spot_img
spot_imgspot_img

මිනිස් වර්ගයාට අවමන් කරන පිටසක්වළින් පැමිණි ජීවීන්

පුවත්

විදෙස්

මිනිසා කොතරම් දියුණු වී සිටිය ද තම ඇසට අසුනොවන කාල්පනික දේ පිළිගැනීමටත් ඒවා විග්‍රහ කිරීමටත් වැඩි කැමත්තක් දක්වයි. විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසා විද්‍යාත්මක විග්‍රහයන් පිළිගනු ඇතැයි සිතුව ද නිරන්තරව ජනප්‍රිය වන්නේත් වඩාත් පිළිගැනීමට ලක්වන්නේත්  කාල්පනික විග්‍රහයන්ය.

මෙය අද ඊයේ නොව මිනිසා ගල් යුගයේ සිටි කාලයේ පටන් පැමිණි දෙයක් බව අද අපට පිළිගැනීමට සිදුවෙයි. නමුත් බොහෝ දෙනකු එය පවා පිළිගන්නේ නැත.

මිනිසා අද වනවිට ලබා ඇති දියුණුව ක්ෂණයකින් ඇතිවූවක් නොවේ. ඉතිහාසය පුරාම ටිකෙන් ටික දියුණු වී අද වනවිට එහි ඉහළම තැනකට පැමිණ ඇති බව ද අනාගතයේ දී අප තවදුරටත් දියුණු වනු ඇතැයි ද යන්න පොදු පිළිගැනීමයි.

මිනිසා ගල් ආයුධ තැනීමේ පටන් අන්තර් මහද්වීපික මිසයිල තැනීම දක්වා පැමිණියේ ක්‍රමික ගමනකි. අද ඇති බොහෝ උපකරණ දශක ගණනාවක් තිස්සේ දියුණු වූ හැටි ගැන අපට ඕනෑ තරම් සාධක තිබේ. නමුත් ඒවා අතීතයේ නොතිබූ බව ද අප හොඳින්ම දන්නා කරුණකි.

එබැවින් මිනිසා ක්‍රමයෙන් දැනුම ලබාගනිමින්, ඒවා අන් අය සමඟ බෙදා හදා ගනිමින් වැඩි දියුණු කරගනිමින් වර්තමානයේ සිටි තත්වය දක්වා දියුණුවක් අත්පත් කරගත් බව පැහැදිලිය.

නමුත් මිනිසා‍ වර්තාමාන දියුණුව අත්පත් කරගන්නා රටාව තුළ ක්‍රමික වර්ධනයට නොගැලපෙන ලෙස නම් කළ හැකි ඇතැම් නිර්මාණ ද අපට හමුවේ.

පිරමීඩ එවැන්නකි. අදින් වසර 4000කට පමණ පෙර කරන ලදැයි කියන අති විශාල මේ නිර්මාණය අදට ඉදිකිරීම පහසු කාර්යයක් නොවේ.

මේ නොගැලපීම පැහැදිළි කරගැනීම සඳහා වුවමනාවක් ඇතිවීම අමුතු දෙයක් නොවේ. අතීතයේ දී නම් මෙවැනි නොගැලපෙන දෙයක් හැදින්වූයේ දෙවියන්ගේ නිර්මාණ ලෙසිනි. නමුත් දැන් එයට ඊට වඩා සිත්ගන්නා සුළු අදහසක් එකතු වී තිබේ. ඒ පිටසක්වළ ජීවීන්ගේ උදව්වෙන් මේවා නිර්මාණය කළාය යන කතාන්තරයයි.

ලෝකයේ ඇති මිනිසුන් විසින් නිර්මාණය කරන ලදැයි විශ්වාස කළ නොහැකි බො‍‍හොමයක් නිර්මාණවලට මේ කතාන්තරය දැන් ඈදා තිබේ. ඒවා නිර්මාණය කළෙල් පිටසක්වළ ජීවීන් විසින් හෝ ඔවුන් ලබා දුන් දැනුම පදනම් කරගෙන යැයි කීම දෙවියන් විසින් මැව්වා යැයි කීමට වඩා තාර්කික ස්වභාවයක් ඇත්තකි.

