spot_img
spot_imgspot_img

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඉරණම

පුවත්

විදෙස්

“මේ මගේ තුන්වන දරුවා, නමුත් මීට පෙර ලැබූ අත්දැක්මීවලට වඩා මෙවර දරුවා බිහිකිරීමේ දී ලැබූ අත්දැකීම් හාත්පසින්ම වෙනස්. එය ඉතාමත් බිහිසුණුයි.” යනුවෙන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර නැන්ගර්හාර් ප්‍රාන්තයේ කුඩා රෝහලකදී තම තුන්වැනි දරුවා මෙළොවට බිහිකළ රබියා කීවාය.

රාබියා සිය දරු ප්‍රසූතිය සිදු කළ උපත් ඒකකය විසින් මූලික කරුණු කිහිපයක් දක්වමින් ඇය එතැනින් ඉවත්කර තිබිණි. ඇයට වේදනා නාෂක, ඖෂධ වර්ග හෝ ලබා දී නැත.

ඇය සිටි රෝහලේ විදුලිය පවා විසන්ධි වී තිබූ අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ට වඩා වැඩි අගයකට ගොස් තිබිණි. කෙසේ වෙතත් විදුලි උත්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ඉන්දන හෝ තිබු‍ණේ නැත.

“ අපි දහඩියෙන් නැහවී සිටිනවා”  රබියා සිය දරුවා බිහිකිරීමේ දී වින්නඹු කම සිදුකළ අබිදා සිය ජංගම දුරකථනයේ සටහනක් තබා තිබිණි.

“මගේ රැකියාවේදී ලැබූ නරකම අත්දැකීම තමයි ඒ. ඉතා වේදනාකාරීයි. නමුත් තලේබාන් සංවිධානය රටේ බලය අල්ලාගැනීමෙන් පසු සෑම රාත්‍රියකම සහ රෝහලේ සෑම දිනකම අපේ කතාව මෙවැනියි.”

දරු ප්‍රසූතියේ දී දිවි ගලවා ගැනීමට සමත්වීම නිසා රබියා වාසනාවන්ත මවකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව නරකම මාතෘ හා ළදරු මරණ අනුපාතය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේය. සජීවී උපත් 100,000 කට කාන්තාවෝ 638 ක් මිය යති.

මීට පෙර එය පැවැතියේ වඩාත් නරක තත්වයකය. නමුත් 2001 දී එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානයට සිය හමුදා එවීමෙන් පසු එරට මාතෘ හා නවජ සත්කාර සම්බන්ධයෙන් සිදුකරන ලද ව්‍යාපෘති හේතුවෙන් ප්‍රගතියක් අත්පත්කරගත හැකිව තිබිණි. නමුත් දැන් දැඩි ගැටලු ඇතිවී තිබෙන අතර බලාපොරොත්තු සුන්වීමක් දක්නට  තිබේ. 

“එහි බර මට හොඳින් දැනෙනවා” යැයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්ෂ නටාලියා කනෙම් පවසයි.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ක්‍ෂණිකව ආධාර කිරීමක් සිදු නොවුණහොත් අතිරේක මාතෘ මරණ 51,000 ක්, අනපේක්‍ෂිත ගැබ් ගැනීම් මිලියන 4.8 ක් සිදුවීමේ දැඩි අවධානමක් තිබේ. මෙම වකවානුවේ සිට 2025 අතර කාලයේදී පවුල් සැලසුම් කිරීමේ සායන සඳහා ප්‍රවේශ වීමට නොහැකි පුද්ගලයින් කිහිප ගුණයකින් වැඩි වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ගණනය කර තිබේ.

ඇෆ්ගනිස්ථානය පුරා ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් බිඳවැටෙමින් පවතී. මාතෘ මරණ අනුපාතය, ළමා මරණ අනුපාතය අවාසනාවන්ත ලෙස ඉහළ යනු ඇතැයි පසුගිය මාසයේ තනතුරු දැරූ එකම ඇමතිවරයා වන මහජන සෞඛ්‍ය ප්‍රධානී වෛද්‍ය වහීඩ් මජ්රූ පවසයි.  ඔහු ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍යය සඳහා සටන් කරන බවට පොරොන්දු වූ නමුත් දැඩි අර්බුධකාරී තත්වයකට මුහුණ දෙමින් සිටියි.

ගොඩබිමින් වැසුණු රට ලෝකයෙන් හුදකලා වෙමින් තිබේ.  විදේශ හමුදා ඉවත් වීමට පටන් ගත් විට, තලේබාන් බලයට පත්වීම, ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය සේවා පද්ධතියට දැඩි ලෙස මුදල් යෙදවූ විදේශ ආධාර අහිමිවීමට හේතු විය. 

