spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පුවත්

විදෙස්

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය.

ඔහු මේ සමත්කම සිදුකළේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙනි. ඔහු මීට පෙර 2016 වර්ෂයේ දී රියෝ පැරා ඔලිම්පික් උළෙලේ දී මීටර 58.23ක් දුරට හෙල්ල විසිකරමින් එෆ් 46 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

එක් අතක් වැලමිටට පහළින් හෝ ඉහලින් අහිමි වූ සම්පූර්ණයෙන් ම පන නැති ක්‍රීඩකයන් තරඟ වදින කාණ්ඩය එෆ් 46 ලෙස හැඳින්වෙයි. ඔහු සිය තුන්වැනි උත්සාහයේ දී මීටර 67.79ක් දුරට හෙල්ල විසිකරමින් නව ලෝක වා‍ර්තාවක් පිහිටවූයේය.

ඔහුගේ පළමු උත්සාහය මීටර 62.58ක් දුරට ද දෙවැනි උත්සාහය මීටර 62.19ක් දුරට ද විසි කිරීමට ඔහු සමත්වූයේය.

2017 වසරේ ලන්ඩන්හි පැවැති පැරා ලෝක ශූරතා තරඟාවලියේ දී මීටර 57.93ක් දුරට සහ 2019 වසරේ ඩුබායිහි පැවැති පැරා ‍ලෝක ශූරතා තරඟාවලියේ දී මීටර 60.59ක් දුරට හෙල්ල විසිකරමින් රිදී පද්දක්කම් දිනා ගැනීමට ද ඔහු සමත්ව සිටියේය. 2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී මීටර 61.84ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙස සටහන් වූයේ එයයි.

දිනේෂ් රන් පදක්කමට හිමිකම් කියද්දී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම ඉන්දියාවේ ක්‍රීඩකයන් සතුවිය. විශේෂත්වය වන්නේ මෙවර පදක්කම් ලාභීන් තිදෙනා ම එම ඉසව්වේ පැරණි ලෝක වාර්තාව පසුකර යාමට සමත්වීමයි.

2016 දී රියෝ පැරාඔලිම්පික් උළෙලේ දී මීටර 63.97ක් දුරට හෙල්ල විසි කළ ඉන්දියාවේ දේවේන්ද්‍ර නම් ක්‍රීඩකය එෆ් 46 කාණ්ඩයේ පැරණි වාර්තාවට හිමිකම් කීවේය. ඔහු මෙවර තරඟාවලියේ දී එම වාර්තාව අභිබවමින් මීටර 64.35ක් දුරට හෙල්ල විසිකළ ද දිනේෂ්ට පරාජයට පත්වෙමින් රිදී පදක්කමකින් සෑහීමට පත්වීමට සිදුවීම විශේෂත්වයකි.

පැරා ලෝක ශූරතාවලි දෙකක දී රන් පදක්කම් සහ පැරා ආසියානු උළෙලේ දී රිදී පදක්කම් දිනා සිටි සුන්දර් සිං නමැති ඉන්දීය ක්‍රීඩකයා අද මීටර 64.01ක් දුරට හෙල්ල විසිකරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වූයේය.

දිනේෂ් ප්‍රියන්ත 35 හැවිරිදි වියේ පසුවෙයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටිය දී කොටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ වම් අත වැල මිටෙන් පහළ සම්පූර්ණයෙන් ම පන නැතිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!