පාසල්වලින් බිහිවන සුවිශේෂී චරිත තියෙනවා. ආචාර්ය මහාචාර්යවරු ගැන අපි කොතෙක් කතා කළත් විදුහල්පතිවරු ගැන, ගුරුවරු ගැන කතා කළත්, තමන්ගේ මුළු ජීවිත කාලයම පාසල් වෙනුවෙන් කැප කරන ඇතැම් පුද්ගලයන් ගැන කතා කරන්නේ අල්ප වශයෙන්.

ගාල්ලේ මහින්දයේ ඒ වගේ චරිත කිහිපයක් හිටියා. මහින්දේ ඉස්සරහ හිටපු ඩැනි අයියා, කැන්ටිමේ හරිස් අයියා, ටකේ ගහපු පියදාස අයියා, ලැබ් එකේ මහින්ද අයියා, සූරි අයියා, කාර්යාලයේ සරත් අයිය ඒ වගේ චරිත. තවත් අපි නොදන්න අය ඉන්න ඇති.

මේ චරිත අතර කලහෙ අංකල් සුවිශේෂයි. මම කලහෙ අංකල්ව දන්නේ පාසලේ ආරක්ෂක නිලධාරියා විදියට. මගේ ලොකු පුතා මහින්දයට ඇතුළුවුණු දවසේ ඉදලා කලහෙ අංකල්ගේ ඇල්ම බැල්ම ඔහු කෙරෙහි තිබුණා. පුතාව ගන්න මහින්දයේ ගේට්ටුව අසළට යන්න පරක්කු වුණත් අපිට කිසිම ගැටලුවක් වුණේ නැහැ. කලහෙ අංකල් දරුවන්ව ආරක්ෂා කරනවා.

විටින් විට බෝම්බ බිය පැතිරෙද්දී, මත්ද්‍රව්‍ය වැනි අපචාර පාසල් අසළ ගැවසෙනවා කියා කියවෙද්දී කලහෙ අංකල් පතාක යෝධයෙක් වගේ ඒ සියල්ල වළක්වමින් පාසලේ දරුවන් ආරක්ෂා කළේ තමන්ගේ ප්‍රාණය හා සමව.

කොතරම් වයස්ගත වුණත් ප්‍රාථමික අංශයේ සියලු දරුවන් ඇතැම් විට නම් ගම්වලින් පවා දැනගෙන හිටපු කලෙහ අංකල් ඔවුන්ගේ දෙමාපියන් පවා වෙන වෙනම අඳුනගෙන හිටියා. ලොකුපුතා ප්‍රාථමික අංශයෙන් ඉවත්වෙලා යන විට පොඩි පුතා පාසලේ. මේ දෙන්නටම කලහෙ අංකල් සැළකුවේ එකම විදියට. මගේ දරුවන්ට විතරක් නෙවෙයි මහින්දයේ ආදි සිසුන් නොවන දෙමාපියන්ගේ දරුවන්ටත් ඒ දෙමාපියන්ටත් කලහෙ අංකල්ගේ වෙනසක් තිබුණ් නැහැ.

පාසලේ ආරක්ෂකයා වුණාට කලහෙ අංකල් ඉතා හොඳ චිත්‍ර ශිල්පියෙක් වගේ ම අත්කම් නිර්මාණ කරුවෙක්. ඒ නිසා පාසලේ උත්සව අවස්ථාවල දී දරුවන්ට අවශ්‍ය බොහෝ නිර්මාණ කලහෙ අංකල්ගේ දෑතින් හැඩ වැඩ වුණේ අපූරු අයුරින්.

කලහෙ අංකල් ගාව ලොකු පොල්ලක් තිබුණා. දවසක් මේ පොල්ල අරගෙන කොල්ලන් පස්සේ එලවනවා දැකපු මට පුදුම හිතිලා ”අංකල්, ඇයි මේ පොල්ලක් අරගෙන” කියල ඇහුවා.

මා දෙස බලා හිනා වුණු ඔහු

” මේ පොල්ලට කොල්ලො බයයි. ඒත් උන් දන්නවා මම කවදාවත් ගහන්නේ නැහැ කියලා. පොල්ල ගන්න කොටම දන්නවා තමන් කරපු වැරද්දට මට තද වෙලා කියලා. මට මේ පොඩි එවුන් එක්ක තරහ යන්නේ නෑ. ඒත් ඉතින් මේ කොල්ලො ටිකට වැරදි කරන්න දෙන්න බැහැනේ. පුදුම විසයක් තියෙන්නේ.” කියමින් පොල්ල තම ආරක්ෂක කුටියේ තැබුවා.  

ඔහු පාසලේ ආරක්ෂක නිලධාරියා පමණක් නොවෙයි දරුවන්ට ආදරණීය වැඩිහිටියෙක් වුණා. මේක ටික කාලයක් නෙවෙයි. දශක ගණනක්ම සිදුවූ දෙයක්. ඉතින් මහින්දයේ ඉගෙන ගත්තු සෑම මහින්දීයයකු ම මේ අපූරු මනුස්සයාට ණය ගැතියි.

අපි කලෙහෙ අංකල් කියන ”කලහෙවිතානගේ අමරසේන” තම මුළු ජීවති කාලයම කැප කළේ මහින්දය වෙනුවෙන්.

මම මේ සටහන ඔහු වෙනුවෙන් තැබුවේ පසුගිය 02 දා මහින්දයේ ගුරුවරුන් හා දරුවන් එකතුවෙලා කලහෙ අංකල්ට උපහාර පැවැත්වීම ගැන සඳහන් කරන්න.

විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මෙහෙයවීමෙන් ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි සන්ධ්‍යා රේණුකා මහත්මිය ඇතුළු ගුරුභවතුන් රැසක් මහින්දයේ ප්‍රාථමික ශිෂ්‍යනායක මණ්ඩලයේ දරුවන් සමඟ කලහෙ අංකල්ගේ ගෙදරට ගියා.

මම දන්නවා කලහෙ අංකල්ට ඇ‍‍‍ඬෙන්න ඇති.  මේ දරුවන් දැකලා. ඒ සතුටු කඳුළු. ඒ තමයි මේ සංවේදී මනුස්සයාගේ ස්වභාවය.

එදා මේ උපහාරය ගැන දන්නවනම් ඇත්තටම අපිත් යනවා කලහෙ අංකල් එක්ක කයියක් ගහන්න. නමුත් අපිට ඒ වාසනාව තිබුණේ නැහැ.

මහින්දීයයන් වන අපි, මහින්දීයයන්ගේ දෙමාපියන් වන අපි හැමෝම කලහෙ අංකල්ට සාදාකාලික ණය ගැතියි. ඔහු නොවන්නට ඇත්තටම මහින්දයේ ඇතැම් දරුවන්ට මොනවා වේවිද කියා අපි දන්නෙත් නැහැ. ඔහු කළේ රස්සාවක් නෙවෙයි. මහින්දය මහින්දයේ දරුවන්ට අනූපමේය සේවාවක්.

ඉතිං කලහෙ අංකල් අපේ දරුවන්ගේ සදාතනික ආදරය දිනාගත් ඔබට අපේ ගෞරවය දිනාගත් ඔබට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්. සියලු මහින්දීයන් හා මහින්දයේ ප්‍රජාව වෙනුවෙන්.

කලෙහි අංකල් අපි සැවොම ණය ගැතියි සදාකාලිකව ම ඔබට අපේ දරුවන් මෙන්ම මහින්දයත් රැක දුන්නාට.

(මම ඔබේ පත්තර මිත්‍රයා – සජීව විජේවීර)

Photography by: Arch92 | Web Team MCG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here