spot_img
spot_imgspot_img

“නැවේ ගින්න නිව්වේ නෑ. වන්දියක් වෙනුවෙන් ගින්න පැතිරෙන්න ඉඩ දුන්නා” අධිකරණයේ දී කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා බලධාරීන්ට X-Press Pearl නෞකාවේ ගින්න නිවීමට වුවමනාවක් නොවූ වත් ඔවුන් ගින්න පැතිරීමට ඉඩ හැරියේ අදාල නැවවෙන් වන්දියක් ගැනීමට අපේක්ෂාවෙන් බවත් ගින්නෙන් විනාශ වූ නැවේ කපිතාන්වරයා වෙනුවේන මහාධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (14) කොළඹ මහාධිකරණයේ දී විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ නැවේ කපිතාන් රුසියානු ජාතික ටියුට්කාලෝ විටැලි වෙනුවෙන් කරුණු දක්වමිනි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට කියා සිටියේ නෞකාවේ රසායනික කාන්දුවක්  තිබෙන බව දනිමින් එය වසන් කර කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙරට ජල තීරය තුළට  පිවිස ඇති බවයි.

මෙම ගින්න හේතුවෙන් මෙරටට ගණනය කළ නොහැකි පාරිසරික හා ආර්ථික පාඩුවක් වී ඇති බවත් එය සොයා බැලීම සඳහා සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය දැනටමත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවත් හෙතෙම කීවේය. මෙම ගින්න හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශය හරහා වෙනත් නෞඛාවකට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වාදුන්නේය. එමෙන් ම මුහුදේ සිට ගොඩබිමට තෙල් පොම්පකිරීමට ද මේ නෞඛාව බාධාවක් වී ඇති බව ඔහු කී‍වේය.

එබැවින් නැවේ කපිතාන්වරයා සමුද්‍ර දූෂණ වැළැක්වීමේම පනත අනුව වරදක් කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ද කීවේය.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා නැවේ කපිතාන් රුපියල් ලක්ෂ 20ක පෞදගලික බැඳුම්කරයක් ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේය. එමෙන් ම ඔහුට විදේශ ගමන් තහනම් කළ අතර විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයට භාරදිය යුතුයැයි ද නියෝග කළේය.

එමෙන්ම ඔහුගේ පදිංචිය වෙනස්වන්නේ නම් ඒ බව අධිකරණයට දැන්විය යුතු බවට ද නියෝග කරමින් මෙම නියෝගය සියලුම ගුවන්තොටපොළ, වරාය හා ආගමන විගමන පාලකවරයාට ද දැනුම් දෙන ලෙස ද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!