spot_img
spot_imgspot_img

තලේබාන් පැමිණීම සහ ඇෆ්ගනිස්ථානයේ අනාගතය බටහිර රටවලට වෙනස් කළ හැකි ද ?

පුවත්

විදෙස්

සටහන – රතින්ද්‍ර කුරුවිට සහ රිකාසා හසන් විසිනි

ඇෆ්ගනිස්ථානයේ ඉරණම ඩැහැගැනීමට තවමත් බටහිර රටවල් සූදානම්ව ඇත, නමුත් ඔරලෝසුව වේගයෙන් කැරකැවෙමින් පවතී.

ඇමරිකාව සහ සගයින් ඇෆ්ගනිස්ථානයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන විට ජාත්‍යන්තර ප්‍රජාව කම්පනයෙන්, ත්‍රාසයෙන් හා විස්මයෙන් යුතුව බලා සිටියා, ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉවත්වීමේ අවසන් දිනය ලෙස ප්‍රකාශ කළ අගෝස්තු 31 දිනට පෙර දිනයේදි යි. මේ අතර, තලේබාන් සංවිධානය, තම රජයට ජාත්‍යන්තර නීත්‍යානුකූල භාවය තහවුරු කිරීමේ උත්සාහයක යෙදුණා. ඒ කාන්තාවන්ගේ අධ්‍යාපනයට සහ වැඩ කිරීමට ඇති අයිතිය පිළිබඳ සහතික ඇතුළු නිර්භීත ප්‍රකාශයන් සිදුකරමින්. ඒ අතර ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂිත වරායක් ලබා නොදෙන බවට සහතික වූ අතර එහි මත්ද්‍රව්‍ය වෙළඳාම අවසන් කරන බවට ද පොරොන්දු වුණා. (රෂීඩ්, ඊබ්‍රාහිම් සහ සිද්දික් 2021). සියල්ලන්ම නොවුනත් බොහෝ දෙනා ඔවුන්ගේ ප්‍රකාශයන් ගැන සැකයෙන් සිටීම පුදුමයක් නොවෙයි.

මාධ්‍යවේදී සහ කර්තෘ ආනන්ද් ගෝපාල් ඉන්ටර්සෙප්ට් පුවත්පතෙහි මෙසේ සටහන් කර තිබුණා. “තලිබාන් සංවිධානය තුළ එය හඳුනා ගන්නා සහ ජාත්‍යන්තර පද්ධතියේ කොටසක් බවට පත්වීමේ අවශ්‍යතාවය හඳුනා ගන්නා අංග තිබෙනවා. එබැවින්, ඔවුන්ගේ නරකම ආවේගයන් මර්දනය කිරීමට ඔවුන් තුළ ඇති අභිප්‍රාය අව්‍යාජ යැයි මම සිතනවා, නමුත් තලේබාන් සංවිධානයේ වෙනත් කොටස් තිබෙනවා, විශේෂයෙන් සන්නද්ධ අංශය, එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා”

ගෝපාල්ගේ අනාවැකිය දැන් වඩ වඩාත් සත්‍ය බව පෙනෙනවා, විශේෂයෙන්ම, සම-නිර්මාතෘ සහ දැන් නියෝජ්‍ය අගමැති, මුල්ලා අබ්දුල් ඝානි බරදාර්, තලේබාන් සඳහා ඇෆ්ගනිස්ථානය දිනාගත් රාජ්‍යතාන්ත්‍රික බව අවධාරනය කළ අතර වඩාත් ප්‍රබල කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය බව අවධාරනය කළා. නව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වන සිරාජුදීන් හකානි මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වුණා. බරදාර්ට වෙනස්ව හකානි තරයේ කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ගේ ජයග්‍රහණයට හේතු වූයේ සටන් බිමේ ඔවුන්ගේ ජයග්‍රහණ බවයි.

කතුවරුන් තර්ක කරන්නේ බටහිර ප්‍රජාවට ඇෆ්ගනිස්ථානය සම්බන්දව ඔවුන්ගේ සිහින සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා කෙටි අවස්ථාවක් පවතින බවයි. ඇෆ්ගනිස්ථානය ස්ථාවර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නියැලී සිටින ජාතියක් වන අතර එහි ආර්ථික ව්‍යාකූලතාවයෙන් මිදීමට අවශ්‍ය ස්ථාවර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නියැලී අතර කාන්තාවන් සහ සුළු ජාතීන් නොසලකා හැරීමට, තාඩන පීඩන වලට ලක්කිරීමට ඉඩ දෙන්නෙ නැහැ. බටහිරට තම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ නීත්‍යානුකූල භාවය සඳහා වන තලේබාන්වරුන්ගේ ආශාව සහ ඇෆ්ගනිස්ථානයේ ආර්ථික ආධාර සඳහා ඇති දැඩි අවශ්‍යතාවය උපයෝගී කර ගැනීම බව කතුවරුන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මෙය ක්‍රියාත්මක කිරීමට බටහිර රටවල් ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතුයි.

එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය රට අතහැර දමා මාසයකටත් අඩු කාලයක් ගතවීමටත් පෙර, තලේබාන්වරු දැනටමත් කාන්තා යහපැවැත්ම සම්බන්ධයෙන් ඔවුන්ගේ පොරොන්දු ආපසු හැරවීමට පටන් ගෙන තිබෙනවා, උදාහරණයක් ලෙස, ස්ත්‍රී පුරුෂ ‍භේදය බලාත්මක කිරීම, කාන්තාවන් විශ්ව විද්‍යාලයට යාමේදී බුර්කාවක් ඇඳීමට බල කිරීම, කාන්තාවන්ට ඉගැන්විය හැක්කේ කාන්තාවන්ට හෝ “යහපත් ගති ඇති මහලු මිනිසුන්ට” පමණක් බවට නියෝග කිරීම, ස්ත්‍රීන් සහ පුරුෂයන් මිශ්‍ර නොවීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ පිරිමි සගයන්ට මිනිත්තු පහකට පෙර පන්තියෙන් පිටවිය යුතු බව (Ghosh 2021) පවසන අතර ම කාන්තාවන්ට ක්‍රීඩාවට සහභාගී වීම සහ නව රජය තුළ කිසිදු කාර්යභාරයක් ඉටු කිරීම ද තහනම් කර තිබෙනවා.

සරණාගත කඳවුරුවල සිට ජනාධිපති මන්දිරය දක්වා

අගනුවර වන කාබුල් අල්ලා ගැනීමේ සටනේ දී, තලේබාන්වරු 1996 දී ප්‍රථමයෙන් ඇෆ්ගනිස්ථානයේ වැඩි කොටසක් තම බලය තහවුරු කර ගත්තා. ඊට වසර දෙකකට පෙර, මුල්ලා ඕමාර්ගේ නායකත්වය යටතේ, ඔවුන් රැඩිකල් පෂ්තුන් සිසුන් කණ්ඩායමක් ලෙසය හැඳින්වුණේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 80 ගණන්වල ඇෆ්ගනිස්ථාන සිවිල් යුද්ධය අතරතුර පකිස්ථානයේ සරණාගතයින් වූ අය. බොහෝ Pashtuns මෙන්, ඔවුන් ද ඉස්ලාමයේ වෙනත් ඕනෑම සන්නාමයකට වඩා පිරිසිදු යැයි කියාගන්නා පුනරුදවාදී ව්‍යාපාරයක් වන Deobandi school of Islam හි ඉගැන්වීම් අනුගමනය කළා. Deobandis සැමට අධ්‍යාපනය ලැබිය යුතුය යන්න විශ්වාස කරන්නේ නැහැ. ඉස්ලාමය විසින් තහනම් කර ඇති දැහැමි මාර්ගයෙන් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරන බැවින් කාන්තාවන් දැකීම හෝ ඔවුන්ගේ කටහඬ ඇසීම නොකළ යුතු බව විශ්වාස කරනවා. (Ahmed 2000: 107). 1992 දී රටේ විවිධ ප්රදේශ පාලනය කළ ප්‍රධාන රණකාමීන් අතර බලය බෙදාගැනීමේ ගිවිසුම බිඳවැටිණා. පසුව ඔවුන් බලය සඳහා එකිනෙකා සමඟ සටන් කළා. එවිට විශාල වශයෙන් කප්පම් ගැනීම්, කාන්තාවන් සහ ළමයින් දූෂණය කිරීම වැනි දරුණු දූෂණ සහ අපරාධ ඇෆ්ගනිස්ථාන යුධ නායකයන් විසින් සිදු කළා. ඒ හේතුවෙන් තලිබ්වරු කම්පනයට පත්ව සිටියා. රෂීඩ් (2000) ට අනුව, තලේබාන් ආගමේ අර්ථ නිරූපණය “මුස්ලිම් ලෝකයේ කොතැනකවත් සමාන්තර නැහැ” යන්නයි.

