට අගින් බොහෝ අවස්ථාවලදී මුදියන්සේ යන්න භාවිතා කර තිබේ.

රාළ

රාළ යන්න භාවිතා කළේ ද ඒ ඒ තනතුරු හැඳින්වීම සඳහා බව සිංහල රජවාසල තනතුරු පිරික්සීමේදී පෙනීයයි. දෙමළ භාෂාවේ ප‍්‍රධානියා, පාලකයා හැඳින්වීම සඳහා භාවිතා කරන ‘‘අරාලෛ’’ යන්නෙන් මෙම වචනය බිඳී එන්නට ඇත.

නිලමක්කාරයෝ

රජ වාසලේ ඇතුළත රාජකාරී කළ අයට නිලමක්කාරයෝ යැයි ව්‍යවහාර කර ඇත. ආණ්ඩුවේ නිලධාරීන් යැයි හැඳින්වෙන තැන් වල මේ වචනය යොදා ඇත. 1815 උඩරට ගිවිසුමේ ඒජන්ත නම් නිලමක්කාර තැන ආදී යෙදුම් වලින් මේ බව වඩාත් පැහැදිලි වේ.

නිලකාරයෝ

නිලමක්කාරයන් මෙන්ම නිලකාරයෝ ද මහවාසල සේවයේ යෙදුණු පිරිසකි.

කට්ටලය

පන්තිය, කණ්ඩායම යන අර්ථය දනවන කට්ටලය යනුවෙන් හඳුන්වන්නේද සිංහල රජුගේ මහවාසලේ තනතුරු දැරූ පිරිසකි. රජ පවුලේ ඇත්තන්ට හා පිරිවරට රාජ කට්ටලය යැයි ව්‍යවහාර කැරුණු අතර, රජ වාසල ඇතුලත සේවයේ නිරතව සිටින්නන් ඇතුල් කට්ටලයයි. රජ මාළිගාවෙන් බැහැරව ඒ ආසන්න ප‍්‍රදේශයේ රාජකාරී කරන්නෝ පිට කට්ටලයයි. ඇතුළු කට්ටලයටත් පිට කට්ටලයටත් මහනුවර රාජධානි සමයේදී රජ මාළිගයේත්, දළදා මාළිගයේත්, සතර දේවාලය යන ස්ථානයන්හිත් රාජකාරී පැවරී තිබිණි. මේ කට්ටල දෙකෙන් ප‍්‍රධාන වූයේ ඇතුළු කට්ටලයයි.

මොහොට්ටාල

ඇතුල් කට්ටලයේ ප‍්‍රධානියා මොහොට්ටාල වූ අතර රජුගේ ලේකම් වරයා ලෙස කටයුතු කරන ලද්දේ ද මොහොට්ටාල විසිනි. ඇතැම් විදේශීය තානාපතිවරුන්ට ද මොහොට්ටාල යන නාමය පටබැඳ ඇති බව අතීත ලේඛණ අනුව පැහැදිලිවේ.

විදානේ

රදළවරුන් නින්දගම් තිබූ අතර ඔවුන්ගේ වලව්වේත් නින්දගම්වලත් සේවය කරන ප‍්‍රධානීන් හැඳින්වූයේ විදානේ නමිනි. විදානේ රාළ යනු මහවාසල පණිවිඩවලට අදාල රාජකාරී කළ තැනැත්තා බව පැහැදිලිය.

සළුවඩන රාළ හෙවත් සළුවඩන නිළමේ

රජුගේ ඇඳුම් ආයිත්තම් භාරව කටයුතු කරන ලද තැනැත්තයා. රජු ගමන් බිමන් යාම සඳහා සරසන ලද්දේද සළුවඩන නිලමේගේ මූළිකත්වයෙනි.

සට්ටිඹි රාළ

සට්ටම් පිල්ලෙයි යන දෙමළ වචනයෙන් සෑදී ඇති සට්ටිඹි රාළ රජුගේ ස්නානය සඳහා අවශ්‍ය පහසුකම් සපයන නිලධාරියාය. මේ තනතුරෙහි දෙදෙනෙක් සිටිති. උණුපැන්ගේ සට්ටඹි රාළ සහ ඇල්පැන්ගේ සට්ටඹි රාළ යනු ඒ දෙදෙනාය. සළුවඩන නිළමේ යටතේ රාජකාරී කරන මොවුන් දෙදෙනා රජුගේ විශ්වාසවන්තම අතවැසියෝ වූහ.