එක්සත් ජනපදය ඇතුළු බටහිර පරිත්‍යාගශීලීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි කණ්ඩායම් පවසන්නේ  තලේබාන් සංවිධානයට අරමුදල් සහ වෛද්‍ය සැපයුම් ලබාදීම දුෂ්කර බවයි. අවුල් සහගත තත්වයක පවතින කාබුල් ගුවන් තොටුපොළට එවා සැපයීම අපහසු කාරණයක් බව ද එම සංවිධාන සඳහන් කරයි.

කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය සඳහා ජීවිතාරක්‍ෂක සැපයුම් සහ ඖෂධ ලබා ගැනීම සඳහා අතිශය වැදගත් වේ.  කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම හානිකර තත්වය කිහිප ගුණයකින් වැඩි වී තිබේ.

“සිව්වන කොවිඩ් රැල්ල සඳහා සූදානමක් නැත” යනුවෙන් වෛද්‍ය මජ්රූ පවසයි.

අබිඩා සේවය කරන රෝහලට අවශ්‍ය අරමුදල් නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ ගිලන්රථ සේවාව ද අඩපණ වී ඇත. ඉන්ධන සඳහා ඔවුන්ට මුදල් නැත.

 “රාත්‍රීන් කිහිපයකට පෙර, මවක් දරු ප්‍රසූතියට ආසන්නව සිටියා. හදිසියේ ම අසාධ්‍යවීම නිසා ගිලන් රථයක් ඉල්ලා සිටියා. නමුත් කුලී රථයක්වත් සොයාගත නොහැකි වුණා. අවසානයේදී ඇය වෙනුවෙන් රථයක් සොයා ගැනීමට හැකි වන විට බොහෝ ප්‍රමාද වෙලා. මේ කාන්තාව ඒ රථයේම දරුවා බිහිකළා. දැඩි වේදනාව සහ දැඩි උණුසුම හේතුවෙන් ඇය පැය කිහිපයක් සිහිසුන්ව සිටියා. ඇය දිවි ගලවා ගනී යැයි ඇය දිවි ගලවා ගනු ඇතැයි සිතිය නොහැකි වුණා. උපන් දරුවා ද ඉතා භයානක තත්වයකයි සිටියේ, මේ අම්මාටවත් දරුවාටවත් අවශ්‍ය ඖෂධ හෝ වේදනා නාශක හෝ ලබා දෙන්න අපි සතුව කිසිවක් තිබුණේ නැහැ.” අබිඩා පවසයි.

වාසනාවකට එම කාන්තාවගේ අලුත උපන් දියණිය දිවි ගලවා ගත්තාය.  මුදල් සහ පහසුකම් සියල්ල අහිමි වී ඇති මේ රෝහලේ දින තුනක් සිටි කාන්තාව තම දියණිය ද සමඟ පිටව ගියාය.

 “අපි සෞඛ්‍ය සේවා සැපපයීම සඳහා ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිවා රෑ නොබලා වැඩ කරන නමුත් අපට අරමුදල් අවශ්‍යයි” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආචාර්ය කනෙම් පවසයි.  

“පසුගිය සති කිහිපය තුළ වූ සිදුවීම් වලට පෙර පවා, ඇෆ්ගන් කාන්තාවක් සෑම පැය දෙකකට වරක්ම දරු ප්‍රසූතියේදී මිය යයි.” ඉදිරයේ දි මේ තත්වය වඩාත් දරුණු වනු ඇත.

ළමා විවාහ අවදානම වැඩි වීම සහ මරණ අනුපාතය තවදුරටත් ඉහළ නැංවීම ගැන UNFPA වැඩි අවධානයක් යොමු කර ඇත.

දුප්පත්කම, ගැහැනු ළමයින්ට පාසල් යාමට නොහැකිවීම ගැන පසුතැවිලි වන අතර සටන්කාමීන් ගැහැනු ළමයින් හා නව යොවුන් වියේ කාන්තාන් හා බලහත්කාරයෙන් විවාහ වීම් වැඩි වී තිබීම හේතුවෙන් මෙම ගැටලුව තවත් උග්‍ර කරනු ඇත.  

“ඔබ තරුණ මවක් නම්, ඔබේ දිවි ගලවා ගැනීමේ අවස්ථා ක්ෂණිකව හැකිලෙනු ඇත,” වෛද්‍ය කැනේම් පවසයි.

තලේබාන් කාන්තාවන්ට පනවා ඇති නව තහංචි නිසා දැනටමත් බිඳවැටෙමින් පවතින සෞඛ්‍ය සේවා පද්ධතියේ කඩාවැටීම වේගවත් වෙයි. ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප්‍රදේශ වල කාන්තාවන්ට නිකාබ් හෝ බුර්කාවෙන් මුහුණ වසා ගැනීමට සිදුව තිබේ.