1996 සිට 2001 සැප්තැම්බරයේ ඇමරිකාව ආක්‍රමණය කිරීම දක්වා ඔවුන්ගේ පාලන කාලය තුළ, තලේබාන්වරුන්ගේ කාන්තා පීඩනය උග්‍ර වුණා. කාන්තාවන්ට තම නිවෙස්වලින් පිටතට යන සෑම විටම බුර්කාව ඇඳීමට බල කෙරුණා. කාන්තාවන්ට සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ මානුෂීය සේවා යන ක්ෂේත්‍රවල පමණක් වැඩ කිරීමට අවසර ලැබුණා. ගැහැනු ළමයින්ට පාසල් යාමට අවසර ලැබුණේ වයස අවුරුදු අට දක්වා පමණයි (කිමති 2021). 2000 දී සිය ඇෆ්ගන් කාන්තා කාර්ය මණ්ඩලය ඉවත් කරන ලෙස ඔවුන් සියලු ම විදේශීය සහන සංවිධානවලට නියෝග කළා.

ඇෆ්ගනිස්ථානයේ වාර්ගික සුළුතර ජනතාවට ඇති අවස්ථා එතරම් යහපත් වුණේ නැහැ. තලෙයිබාන් සංවිධානය තම බල කඳවුර රට පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ කිරීමත් සමඟ හසාරා, ටජික් සහ උස්බෙක් ජනයා දහස් ගණනින් සමූල ඝාතනය කළා. ඔවුන්ගේ ගම්මාන ද විනාශ කළා. මධ්‍යම ආණ්ඩුවේ සිටි සියලුම සුළුතර නිලධාරීන් ඉවත් කෙරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය නතර වුණා. සුළු ජාතීන්ට ඔවුන්ගේ සංස්කෘතීන් හා සම්ප්‍රදායන් අනුගමනය කිරීම ද තහනම්. ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය කණ්ඩායම් කිහිපයක් ඇතුළුව ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඇෆ්ගනිස්ථානය භාවිතා කිරීමට තලේබාන් අවසර දුන්නා. 1980 ගණන්වල සිට ඇමරිකානු සහ සෞදි අරාබියේ පිටුබලය ලැබුණු මුජහදීන් කොමියුනිස්ට් රජයට සහ එහි සෝවියට් ආධාරකරුවන්, ඔසාමා බින් ලාඩන්, ඉච්කෙරියා චෙචන් ජනරජය සහ 2000 අගභාගයේදී උස්බෙකිස්තානයේ ඉස්ලාමීය ව්‍යාපාරය (IMU)ට එරෙහිව යුද්ධයක් දියත් කළා.

ඇෆ්ගනිස්ථානයේ මෙන්ම තලේබාන් සංවිධානයේ ද ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ හෙරොයින් අලෙවියයි. තලේබාන් පාලනය යටතේ, ඇෆ්ගනිස්ථානයේ ග්‍රාමීය ප්‍රදේශවල පොපි මල් වගාව විශාල ලෙස ව්‍යාප්ත වූ අතර, මේ වන විටත් එය ග්‍රාමීය ඇෆ්ගනිස්ථානුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වනවා. 2015-20 කාලය තුළ, ඇෆ්ගනිස්ථානය ගෝලීය අබිං නිෂ්පාදනයෙන් 83%ක් ඇස්තමේන්තු කර ඇති අතර, 2019 අස්වනු නෙලන සමයේදී (UNODC 2021) අබිං ගොවිතැන මගින් රැකියා 120,000 ක් සපයා තිබෙනවා. 90 දශකයේ අගභාගය වන විට තලේබාන්වරුන් රටින් පිටතට ගෙන යන හෙරොයින් ට්‍රක් රථයකට 20% දක්වා බද්දක් පැනවූවා. (Ahmed 2000).