කංකානම් රාළ

රජුගේ දෙපලවල පාලන බලය පැවරී ඇත්තේ කංකානම් රාළ නැමැති තනතුර දරන්නාටය. මහවාසල, ගබඩාගම්, විහාරගම්, දේවාලගම් ආදියෙහි වෙන වෙනම කංකානම්වරු සිටි බව මහනුවර යුගයේ ලේඛණ පිරික්සීමේදී පෙනීයයි.

උණ්ඩිය රාළ

රජ දවස අයබදු හැඳින්වූයේ උණ්ඩියල් නමිනි. මේ අයබදු එකතුකරන්නා උණ්ඩිය රාළ නම්විය.

පණිවුඩ කාරයෝ

රජු විසින් එක් එක් ගෝත‍්‍ර සඳහා පණිවුඩකාරයන් වෙන වෙනම පත්කළ අතර ඔවුන් විවිධ නම්වලින් හැඳින්වූහ. ගොවි වංශයේ පණිවඩුකාරයා අතුකෝරාළ වූ අතර නවන් දන්නා අයට හිංගෙඩියා යයිද, බෙරවයනා කුලයේ අයට පනික්කියා යැයිද රදා කුලයේ අයට විදන හේනයා යයිද, පදුකුලයේ අයට දුරයා යැයිද සැඩොල් කුලයේ අයට හුලවාලියා යයි ද ව්‍යවහාර කරන ලදී

ගම්මහේ

විහාර දේවාල ගම්වල හා නින්දගම්වල ප‍්‍රධානීන්ට පොදුවේ ගම්මහේ යනුවෙන් ව්‍යවාර වූ බවක් පෙනෙන්නට තිබේ.

බස්නායක නිලමේ

දේවාලවලට අයත් ගම්වර සහ සියළුම දේපළවල භාරකාරයා සහ පාලකයා වන්නේ බස්නායක නිළමේ වරයාය. අද මෙන් නොව අතීතයේ මේ තනතුර ජීවිතාන්තය දක්වාම නොවෙනස්ව පැවතුණි.

කපුරාලවරු

දේවාලයන්හි බස්නායක යටතේ සිටින නිලධාරියා කපුරාළය.

වන්නකු රාළ

දේවාලය සතු සහ එයට පූජා කරන සියලූ දේ මිල කරන තැනැත්තාය. රජුගේ වෙනත් තනතුරු දරන්නන්ට ද මේ තනතුර අතිරේක නිලයක් සේ දැරීමට අවසර තිබිණි.

දුක්ගන්නා උන්නාන්සේ

සීතාවක රාජධානි යුගයේ සිට රජුගේ බිසෝවරුන්ට, පරිවාර ස්ත්‍රීන්ට සහ යකඩ දෝළි නොහොත් රජුගේ උප භාර්යාවන්ට ද දුක්ගන්නා උන්නාන්සේ යැයි ව්‍යවහාර කැර ඇත.

දුක්ගන්නා රාළ

රජුගේ දැඩි විශ්වාසයට භාජනය වන්නා වූ ද රජුගේ ඇතැම් රහස් පවා දැනගෙන සිටින්නා වූ ද නිලධාරියා දුක්ගන්නා රාළ යනුවෙන් හැඳින්වේ. ඔහු රජතුමාගේ නොයෙකුත් පුද්ගලික අවශ්‍යතා ඉටුකරන්නා බැවින් බොහෝ දුක් ඉවසීමට සිදුවූවෙකි. රජුට යකඩ දෝලීන් සපයා දීම ද මොහු විසින් සිදුකරන ලදී.

මුළුතැන් රාළ

රජ වාසල ඇතුල් කට්ටලේ අය අතරින් මුළුතැන්ගේ ප‍්‍රධානියා වූ තැනැත්තා හඳුන්වන ලද්දේ මළුතැන් රාළ යනුවෙනි. රජුගේ සියළු භෝජන පිළියෙල කරවීම සිදුකරන්නේ මොහු විසිනි. දඹදෙණි රාජධානියේදී මොහු හඳුන්වා ඇත්තේ මුලඟිනාවෝ යනුවෙනි.

