spot_img
spot_imgspot_img

හිනිදුම මරණ දෙකක් PCR නොකර දීලා. නිවැසියන්ට කොරෝනා. ප්‍රදේශයම අවදානම්

පුවත්

විදෙස්

මියගිය එක් අයෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

පීසීආර් නොකර සිරුරු නිදහස් කරලා. එම්බාම් කරලා නිවසට ගෙනත්

ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් අවසන් ‍‍ගෞරව දක්වන්න ගිහින්

මියගිය දෙදෙනාග‍ේම නිවැසියන්ට කොරෝනා

හිනිදුම රෝහලේ වෛද්‍යවරයෙක් මියගිය අයෙකුට ඇත්තේ සාමාන්‍ය උණක් යැයි කියලා

වෛද්‍යවරයා නිරෝධායනය ප්‍රතික්ෂේප කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයේ නිවෙස්වල සිදුවූ මරණ දෙකක් PCR පරීක්ෂණ සඳහා යොමු නොකර හිදිසි මරණ පරීක්ෂකවරයකු සහ ග්‍රාම නිලධාරීවරයකු විසින් නිදහස් කිරීම හේතුවෙන් ප්‍රදේශය පුරා කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සහ තවත් පුද්ගලයෙකි. එම පුද්ගලයන් දෙදෙනාගේම මළ සිරුරු මල් ශාලාවකට භාර දී එම්බාම් කර නිවසට ගෙනවිත් සාමාන්‍ය ආකාරයෙන් අවමංල්‍ය කටයුතු සිදුකරමින් ආදාහනය කර තිබේ. අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු එම නිවෙස් දෙකේම පුද්ගලයන්ට උණ ඇතුළු රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් කිහිප දෙනකුම කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරා එම මළ ගෙදරට සහභාගී වූ පුද්ගලයන්ට නිරෝධායනය වන ලෙස ද දැනුම් දී තිබේ. ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයාගේ අවමංගල්‍යයට මැති ඇමැතිවරු ද ප්‍රාදේශීය දේශාපලනඥයන් හා දේශපාලන ක්‍රියාකාරිකයෝ විශාල පිරිසක් සහභාගී වූ බව ප්‍රදේශවාසීහු කියති.

මියගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රිය අනතුරක් හේතුවෙන් ඔත්පලව වසරකට වැඩි කාලයක් නිවසේම සිටි අයෙකි. ඔහු මියගිය අවස්ථාවේ දී එම ප්‍රදේශයට යාබද ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂක ගුණතිලක නමැති අයකු නිවසට පැමිණ ඇත. ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂකවරයා නිවෙස්වල සිදුවන මරණ සියල්ල පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන අයෙකි.

නමුත් මෙම ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂක ගුණතිලක එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහ ග්‍රාම නිලධාරීවරයාගේ ද නිර්දේශය මත සිරුර ඥාතීන් වෙත නිදහස් කර ඇත්තේ පීසීආර් පරීක්ෂණ හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකරමිනි.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්ෂක ගුණතිලකගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

“මම ඒ නිවසට ගියා. එතකොටත් 100ක් විතර කට්ටිය පිරිලා හිටියා. ඒ හිටපු මන්ත්‍රීතුමා අවුරුද්දකට වැඩි කාලයක් එක්තැන් වෙලා හිටියේ. ඒ නිසා මරණය ගැන සැකයක් තිබුණේ නෑ. වෛද්‍ය වාර්තා තිබුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඇහුවාම කිව්වා කොරෝනා අවදානමක් නෑ කියලා. ග්‍රාම නිලධාරීවරයාත් කීවා. ඉතින් මම සිරුර නිදහස් කළා. නිවෙස්වල මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීම සම්බන්ධයෙන් අපිට කිසිම ආයතනයකින් උපදෙස් දීලා නෑ, අපිට පීසීආර් පරීක්ෂණයක් කරන්න නම් මළ සිරුරු කරාපිටිය රෝහලට යවන්න වෙනවා. අනිත් මරණය නිදහස් කළේ මම නොවෙයි.”

එම කොට්ඨාසය භාර හදිසි මරණ පරීක්ෂක හේමානන්දගෙන් මෙම මරණ දෙක සම්බන්ධයෙන් තොරතුරු විමසූ විට හෙතෙම කීවේ මෙවැනි කතාවකි.

“මන්ත්‍රීතුමා මියගිය වෙලාවේ ඒ නිවසට අපේ මරණ පරීක්ෂක ගුණතිලක ගිහින් තිබුණා. ඔහු මගෙන් ඇහුවා තමන් ඒ නිවසේ සිටින බව. එයා මරණය කරන්න ද මම කරනවා ද කියා ඇහුවා. මම කිව්වා දැන් ඔබතුමා නිවසේ ඉන්නවානම් ඉතින් කරන්න. මට ප්‍රශ්නයක් නෑ කියලා. මම නම් කිසිම මරණයක් පීසීආර් සඳහා යොමු නොකර නිදහස් කරන්නේ නැහැ. නමුත් ඉතින් මරණය ගැන අවසන් තීරණය ගන්නේ හදිසි මරණ පරීක්ෂකවරයා. ඒ නිසා මට ඒ ගැන කිසිවක් කියන්න බැහැ. අනෙක් මරණය ගැන මම දන්නේ නැහැ. එය නිදහස් කර ත‍ිබෙන්නේ ග්‍රාම නිලධාරීවරයා විසින් කියලා ආරංචියි.”