කෙසේ වෙතත්, 90 දශකයේ අගභාගයේදී ඕමාර්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් තලේබාන් පාලනය පිළිගැනීම සඳහා රට තුළ පොපි වගාව සහ හෙරොයින් නිෂ්පාදනය නතර කරන ලෙසයි. ජාත්‍යන්තර පිළිගැනීම තලේබාන්වරුන්ට කෙතරම් වැදගත් ද යන්න ඔවුන් ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවය සඳහා තම ජීවනෝපාය අත්හැරීමට කැමැත්තෙන් සිටීමෙන්ම පැහැදිලියි. ඇත්ත වශයෙන්ම, 2000 දී, එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ කොටසක් ලෙස, තලේබාන් සංවිධානය පොපි වගාව තහනම් කළ‍ා. 2004 දී පමණ ඔවුන් ආපසු මෙම වෙළඳාම පටන් ගත්තේ ඔවුන්ගේ කැරැල්ලට අරමුදල් සැපයීම සඳහා පමණි. ඇෆ්ගන් ආර්ථිකයේ තත්ත්වය සහ තලේබාන්වරුන්ගේ ඉතිහාසය සලකා බැලීමේදී, මධ්‍යම ආසියාවට, රුසියාවට සහ යුරෝපයට මිල අඩු මත්ද්‍රව්‍ය ගලා ඒම, ඉදිරි වසරවලදී හෙරොයින් නිෂ්පාදනය අහස උසට නැඟෙනු ඇතැයි සිතීම එතරම් දුරස් නොවේ.

අවාසි පරාජය කිරීමට උත්තෝලනය කිරීම

90 දශකයේ අගභාගයේදී, තම රජයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම සඳහා, පහසු සහ සැලකිය යුතු මුදල් ඉපැයීමේ මාර්ගයක් වන හෙරොයින් නිෂ්පාදනය කිරීම අත්හැරීමට ගත් පියවරෙන් පසුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් කරන ලද ගිවිසුමක කොන්දේසි වලට අනුව සද්භාවය ප්‍රදර්ශනය කිරීම සඳහා 2000 දී, හෙරොයින් වෙළඳාම ද අත්හැරියා.

2007 දී ඔවුන් පශ්චාත් ආක්‍රමණ සන්දර්භය තුළ ජාත්‍යන්තර සංවාදයක් සඳහා තම උත්සාහයන් ආරම්භ කර තිබුණා. තම සංවිධානයට පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමටත්, ගුවන්තනාමෝ බොක්කේදී එක්සත් ජනපදය විසින් වධ හිංසාවලට ලක්වන තලේබාන් සටන්කරුවන් නිදහස් කර ගැනීමටත්, ඇෆ්ගන් සාම ක්‍රියාවලියට සම්බන්ධ වී නීත්‍යානුකූල භාවය ලබා ගැනීමටත් ඔවුහු එහිදී උත්සාහ කළා. 2012 දී ඔවුන් කටාර්හි දේශපාලන කාර්යාලයක් විවෘත කිරීමට සමත් වූ අතර, ඇමරිකානු සහ ඇෆ්ගන් රජයන්ට ජ්‍යෙෂ්ඨ තලේබාන් නිලධාරීන් පහසුවෙන් සම්බන්ධ කර ගැනීමට ඉඩ සලස්වා ගැනීමට සමත්ව තිබුණා.

2001 දී පවා, ඇමරිකාවට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරයෙන් පසුව, ඇමරිකාව අල්කයිඩා ප්‍රධානියා වන ඔසාමා බින් ලාඩන් ඉල්ලා සිටි විට, තලේබාන්වරු බින් ලාඩන් රටින් පිටමං කිරීම ගැන පසුගාමී මාර්ග හරහා සාකච්ඡා කිරීමට උත්සාහ කළා. 2014 දී, ඇමරිකානු සාජන්ට් බෝවේ බර්ග්ඩාල් වෙනුවට තම නායකයින් පස් දෙනෙකු (දැන් Taliban Five හෝ Gitmo 5 ලෙස හඳුන්වනු ලබන) නිදහස් කරගැනීමට තලිබාන් සංවිධානය සමත් වුණා. තලේබාන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර ඉවත් කර ගැනීමේ ගිවිසුමේ කොටසක් ලෙස 2020 පෙබරවාරි මාසයේ දී ඇෆ්ගනිස්ථානයේ සිරගත කර සිටි තලේබාන් වරුන් 5,000 ක් නිදහස් කිරීම මෙයින් පසුව සිදු වූ දෙයක්.