පිටසක්වළ ජීවීන් සිටිම සහ ඈත අතීතයේ අපට වඩා එවැනි ජීවීන් දියණු වී සිටීම යන මතය විද්‍යාත්මක දැනුමට අනුව විය හැකි දෙයක් බැවිනි. නමුත් ගැටලුව වන්නේ ඒ සඳහා සුදුසු ප්‍රමාණවත් සාක්ෂි තිබේ ද යන්නත් ගැටලුවකි.

පිටසක්සවළ පෘථිවියට පැමිණ ශිෂ්ඨාචාර ගොඩනැගීමට උපකාර කරන්නට ඇතැයි ද, අතීත මිනිසුන් පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන සිටියේ යැයි ද වඩාත් ප්‍රචලිත වූයේ එවැනි කරුණු ඇතුළත්ව ලියන ලද පොත් කිහිපයක් හේතුවෙනි.

1968 දී ජර්මනියේ Erich Von Daniken විසින් ලියන ලද Chariots of the Gods ? නමැති ග්‍රන්ථයේ දක්වා තිබුණේ පිරමීඩ, ස්‍ටෝන්හේන්ජ් ගල්කණු, ඊස්ටර් දූපත්වල මිනිස් පිළිරූ ආදී ලොව කැපී පෙනෙන පැරණි ඉදිකිරීම් පිටසක්වළ තාක්ෂණික දැනුම යොදාගෙන ඉදිකර ඇති බවයි. ඔහු ඒ සඳහා විවිධ සාධක ගෙනහැර දක්වා ඇති අතර ඒවායේ සත්‍යතාව කෙසේ වෙතත් මේ පොත භාෂා රැසකට පරිවර්ථනය වෙමින් ලොව පුරා මිලියන 70කට වඩා අළෙවි වී තිබේ.

මේ කරුණු වඩාත් ප්‍රචලිත වූයේ 2010 වර්ෂයේ දී History රූපවාහිනී නාලිකාවේ ආරම්භ කළ Ancient Aline නමැති රූපවාහිනී වැඩසටහන් මාලාව හේතුවෙන් මේ අදහස් තවත් ප්‍රසිද්ධියට පත්විය. මේ වැඩසහන් මාලාවෙන් විකාශය කෙරුණු වැඩසහන්වලට විද්‍යාත්මක පසුබිමක් හෝ සාක්ෂි නැත. ඇතැම් ඉන්දියානු දේව කතාවල දැක්වෙන විස්මිත අවි ආයුධ පවා පිටසක්වල ජීවීන්ගේ ආයුධ බව එම කතාවල කියැවිණි. එමෙන්ම ලෝකයෙන් ඩයිනෝසරයන් වඳකර දැමුවේ මිනිසුන්ට නිදහසේ ජීවත්වීම සඳහා පිටසක්වල ජීවීන් විසින් බව ද ඔවුහු විවිධ හේතු‍ දක්වමින් කියා සිටියහ. ලෝකයේ ඇති අපූර්වතම නිර්මාණ රැසක් පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණ බව ඔවුන් කීවේ විවිධ කරුණු දක්වමිනි.

දැන් මේ කතාන්තර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඒ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යයන්ගේ ආගමනයත් සමගිනි. කිසිදු සාක්ෂියක් වග විභාගයක් නැතිව ඉදිරිපත් කරන එවැනි අදහස්වලට දැවැන්ත ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙයි. අතීතයේ පටන් ම විස්මිත දේ පිළිගැනීමටත්, දේව විශ්වාසයන් ඇතුළු ගුප්ත දේ පිළිගැනීමට හා තරයේ විශ්වාස කිරීමටත් පුරුදුව සිටි මිනිස් වර්ගයාගේ නූතන නියෝජිතයෝ ද තම ප්‍රවේණිගත පුරුද්දකට මෙන් මේවා විශ්වාස කරති.