නමුත් වඩාත් ගැටලු සහගත කරුණ නම් කාන්තා රෝගීන් වෙත ප්‍රතිකාර කිරීම කාන්තා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණක් අවසර දෙන ලෙස රෝහල් සහ සායන වලට නියෝග කරන බවට වාර්තා වීමයි. 

තම අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ කාන්තාවක් මාද්‍යයට පවසා ඇත්තේ තලේබාන් සංවිධානය විසින් පිරිමි වෛද්‍යවරයකු කාන්තාවකට ප්‍රතිකාර කළ බවට චෝදනා කරමින් ඔහුට පහර දුන් බවයි.

ඇය පවසන්නේ රටේ නැගෙනහිර පිහිටි ඇගේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී, “කාන්තාවක් වෛද්‍යවරියකට නොපෙනේ නම්, පිරිමි වෛද්‍යවරයාට රෝගියා බැලීමට හැක්කේ වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙක් සිටින තැනක පමණක්” යැයි දැනුම් දී තිබෙන බවයි.

කාන්තාවන්ට පිරිමි ඥාතියෙකු නොමැතිව තම නිවෙස්වලින් පිටතට නොයන ලෙස ද නියෝග කර ඇත.

“මගේ සැමියා අපේ දරුවන් පෝෂණය කිරීමට වැඩ කරන දුප්පත් මනුස්සයෙක්. මා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සේවය කරනවා. ඉතින් මා කොහොම ද ඔහුට කියන්නේ මා සමඟ මගේ සෞඛ්‍ය මධ්‍යස්ථානයට එන්න කියලා.”  නංගර්හාර් පළාතේ මාස පහක ගැබිනියක් වන සර්මිනා විමසා සිටියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ගණනය කරන්නේ ඇෆ්ගන් ජාතිකයින් 10,000 කට වෛද්‍යවරුන්, හෙදියන් සහ වින්නඹු මාතාවන් 4.6 ක් සිටින බවයි. එය බරපතල හිගයක් ලෙස සලකන ප්‍රමාණය මෙන් පස් ගුණයකටත් වඩා අඩු ය. 

තලේබාන් සංවිධානය පවරා ගැනීමෙන් පසු බොහෝ දෙනෙක් වැඩ කිරීම නැවැත්වීම හෝ රටින් පැන යාම හේතුවෙන් එම අගය දැන් අඩුවී තිබිය හැකිය.

අගෝස්තු මස අග භාගයේදී තලේබාන් සංවිධානය විසින් සේවයට ආපසු යන ලෙස සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ඉල්ලා සිටි නමුත් “ඔවුන් කිසිඳු ගැටලුවකට මුහුණ නොදෙන බව තහවුරු කර ගැනීම සඳහා විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට කාලයක් ගත වේ” යනුවෙන් ආචාර්ය මජ්රූ පවසයි.

කාබුල්හි කාන්තා නාරිවේද වෛද්යවරියක ලෙස සේවය කර ඉල්ලා අස්වූ වෛද්‍ය නබීසාඩා පවසන්නේ

“මගේ අසල්වැසි කාන්තාවකගේ දරුගැබට සති 35ක් වනවා. ඇයට සිසේරියන් සැත්කමක් සඳහා දිනයක් නියම කළ යුතුයි. නමුත් ඇගේ වෛද්‍යවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත වෙලා. ඇය දැඩි ලෙස කලබලයට පත් වූ අතර ඇගේ දරුවාගේ චලනය දැනී නැහැ.”

මහජන සෞඛ්‍ය සේවකයින්ට අවම වශයෙන් මාස තුනක්වත් වැටුප් ලැබී නැත. අබිදා ඔවුන්ගෙන් එවැනි එක් අයෙකි. කෙසේ වෙතත්, වැටුපක් නොමැතිව වුවද, මාස දෙකක් වැඩ කරන බව ඇය පවසයි.

“මම අපේ රෝගීන් සහ අපේ ජනතාව වෙනුවෙන් තවත් මාස දෙකක් වැඩ කිරීමට තීරණය කළා. නමුත් අරමුදල් නොමැතිව එසේ කිරීම අපේ පැත්තෙන් වගේම රෝගීන්ගේ පැත්තෙනුත් ඉතාමත් අසීරු දෙයක්.. ඔවුන් ඉතා දුප්පත්” ඇය පවසයි.

හියුමන් රයිට්ස් වොච් හි කාන්තා අයිතිවාසිකම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂක හෙදර් බාර් පවසන්නේ “ඇෆ්ගන් ජාතිකයින් යුද හානි ගැන බොහෝ දේ අහනවා. නමුත් දරු ප්‍රසූතිය හා සම්බන්ධ වැළැක්විය හැකි මරණ හේතුවෙන් කාන්තාවන් සහ ළදරුවන් කී දෙනෙක් මිය යනවාද යන්න ගැන කතා කරන්නේ නැහැ.”