ඇමරිකානු ආක්‍රමණය යටතේ දශක දෙකක කාලය තුළ, ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය වියදමෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් සඳහා එක්සත් ජනපදය විසින් අරමුදල් ලෙස සැපයීම විශේෂත්වයක්. ඒ ළිඳ දැන් සිඳී ගොසිනි. කෘෂිකාර්මික අස්වැන්න නියඟයෙන් බලපෑමට ලක්වීමත් සමඟ, ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් අවම වශයෙන් 50% කට දැන් ආධාර අවශ්‍ය වෙනවා. (ReliefWeb 2021). 2021 සඳහා වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 25-30% ක්. 2019 වසරේ පමණක් එහි විදුලි ආනයන බිල ඩොලර් මිලියන 270 ක්. පැටලී සිටින ජාතියට ආර්ථික සහය අත්‍යවශ්‍ය වනවා (Tooze 2021).

අන්තර්වාර රජයක් පත් කිරීමෙන් පසු තලේබාන් සංවිධානයට දැන් මූල්‍ය ආධාර අවශ්‍ය වී තිබෙනවා. මානව හිමිකම්වලට ගරු කිරීම, ස්වාධීන ආයතන සහ යහ පාලනය වැනි බටහිර සාරධර්ම සමඟ පෙළගැසී ඇති වඩාත් ප්‍රියජනක රජයක් වෙත යොමු කිරීම සඳහා තලේබාන් සංවිධානය සමඟ සම්බන්ධ වීමට බටහිරට ප්‍රමාණවත් උත්තේජනයක් ලබා දෙනවා. මෙය, ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවය සඳහා ඇති දැඩි ආශාව සමඟින්, ආධාර ලබාගැනීමේ අවශ්‍යතාවයයි.

කලාපීය අනන්‍යතා දැන් ඇෆ්ගනිස්ථානයේ ජාතික හෝ වාර්ගික අනන්‍යතා අභිබවා යමින් පවතින අතර, ඇෆ්ගනිස්ථානුවන් බොහෝ විට තමන් ඇෆ්ගන්, පෂ්තුන්, උස්බෙක් හෝ ටජික්වරුන්ට වඩා කන්දහාරිස්, පන්ජ්ෂිරිස්, හේරති, කාබුලිස් හෝ ජොව්ජානි ලෙස හඳුන්වනු ලබන බව ද සැලකිල්ලට ගත යුතුයි. (රෂීඩ් 200). 2000 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුටු කිරීම සඳහා කලාප පුරා අබිං සහ හෙරොයින් වගා කිරීම සහ නිෂ්පාදනය නැවැත්වීම මගින් අවම වශයෙන් එවැනි එක් මහා පරිමාණ ප්‍රතිසංස්කරණයක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තලෙයිබාන් සංවිධානය මීට පෙර සමත් වී ඇතත්, ඔවුන්ගේ වෙනස් වීම මන්දගාමී, දුෂ්කර සහ නිශ්ඵල දෙයක් වියහැකි බව හඳුනා ගැනීම වැදගත්.

ප්‍රවේශයට පියවරක්

ජාත්‍යන්තර ප්‍රජාවේ උද්වේගයන් සමනය කිරීමේ වැදගත්කම අවබෝධ කරගත් තලේබාන් ඉහළ පෙළේ නිලධාරීන් ඇෆ්ගනිස්තානය යළි අත්පත් කර ගැනීමට පෙර සිටම ඔවුන්ගේ ප්‍රකාශ, සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය සාකච්ඡාවලදී සුළුතරයේ සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් සහනශීලී ස්වරයක් ගත්තා. විදේශීය හමුදාවන් රටින් බැහැරව තබා ගැනීම සහතික කරන ලෙස ඔවුහු නැවත නැවතත් අවධාරණය කළා.. එන්නත් කිරීම පිළිබඳ ඔවුන්ගේ පෙර ස්ථාවරයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔවුන් පෝලියෝ තුරන් කිරීමට සහය දක්වමින් ඇෆ්ගන් පෝලියෝ මර්ධන වැඩසටහනට ප්‍රධානියෙකු පත් කළා. චීනයෙන් COVID එන්නත් මාත්‍රා මිලියන තුනක් භාර ගැනීමට එකඟ වුණා. එක්සත් ජනපදයේ අනුග්‍රහය තවදුරටත් ලබා ගැනීමට සහ ඔවුන්ගේ ත්‍රස්ත විරෝධී බව ප්‍රදර්ශනය කිරීමට, ඔවුන් දකුණු ආසියාවේ ඉස්ලාමීය රාජ්‍යයේ (ISIS-K) හිටපු ප්‍රධානියා වූ Omar Khorasani හෙවත් Mawlawi Ziya ul-Haq නැමැත්තා ඝාතනය කළා.