මේ නිසාම පිටසක්වළ ජීවීන්ගෙන් ලෝක සංස්කෘතීන් බිහිවීමට දැඩි පිටිවහලක් ලැබී ඇතැයි කියන කතා ජනප්‍රිය වී තිබේ.

මේ කතාන්තර කොතරම් ලෝකය පුරා ජනප්‍රිය වුව ද විද්‍යා ප්‍රජාව ඒවා ප්‍රතික්ෂේප කරයි.

මෙම මතය ගෙනහැර දක්වන පුද්ගලයන් එය සනාථ කිරීමට සාධක තිබෙන බවත්, ඒවා සනාථ වී ඇති බවත් ලොව පිළිගන්නා බවත් කියයි. නමුත් සනාථ කිරීමට ඇති කිසිදු සාධකයක් ඉදිරිපත් කරන්නේ නැත.

එබැවින් මේවා සැළකෙන්නේ ව්‍යාජ විද්‍යාව ලෙසිනි (Pseudoscience) සහ ව්‍යාජ පුරාවිද්‍යාව (Pseudo archaeology) ලෙසිනි. මේවා පිළිිගන්නේ කල්පිත අදහස් භෞතික දේ සමඟ ගැටගැසීමෙන් සිදුකරනු ලබන ඉදිරිපත් කිරීම් වශයෙන් පමණි.

ඒවා සම්බන්ධයෙන් විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක අධ්‍යයන නැත. එමෙන්ම එවැනි අධ්‍යයනයක් කිරීමට තරම් වුවමනාවක් මෙන් ම අධ්‍යාපනික පසුබික් ද මේ පුද්ගලයන් සතුව ඇති බවක් පෙනෙන්නට නැත.

මේවායේ ඇති තවත් ලක්ෂණයක් නම් මෙවැනි කරුණු දක්වන්නන් ඒ සඳහා තෝරාගත් සාධක කිහිපයක් පමණක් ඉදිරිපත් කිරීමයි.

පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණයන් යැයි ඉදිරිපත් කරනු ලබන භෞතික ස්ථානයන් පිළිබඳ පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තහවරු කරගෙන ඇති සාධක මෙවැනි කල්පිත කතාන්තරවලට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ගේ මතය බිඳ වැටෙයි. එබැවින් ඔවුන් මේවා කිසිසේත් විශ්වාස කළ නොහැකි දේ යැයි කියමින් පිටසක්වළ ජීවීන් හා කොතෙකුත් සම්බන්ධ කළ ද එහි සත්‍ය සොයාගැනීම් නොකියා සිටීමට තරම් ප්‍රවේශම් වෙයි. තැම් අවස්ථාවල දී එලෙස තහවුරු වූ කරුණු පවා උල්ලංඝගනය කරමින් වෙනත් කරුණු ඉදිරිපත් කරයි.

වාර්තා වැඩසටහන් පිළිබඳ බොහෝ ප්‍රේක්ෂකයන්ට ඇත්තේ විශ්වාසයකි. ඒවා සත්‍ය කරුණු හා නිවැරදි දත්ත පදනම් කරගනිමින් ඉදිරිපත් කරන බවට ඇති මතය හේතුවෙන් එසේ වී ඇත. මෙවැනි වැඩසහන් ද එම ආකෘතිනේ ම සැකසෙන බැවින් ප්‍රේක්ෂකයෝ ඒවා විශ්වාස කරති. නමුත් සිදුකරන්නේ ප්‍රේක්ෂයන් හිතා මතාම නොමඟ යැවීමයි.