මැයි මාසයේදී කාබුල් හි කළ සංචාරයකදී ඇය පවසන්නේ එක් රෝහලක් අනෙක් සියල්ල කපා හැරීමෙන් සේවක වැටුප් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවයි. දරු ප්‍රසූතියේදී බොහෝ අවශ්‍ය දෑ මිලදී ගැනීමට සිදු විය.

“ඔබේ අතේ ඇති කැතීටරය සඳහා අත්වැසුම්, විෂබීජහරණය කරන තරලයක් සහ නලයක් වැනි දේ සඳහා එක් කාන්තාවක් ඩොලර් 26 ක් පමණ වැය කළාය. ඇය සතුව තිබූ සියලු මුදල් ඉන් අවසන් වූ අතර ඇදහිය නොහැකි තරම් ආතතියට පත් වූ නිසා සිසේරියන් සැත්කමක් අවශ්‍ය වුණා, “බාර් පවසයි.

නමුත් දැන් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් හිඟය නිසා ඒවා මිලදී ගත හැක්කේ පුද්ගලික සෞඛ්‍ය සේවා පහසුකම් වලින් පමණක් වන අතර එය බොහෝ ඇෆ්ගන් ජාතිකයින්ට දැරිය නොහැකි විකල්පයකි.

“වෙනත් ගැබිනි කාන්තාවන් අපේ ප්‍රාදේශීය සායනයෙන් ඕනෑම ඖෂධයක් ලබා ගැනීම සඳහා මුළු දවසම බලාගෙන සිට හිස් අතින් ආපසු නිවෙස් බලා යන අයුරු මම දුටුවෙමි” යනුවෙන් සර්මිනා පවසයි. 

“බෙහෙත් නැති අතර පහසුකම් නැති හෙයින් රෝහලට වඩා නිවසේදී දරු ප්‍රසූතියක් කිරීමට මම කැමතියි. මගේ දරුවාගේ සෞඛ්‍යය ගැන සහ මගේ සෞඛ්‍ය ගැන මම කනස්සල්ලට පත්ව සිටිනවා.”

ලෝක බැංකුවට අනුව ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් 54.5% ක් පමණ ජාතික දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වෙති. බොහෝමයක් දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශ වල ය.

බටහිර හෙරත් පළාතේ දුප්පත් සහ හුදකලා ගම්මාන වල රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය ලෝඩි පවසන්නේ “අපි දැඩි අවශ්‍යතා ඇති ප්‍රජාවන් සමඟ කටයුතු කිරීමට හා අතපසු කිරීමට තරම් සම්පත් නොමැති ප්‍රජාවන් සමඟ වැඩ කරනවා. තලේබාන් සංවිධානය පාලන බලය අල්ලා ගැනීමෙන් පසු මන්දපෝෂණය, රක්තහීනතාවය, මානසික සෞඛ්‍ය ආබාධ සහ දරු උපත් සංකූලතා නාටකාකාර ලෙස ඉහළ යමින් තිබෙනවා.”

හේරත් පළාතේ කුඩා ගමක ජීවත් වන 28 හැවිරිදි ලීනා පවසන්නේ “තලේබාන් බලයට පැමිණීමට පෙර, සෞඛ්‍ය සායනයකින් මම ගර්භණී සමයේදී මන්දපෝෂණය සහ රක්තහීනතාවය ඇති බව හඳුනා ගත්තා. තලේබාන් සංවිධානය කලාපය පාලනය කළ පසු මගේ සැමියාට රැකියාව අහිමි වුණා.”

ආදායමක් නොමැතිව සිටින ඇයත් ඇගේ සැමියාත් තම දරුවා කෙසේ ජීවත් කරවන්නේ ද යන්න පිළිබඳ නොදනී.

රටේ සෞඛ්‍ය ආරක්‍ෂක අර්බුදය ආපසු හැරවිය නොහැකි මට්ටමකට ගැඹුරු වෙමින් පවතින බවට බොහෝ ඇෆ්ගනිස්ථානුවන් බිය වන අතර එහි වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් වන ගැබිනි කාන්තාවන්, නව මව්වරුන් සහ කුඩා දරුවන් එහි දැඩි බලපෑමට ලක්වූවෝ වෙති.

“සෑම දිනකම තත්වය නරක අතට හැරේ,” අබිඩා පවසන්නේ බලාපොරොත්තු සුන්වීමේ හැඟීමකින් තමන් තවමත් වින්නඹු මාතාවගේ රාජකාරි කරගෙන යන බවයි. 

“අපට කුමක් වේදැයි කිසිවෙකු දන්නේ නැත.”

(මෙය bbc.com වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි. සම්මුඛ පරීක්ෂකයන්ගේ නම් වෙනස් කර ඇත)

පරිවර්ථනය කළේ – ගෝතමී ගුණවර්ධන

මුල් පිටපත මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!