පිහන රාළ

ඇතුලූ කට්ටලේ නිලමක්කාරයකු වූ පිහන රාළගේ රාකාරිය වන්නේ මුළුතැන් රාළගේ විධානයට අනුව යමින් සේවකයන් ලවා ව්‍යංජනාදිය සකස් කරලීමයි. ඇතැම් පැරණි ග‍්‍රන්ථයන්හි පිහන රාළ ‘‘සුදෙට’’ ලෙසද නම්කොට තිබේ. රජු ආහාරගන්නා විට රාකාරි කරන තවත් නිලමක්කාරයෝ තුන්දෙනෙක් වූහ. දියවඩන නිලමේ විසින් රන් මණ්ඩය රජු ඉදිරියේ තබා ඒ මතුපිට කෙසෙල් කොලයක් එළයි. ඒ සමගම මඩප්පු නිලමේ යටතේ නිලකාරයන් ලෙස සිටින අලන්තිබාන, මාත්මයිල්ලා නම් ස්ත්‍රීහු රජුට නොපෙනන තැනක සිට ආයුබෝ කියා ආශිර්වාද කරති.

බත්වඩන නිළමේ

බත්වඩන නිළමේට පැවරී ඇති රාජකාරිය වන්නේ පිළියෙළ වන රාජ භෝජන රජු, බිසෝවරු ඇතුළු රජ පවුලටත්, රජු සමග අහාර ගන්නා අන් අයටත් පිළිගැන්වීමයි. මෙය සිදුකරන්නේ මුඛවාඩම් බැඳගෙනය. ව්‍යංජන තිහකින් යුත් රාජ භෝජනය රන් හැන්දෙන් බෙදීම සිදුවන බවට ලේඛනගත සාක්ෂි ඇත.

මඩප්පු නිළමේ

රජතුමා විසින් විශේෂ ආහාරයක් ගන්නා වාරයක් වාරයක් පාසාම මඩප්පු නිලමේ රජා මණ්ඩයෙහි කෙසෙල් කොළ අලූතෙන් එලන්නේය.

අගු බලන්නා

රජතුමා වෙනුවෙන් පිළියෙල කරන ලද රාජ භෝජනයට සතුරන් යම් විෂක් යොදනු ඇතැයි යන සැකය හේතුවෙන් අතීතයේ සිට සිංහල රජු භෝජනය වැළඳීමට පෙර එය රස බැලීමට යෙදවූ සේවකයා අගු බලන්නා යනුවෙන් හැඳින්වේ. 

කුණම් මඩුව

රජුගේ ගමන වැඩිපුරම සිදුවන්නේ කුණම හෙවත් දෝලාව භාවිතයෙනි. රජතුමා යම් ගමනක් පිටත්වන විට නගරයේ තැන තැන දෝලාව ඔසවාගෙන යන සේවකයෝ නතරකර තබන ලදී. මේ සඳහා යොදා ගන්නා ලද්දේ ශක්තිමත් හමුදා භට පිරිසකි. එහි නිලධාරි කිහිප දෙනකු ද වූහ. කුණම් මඩුවේ මුහන්දිරම්, ලේකම් යන අය කුණම් මඩුවේ ප‍්‍රධානියෝය.

අතපත්තු හමුදාව

මහනුවර යුගයෙහි සිංහල රජුගේ ආරක්ෂක භට හමුදාව අතපත්තු හමුදාව නමින් හැඳින්වූ අතර මෙහි ප‍්‍රධානීහු අතපත්තුවේ ලේකම්, අතපත්තු මුහන්දිරම් යනුවෙන් හඳුන්වා තිබේ.

කටුපුල්ලේ ඇත්තෝ

සිංහල රජුගේ පොලිස් හමුදාව හඳුන්වා ඇත්තේ කටුපුල්ලේ ඇත්තෝ නමිනි. වරදකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමේ රාජකාරිය මොවුන්ට භාරවී තිබිණි. මහනුවර යුගයේදී කටුපුල්ලේ ඇත්තෝ බෝවල, කිරිබත්කුඹුර හා නුගතැන්න ආදී ප‍්‍රදේශවල පදිංචිව සිටියහ.

කෙසේ වෙතත් රජ වාසල සේවය කිරිම ප‍්‍රාදේශීය වශයෙන් සේවය කිරිමට වඩා අසීරු කටයුත්තකි. රජුගේ කොතරම් විශ්වාසවන්තයකු වුව ද  සුළු වරදකින් රාජ උදහසට ලක්වී හිස ගැසුම් කෑ අවස්ථා පවා අපේ ඉතිහාසයේ දක්නට ලැබේ. රජ වාසල සේවයේ නියුක්ත වීම ඒ ඒ තනතුරු නාමයන් මේ ආකාරයෙන් වන අතර රජුට නිළමේ වරු රැසක් සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!