මෙවැනි වැඩසහටහන් මගින් කරන්නේ ජන වහරේ පවතින විශ්වාස අති‍ශයෝක්තියෙන් යුතුව ගෙනහැර දක්වමින් මෙසේ විය නොහැකි ද යන ප්‍රශ්න තම ප්‍රේක්ෂකයා හමුවේ ඉදිරිපත් කර ඔවුන්ට කුතුහලය ඉතිරි කරයි.

මෙවැනි අදහස් බොහෝ රටවල අන්තර්ජාලයට ද විවිධ භාෂාවලින් එකතුකරන බැවින් අන්තර්ජාලයෙන් මෙවැනි ස්ථාන පිළිබද තොරතුරු සොයන අයට ද එවැනි ව්‍යාජ තොරතුරු දක්නට ලැබෙන අතර බොහෝ දෙනකු වැඩි සොයා බැලීමකින් තොරව ඒවා සත්‍යයැයි පිළිගැනීමට ද පෙළැඹේ.

පිටසක්වළ සබඳතා පිළිබඳ අතීතයේ සිට පැවැති මෙවැනි මත ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ ගනයට වැටෙයි. ලෝකය පිළිබඳ කුතුහලයෙන් දැකීමට කැමති බොහෝ දෙනකුට ඒවා වින්දනීය සිතුවිලි වෙයි. එමගින් මිනිසුන්ගේ පරිකල්පනය අවධිවේ. පරිකල්පනයෙන් තවත් නිර්මාණශීලී දෑ බිහිවෙයි. එය අත්‍යවශ්‍ය දෙයකි.

එහි ඇති ආකර්ශනය නිසාම ළමා සහ තරුණ කණ්ඩායම් ඒවාට වේගයෙන් ආකර්ශනය වනු දක්නට ලැබේ.

මිහිතලය මත ඇති ස්වභාවික නොවන නිර්මාණ අතීත මානව ශිෂ්ඨාචාරතුළ සිදුකරන ලද ඉදිකිරීම්ය. ඒ පිළිබඳ විවාදයක් නැත. මානවායාගේ ක්‍රමික දියුණුව ඒ තුළින් අදටත් විද්‍යාමාන වේ.

පුරාවිද්‍යාත්මක සහ විද්‍යාත්මක සාධක අනුව ඒවා තහවුරු වන අතර පිටසක්වළ ජීවීන් සමඟ එය සම්බන්ධ කිරීමට නම් කිසිදු පදනමක් මෙතෙක් ලැබී නැත.

පිරමීඩ

පිටසක්වළ ජීවීන් හා පෘථිවි වාසීන් අතර සම්බන්ධතා තිබුණු බවත් විශ්මිත නිර්මාණ සිදුකළේ එමගින් බවත් ගෙනහැර දක්වන බොහෝ දෙනකුගේ ජනප්‍රියම සාධකය වන්නේ පිරමීඩ නිර්මාණයයි.

අති දැවැන්ත ගල් කුට්ටි එකිනෙක මත තබා පාරාවෝ රජ දරුවන් විසින් ඉදිකරන ලද පිරමීඩ ගැන බොහෝ විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදුකර තිබේ.

පිරමීඩ යනු පිටසක්වළ ජීවීන්ට බලය සැපයීමට සකසන ලද දෙයක් බවත් ඔවුහු කියති. නමුත් දැනටමත් තහවුරු වී ඇත්තේ වහල් සේවය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක වූ එකළ පිරමීඩ ඉදිකර ඇත්තේ මිනිස් සමූහයන් විසින් බවයි. ගීසාහි පිරමීඩ ඔරායන් (දඩයක්කාරයා) තාරකා රාශියේ බඳ පටියට සමපාතව නිර්මාණය වී ඇතැයි මතයක් තිබේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ එකළ ජනතාවට තාරකා රාශි පිළිබඳ යම් අවබෝධයක් තිබී ඇති බවයි.

එබැවින් මිසරයේ පිරමීඩ පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණයක් බව පැවසීම පෘථිවියේ දියුණු වෙමින් ආ මානවයාට කරන අපහාසයක් ලෙස විද්‍යාඥයෝ කියති.