මේ මන්ත්‍රීවරයාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු ඔහුගේ බිරිඳ උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිත බව මේ වනවිටත් තහවුරු වී තිබේ.

අනෙක් මරණය සිදුව ඇත්තේ ද ඒ ආසන්නයේ ම නිවසකය. නිවෙස්වල සිදුවන මරණ නිදහස් කිරීමේ බලතල ග්‍රාම නිලධාරීන් සතුව තිබුණ ද කොරෝනා වසංත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවවන සියලු මරණ හදිසි මරණ පරීක්ෂකවරු වෙත යොමු කරන ලෙස මීට ඉහත ග්‍රාම නිලධාරීවරුන්ට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් නිකුත්කර තිබිණි. එසේ උපදෙස් ලබා දී තිබිය දී මෙම සිරුර ග්‍රාම නිලධාරීවරයා විසින් නිදහස් කර ඇත.

“මේ මියගිය පුද්ගලයා එදා උදේ උණ ගතියකින් පෙළුණා. ඒ නිසා හිනිදුම රෝහලේ වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන යන පුද්ගලික බෙහෙත් ශාලාවකට අරගෙන ගියා. ඒ මහත්මයා රෝගියා පරීක්ෂාකර බලා කීවා මේක සාමාන්‍ය වයිරස් උණක් කියලා. ඊට පස්සේ ගෙදර එක්කගෙන ආවා. මියගියා. ග්‍රාම නිලධාරීට කිව්වම ඇවිත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කතා කළා. ඔහු කීවා ගැටලුවක් නෑ වෛද්‍යවරයා කියනවානම් දෙන්න කියලා. අපි දන්න විදියට ‍ග්‍රාම නිලධාරීවරයා වෛද්‍යවරයාටත් කතා කරලා තමයි මේ මරණය නිදහස් කළේ.”

මේ වනවිට මියගිය එම පුද්ගලයාගේ බිරිඳ හා සහෝදරියන් දෙදෙනකු ද උණ රෝගය හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්කර කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබේ. ඔවුන්ගේ නිවස ආසන්නයේම නිවසක පදිංචිකරුවකු ද කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මේ මරණ නිදහස් කිරීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂවරයකු විසින් ලබා දෙන්නේ කොරෝනා ආසාදිත වූ හෝ ආශ්‍රිත වූ අයකු මේ නිවෙස්වල සිටිනවා ද යන්න පිළිබඳ නිර්දේශයක් පමණි. එම සිරුරු පීසීආර් සඳහා යොමු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය කළ යුතු වන්නේ අදාල හදිසි මරණ පරීක්ෂකවරයා විසින. ග්‍රාම නිලධාරීවරුන් මෙම වසංත කාලයේ දී මරණ පිළිබඳ තීරණයක් ගැනීමට දැන් බලයක් නැත.

මෙම මරණ දෙක ආශ්‍රිතව ම එම පවුල් දෙකේම සාමාජිකයන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම හේතුවෙන් අවමංගල්‍යය සඳහා සහභාගී වූ සියලු දෙනා නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ. එක් මරණයක් නිදහස් කළ ග්‍රාම නිලධාරී ද නිරෝධායනයට යොමු කර තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ මියගිය පුද්ගලයා මියයාමට පෙර පරීක්ෂා කළ හිනිදුම රෝහලේ වෛද්‍යවරයාට ද නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇතත් එය මෙතෙක් සිදුව නොමැති බවයි.

මේ මරණ හේතුවෙන් දැන් හිනිදුම හා ඒ අවට ප්‍රදේශවල කොරෝනා අවදානමක් හටගෙන ඇත.   

1 COMMENT

  1. මෙම ප්‍රවෘත්තිය තුළ ග්‍රාම නිළධාරීන් විසින් මළ සිරුරු නිදහස් කිරීම යනු⁣වෙන් අදහස් කර ඇති කරුණ සම්පූර්ණයෙන්ම වැරදිය. එ⁣මෙන්ම සියලුම මරණ පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කළ යුතු බවට නීතියක් නැත. හදිසි මරණයක් ලෙස නීතිය අර්ථදක්වන අවස්ථාවක් හැර සෙසු මරණයක අවසන් කටයුතු සඳහා අවසර දියයුතු ග්‍රාම නිළධාරීන් විසින් බව සම්පූර්ණයෙන්ම සාවද්‍ය මතයකි. කරුණාකර උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ පනත හා සුසාන භූමි ආඥාපනත අධ්‍යයනය කරන්න.

Leave a Reply to Indu Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!