කෙසේ වෙතත් මේ කිසිවක් තලේබාන් සංවිධානයේ අතීත හෝ වර්තමාන ප්‍රචණ්ඩකාරී සහ පිළිකුල් සහගත ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පසුගිය සති කිහිපය තුළ සිදුකළ වාචාල කතා සහ නියෝග පෙන්නුම් කළේ, කාන්තාවන්ට, අවම වශයෙන්, පසුගිය දශක දෙක තුළ ඔවුන්ට ප්‍රවේශ වී තිබූ බොහෝ අයිතිවාසිකම් දැනටමත් අහිමි වී ඇති බවයි. මෙම ගැටුම පිළිබිඹු කරන්නේ, ආණ්ඩුව සහ ජාතිය පාලනය කිරීම සඳහා එක් එක් උපායමාර්ග අනුගමනය කරන තලේබාන් සංවිධානයේ දේශපාලන සහ හමුදාමය අංශ අතර නොගැලපීමයි (Gopal 2021). බරාදාර් විසින් පෙන්නුම් කළ පරිදි, හිටපු සාමාජිකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් සහ අවබෝධය තිබෙනවා. දෙවනුව, හකානි විසින් සංක්ෂේප කරන ලද පරිදි, 90 දශකයේ අගභාගයේදී මෙන් ඔවුන්ගේ අන්තවාදී උච්චතම අවස්ථාවන් වෙත නැවත පැමිණීමට වැඩි නැඹුරුවක් දක්වනවා.

කාලය අවසන් වෙයි

ආරම්භයේදී තලේබාන් සංවිධානය විසින් සිදුකරන ලද ප්‍රකාශයන්, ජාත්‍යන්තර පාලන ක්‍රමය පිළිගැනීම සහ ඔවුන්ගේ ක්‍රමවේදවල වෙනස්කම් කිරීමට ඇති කැමැත්ත පිළිබඳ ඇඟවීමක්. එය බලාපොරොත්තුවේ සලකුණක්. කෙසේ වෙතත්, ඔවුන්ගේ සමාජයේ කාන්තාවන්ගේ තත්ත්වය සම්බන්ද ස්ථාවරය වෙනස් කිරීම සහ අවලංගු කිරීම, සමහර තලේබාන් නායකයින් විසින් පුවත්පත් වලට වඩ වඩාත් දැඩි ප්‍රකාශයන් සිදුකිරීම, පිළිගත් සීමාවන්ට එරෙහිව යමින් ජාත්‍යන්තර ජාලය පරීක්ෂා කිරීමක්  ලෙස හැඳින්විය හැකියි.එය, බටහිර රටවල් ප්‍රතික්ෂේප කිරීම හමුවේ, මේ වනවිට මූල්‍යමය වශයෙන් මංමුලාවි සිටින ඇෆ්ගනිස්ථානය බටහිර නොවන ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධ වීමට විවෘත කරනවා.  චීනය සහ රුසියාව වැනි ජාතීන් වෙනස් හර පද්ධති මත ක්‍රියා කරන අතර බටහිර ජාතීන් ඇෆ්ගනිස්ථානයෙන් අපේක්ෂා කරන වෙනස්කම් ඔවුන් සිදුනොකිරීමට ඉඩ තිබෙනවා. උදාහරණයක් ලෙස චීනය දැනටමත් ඇෆ්ගන් රජයට ඩොලර් මිලියන 42 ක් වටිනා ධාන්‍ය, ශීත සැපයුම්, එන්නත් සහ ඖෂධ ලබාදීමට ඉදිරිපත් වී ඇත්තේ කිසිම ලාභඅපේක්ෂාවක් සඳහන් නොකරමිනුයි.(Sheng 2021).

ඇෆ්ගනිස්ථානයේ ඉරණම බටහිර රටවල් විසින් අත්පත් කර ගැනීමට තවමත් අවස්ථාව තිබෙනවා, නමුත් කාලය සීමා සහිතයි. එය අත්හැර දැමීමෙන් එහි හෙරොයින් නිෂ්පාදනය වේගවත් කිරීමට බල කෙරෙනු ඇති. ඒ එරට ජනතාව පෝෂණය කිරීමට වෙනත් මගක් නොමැති වීම හේතුවෙනුයි. වඩාත් සාමූහික පියවරක් ගන්නා පාර්ශවයේ අවශ්‍යතා දෙසට හැරීම අවසාන ප්‍රථිඵලය විය හැකියි.

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!