නැස්කා චිත්‍ර

පිටසක්වළ ජීවීන් පෘතිවියට පැමිණ කරන ලද නිර්මාණ අතර තවත් ජනප්‍රිය මාතෘකාක් වන්නේ පේරු රාජ්‍යයේ අග නඟරය වන ලීමා නගරයට සැතපුම් 200ක් පමණ දකුණින් පිහිටි කාන්තා බිමක් මත ඇති රේඛා සමූහයකි. මේවායේ හැඩයක් බැලූ බැල්මට සිතා ගැනීමට නොහැකි වුව ද ගුවනට නැගුණු විට ඒවා අපූරු චිත්‍ර රටාවක් බව පෙනී යයි.

පුරාවිද්‍යාත්මක සාධකවලින් හෙළි වී ඇත්තේ ඒවා වසර 2,000කට වඩා පැරණි බවයි. මිනිසාට ගුවන්ගත වීමට හැකියාවක් නොතිබූ එකළ මේ නිර්මාණ කළේ පිටසක්වළ ජීවීන් බව මතයකි.

මේ ස්ථානයේ විවිධ ජ්‍යාමිතික  රූ සටහන් 300ක් පමණ දක්නට ලැබෙයි. ඒ අතර විවිධ සතුන්ගේ රූප 70ක් ඇත. වඳුරෙක්, මකුළුවෙක්, හමිංබර්ඩ් වැනි සතුන් දක්නට ඇත. අඩි 1200ක් තරම් විශාල වූ රූපයක් ද ඇත.

විද්‍යාඥයන් පවසන්නේ මේ රූප නිර්මාණය කර ඇත්තේ පොළොවේ මතුපිට පස ඉවත්කර එහි යට ඇති සුදු පැහැ පස් තට්ටුව එළියට නිරාවරණය වන ආකාරයට කැණීමෙන් බවයි.

මේවා ගුවනට නැගුණු විට පමණක් නිරීක්ෂණය කළ හැකිවීමත්, ඒවායේ විශාලත්වය හා පැරණි බවත් හේතුවෙන් එය පිටසක්වළ ජීවීන් හා සම්බන්ධ කිරීමට බොහෝ දෙනකු කටයුතු කරති. නමුත් එවැනි තර්කයක් මතුකරන කිසිවෙකුත් මේ රූප ඒ අසළ ඇති කදුවැටියකට හොඳින් දර්ශනය වන බව ලෝකයට අනාවරණය කරන්‍නේ නැත.

අතීතයේ මිනිසුන් ජලය හා සරුබව ලබාගැනීම උදෙසා පූජා ක්‍රමයක් ලෙස මේ නිර්මාණය කරන්නට ඇති බවත් කඳුවැටියේ සිට මිනිසුන් මෙහෙයවමින් මෙය කරන්නට ඇති බවටත් විද්‍යාත්මකව පිළිගත් මතය කිසිදිනක ඉදිරිපත් කරන්නේ නැත.

මිනිස් පිළිරූ

පැසිෆික් සාගරයේ හුදකලා දූපතක් වූ ඊස්ටන් දූපතේ අමුතුම මිනිස් මුහුණු රැසක් දක්නට ලැබෙයි. අති දැවැන්ත ප්‍රථිමා 900ක් එහි ඇත. චිලී රාජ්‍යයට බටහිර දෙසින් පිහිටි මේ දූපතේ ප්‍රථිමා තනා ඇත්තේ ලාවා ඝන වී සෑදුණු ගල් කුට්ටිවලිනි.

ටොන් 14ක් පමණ බරැති අඩි 13ක් පමණ උසැති මේ පිළිම ඉදිකිරීම පිළිබඳ නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත. අදින් වසර 1,000කට පෙරාතුව මේ දූඵතේ සිටි ජන සමූහයක් විසින් මේ පිළිම නිර්මාණය කර ඇති බව දැනට පිළිගන්නා කරුණකි. විද්‍යාඥයන් පවසන්නේ එහි සිටි ජනතාව විසින් ම දූපතේ පරිසරය විනාශ කර දැමීම හේතුවෙන් ඔවුන් ද විනාශ වී ඇති බවයි.

