spot_img
spot_imgspot_img

දිව ඉදිමී ලංකාවේ මිනිසුන් මැරෙන කතාව ‍බොරුවක්. සැබෑ විද්‍යාත්මක කරුණු මෙන්න

පුවත්

විදෙස්

අම්පාරේ දී පුද්ගලයකු කළු දිලීරය (Black Fungus) නමැති දිලීර ආසාදනය සහිතව කොරෝනා රෝගයෙන් මියගොස් ඇතැයි ද ඔහුගේ දිව ඉදිමී විශාල වී මරුමුවට පත්ව ඇතැයි ද ඇතැම් මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැතැයි වෛද්‍යවරු කියති.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ යීස්ට් (Yeast) වර්ගයේ දිලීරයක් මොළයට ඇතුළුවීම හේතුවෙන් බව අම්පාර මහ රෝහලේ  විශේෂඥ ක්ෂුද්‍ර ජීවී ‍වෛද්‍යවරයා පවසයි.

දිලීර ආසාදන පොදුවේ හඳුන්වන්නේ Mycosis යනුවෙනි. දිලීර වර්ගය සහා ආසාදනය ඇතිවන ස්ථානය අනුව ඊට වෙනත් විශේෂණ පද එකතු වී ආසාදනය හඳුන්වනු ලබයි

අම්පාර රෝහ‍ලේ දී කොරෝනා ආසාදනය වීමට අමතරව දිලීර ආසාදනයක් ද සහිතව මියගිය පුද්ගලයාට වැළඳී ඇත්තේ මයිකොමයිකොසිස් (Mycormycosis) ලෙස හැඳින්වෙන දිලීර ආසාදනයකි. එය ඉතාමත් කළාතුරකින් දැකිය හැකි වුව ද ඊට හේතුවක් වන දිලීරය මිනිසා ඇතුළු ක්ෂීරපායී සතුන්ගේ නාස් පුඩුවල මෙන්ම පරිසරයේ ද බහුලව දැකිය හැකි දිලීරයකි. මෙම දිලීරය හේතුවෙන් ඇතැම් විට ඇස්, මොළය, පෙනහළු, ආහාර මාර්ග පද්ධතිය මෙන්ම සම පවා ආසාදනය විය හැකි බව වෛද්‍යවරු කියති. ආසාදනය පවතින ස්ථානය හෝ ඉන්ද්‍රිය අනුව මෙහි රෝග ලක්ෂණ වෙනස් වේ. උණ, හිසරදය, ඇස් යට වේදනාව ඇති කරයි. විශේෂයෙන් ම ඇස් වටා ඉදිමීම දක්නට ලැබෙයි.

වෛද්‍යවරු පවසන්නේ මෙය වඩාත් දරුණු වන්නේ දිලීර ආසාදනය ඇස්වලට හා මොළයට බලපාන අවස්ථාවේ දී බවයි. ඒඩ්ස් රෝගීන්, දියවැඩියාව පාලනය කරගත නොහැකි වූ අය, නිදන්ගත වකුගඩු ආබාධ සහිත අය, ඉන්ද්‍රිය බද්ධ කළ අය, මන්දපෝෂණය සහිත පුද්ගලයන්, ප්‍රතිශක්තීකරණය දුර්වල වූ ඕනෑම අයකු සහ පිළිකා රෝගීන් මේ ආසාදන තත්ත්වයට පහසුවෙන් ගොදුරක් වෙයි. කවර රෝග ලක්ෂණයක් දක්නට ලැබුණ ද එවැනි පුද්ගලයකුට මෙම රෝගය වැළඳී තිබේ ද යන්න නිශ්චිතව හඳුනාගත හැකිවන්නේ විශේෂිත රෝග විනිශ්චයකිනි (Biopsy)

වෛද්‍යවරුන් පවසන්නේ මේ දිලීර ආසාදනයට ඖෂධ ඇතුළු ප්‍රතිකාර ඇතත් එය වැළඳුණු 30%-70% ප්‍රමාණයක් මිය යාමේ අවදානමක් සහිත බවයි. එමෙන්ම කොරෝනා සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති එමෙන්ම කොරෝනා මරණ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ ගොස් ඇති ඉන්දියාවේ පසුගිය සති කිහිපයක්ම මේ රෝගයට ගොදුරු වූ පුද්ගලයන් හමුවී තිබේ. කොරෝනා ආසාදනය සමඟ පුද්ගලයන්ගේ ශරිීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වන බැවින් මෙම දිලීර රෝගය එවැනි ආසාදිතයන්ට වැළඳීමේ ප්‍රවණතාවක් තිබේ. එබැවින් මෙම ආසාදන තත්ත්වය ද කොරෝනා සමඟ සිදුවිය හැකි නමුත් අම්පාරේ සිද්ධිය දැනට වේගයෙන් ප්‍රචාරය වන ආකාරයේ දිවේ හටගන්නා කළු දිලීරයක් හේතුවෙන් සිදුවන දිව ඉදිමීමක් නොවන බවත් වෛද්‍ය වරු පෙන්වාදෙති.

(මාධ්‍යවෙත අදහස් දැක්වීමෙන් වළකින්න යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බැවින් මෙම විද්‍යාත්මක කරුණු පැහැදිලි කළ වෛද්‍යවරු පවා තම නම් සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටියහ.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!