නමුත් මේ ප්‍රතිමා නිර්මාණය වූයේ කවර හේතුවක් නිසාදැයි ඇති අභිරහස පිරවීමට ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන්නන්ට ඒවා පිටසක්වළ ජීවීන් හා සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබෙයි.

බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් ස්මාරකය

මේ ස්මාරකය පිටසක්වළ ජීවීන් සහ පෘථිවි වාසීන් අතර සම්බන්ධතා තිබූ බවට කල්පිත ගොඩනගන්නන්ට අපූරු තෝ තැන්නක් වී තිබේ.

වසර 5,000කට පමණ පෙරාතුව නිර්මාණය කළ බව සැළකෙන මෙය පිටසක්වළ යානා ගොඩ බැස්සවූ ස්ථානයක් ලෙස ද අභ්‍යාවකාශයට පිටත්වන ස්ථානක් ලෙස ද පෙන්වා දෙයි.

මෙහි ඇති ගල් කුට්ට එකක් ටොන් 50ක් පමණ බරැතිය. එමෙන් ම ඒ ආකාරයේ ගල් කුට්ටි එම ස්ථානය ආසන්නයෙන් හමුවන්නේ නැත. පිටසක්වළ කල්පිත ගොඩනගන පුද්ගලයන් පවසන්නේ මෙවැනි සුවිසල් ගල් කුට්ටි මෙතැනට ගෙන ඒමට අතීත මිනිසුන්ට නොහැකි බවයි. එබැවින් ඒවා පිටසක්වළ නිර්මාණ බව ඔවුහු කියති.

නමුත්, වසර 5,000කට පමණ පෙර මිනිසා විසින් භාවිතා කළ උපකරණ හා ඔවුන්ගේ තාක්ෂණය අනුව මෙවැනි ගල් පර්වත දුරක සිට ගෙන ඒම අපහසු නැතැයි විද්‍යාඥයන් විසින් සනාථ කළ කරුණු කිසිවක් කල්පිත ඉදිරිපත් කරන්නනන් විසින් ගෙනහැර දක්වන්නේ නැත. මෙම නිර්මාණය සූර්ය ගමන හා සමපාත වන බැවින් එකළ සිටි මිනිසුන්ට සූර්යයාගේ ගමන ගැන යම් අවබෝධයක් තිබූ බව ද තහවුරු වෙයි.

මෙක්සිකෝවේ Teotihuacan

දෙවියන්ගේ නගරය යනුවෙන් හඳුන්වන Teotihuacan පිහිටා ඇත්තේ මෙක්සිකෝවේ ය.  පිරමීඩ ව්‍යුහවලින් සැකසුන් මේ නගරය අති විශාල භූමි ප්‍රදේශයක් පුරා ඉදිවී ඇත. පුරාවිද්‍යාඥයන් තහවුරු කර ඇත්තේ ශත වර්ෂ ගණනාවක් පුරා මිනිසුන් විසින් මේ නගරය ක්‍රමිකව ඉදිකර ඇති බවයි. නූතන ගණනය කිරීම්වලට අනුව එහි මිනිසුන් 100,000ට වඩා ජීවත්ව සිටි බව තහවුරු කර තිබේ.

යුරෝපීයයන් මෙක්සිකෝවට පැමිණෙන විට මෙහි ජීවත් වූ ජන කණ්ඩායම ඇස්ටෙක්වරු ලෙස හැඳින්වුව ද ඔවුන්ටත් පෙර එම නගරය ගොඩනගා ඇති බව පැහැදිළිය. මිනිසුන් විසින් ඔවුන්ගේ ම තාක්ෂණය යොදා ගනිමින් ක්‍රමිකව ගොඩනැගූ මේ අපූරු නගරය පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණයක් ලෙස කල්පිත කතාන්තරකරුවෝ කියති.

ඉන්කා නගරයේ අගනගරය

ඉන්කා ශිෂ්ඨාචාරයේ අග නගරය වූයේ වත්මන් පේරු රාජ්‍යයේ කුස්කෝ නගරයයි. මේ නගරය ආසන්නයේ Sacsayhuaman  නමැති බළකොටුව  පිටසක්වළ ජීවීන් පිළිබද කල්පිතයන් ප්‍රචාරය කරන්නන්ට අපූරු තෝතැන්නක් වී තිබේ.

සැතපුම් 20ක පමණ දුර සිට ගෙනෙන ලද ටොන් 300කට වඩා බැරැති සුවිසල් ගල් කුට්ටිවලින් මෙහි බැමි ඉතා සියුම්ව සකසා තිබේ. ඉතා සියුම්ව කපා සැකසූ තරම් නිරවද්‍යතාවකින් එකිනෙක මත තබා ඇති මේ ගල්කුට්ටි සැකැස්ම මිනිසාට කළ හැකි දෙයක් නොවේයැයි පවසන කල්පිත ඉදිරිපත් කරන්නන් පවසන්නේ එය පිටසක්වළ ජීවීන් පැමිණ කරන ලද නිර්මාණයක් බවයි.

නමුත් පුරාවිද්‍යාඥයන් විසින් එම ස්ථානයේ කරන ලද කැණීම්වලින් ගල් කුට්ටි මෙතැනට ඇදගෙන ඒම සඳහා භාවිතා කරන ලද ලීවර හා කඹවල අවශේෂ පවා සොයාගෙන ඇති අතර ප්‍රවාද කරුවෝ ඒවා ගැන කිසිවක් සඳහන් කරන්නේ නැත.

පිටසක්වළ ජීවීන් හැදුවේ ගල් බැමි සහ පස් නිර්මාණ ද ?

පිටසක්වළ ජීවීන් පැමිණ පෘථිවියේ මිනිසුන්ට උදව් උපකාර කළ බවත් ඔවුන් විශ්මිත නිර්මාණ කළ බවත් පවසන කල්පිත කතාකරුවන් විසින් අමතකර කරන දෙයක් තිබේ. විද්‍යාව මෙතරම් දියුණු වී ඇති යුගයක අප දන්නා විශ්වයේ මෙතෙක් දියුණු හෝ නොදියුණු ජීවීන් හමුවී නැත. පිටසක්වළ සිට පෘථිවියට පැමිණීමට තරම් දියුණු තාක්ෂණයකින් යුතු ජීවීන් සිටියේ නම් ඔවුන් මේ ලෝකයට පැමිණ ගල් බැමි සහ පස් නිර්මාණ පමණක් සිදුකළේ ඇයි.

ඔවුන් භාවිතා කළ අභ්‍යාවකාශ යානා තාක්ෂණය ඇතුළු වෙනත් තාක්ෂණික උපකරණ කිසිවක් මිහිතලය මත නැත්තේ ඇයි. පිටසක්වළ ජීවීන් පැමිණියානම් ඒවායේ නෂ්ඨාවශේෂ පිළිබඳ කවර හෝ සාක්ෂියක් තිබිය යුතුය. ඒ වා කිසිවක් නැත.

නමුත් මානව හා සංස්කෘතික පරිනාමයේ ක්‍රමිකව විකාශය වීම මේ සියලුම නිර්මාණවලින් අපූරුවට පැහැදිළි වෙයි.

මානවයාගේ ක්‍රමික දියුණුව සිදුවෙද්දී සිදුකරන ලද මෙවැනි නිර්මාණ කල්පිත කතාන්තරකරුවන් විසින් පිටසක්වළ ජීවීන් හා සම්බන්ධ කිරීම මානව වර්ගයාටම සිදුකරන අවමානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!