spot_img
spot_imgspot_img

ලොකෙන්ම ඩෙංගු තුරන් කළ හැකි ක්‍රමයක් ශ්‍රී ලාංකික පර්යේෂකයෝ සොයාගනිති

පුවත්

විදෙස්

නිවර්තන රටක්වන ශ්‍රී ලංකාවේ ජනතාවට දැඩි පීඩාවක් ඇතිකරන රෝග අතරින් ප්‍රමුඛ රෝගයක් වන්නේ ඩෙංගු රෝගයයි. කුඩා මදුරුවකුගෙන් බෝ වන මේ රෝගය හේතුවෙන් සමස්ත ලෝක ජනගහණයෙන් 40%ක් පමණ පීඩා විඳිති.

ඉදිරියට එන්නේ ඩෙංගු රෝගය යළි හිස ඔසවන කාලයයි. සෑම වර්ෂයක ම ජුනි, ජූලි කාලවලදීත් නැවත ඔක්තෝබර් දෙසැම්බර් කාලවලදීත් මෙරට ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ දැනට ප්‍රභේද 04ක ඩෙංගු වයිරස දක්නට ලැබෙන අතර එය මිනීසුන්ගේ ශරීරරයට ඇතුළු කරන්නේ Aedis aegyptii නම් මදුරු විශේෂය විසිනි.

ඩෙංගු රෝගය වැඩිවන විට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් ඩෙංගු මර්ධනය කිරීමට අප රටේ පාලකයෝ උත්සාහ ගනිති. නමුත් මෙය එතරම් ඵලදායී නොවනබව ඒ සැළසුම් දියත් කරන අයම දනිති. 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් ‌ඩෙංගු රෝගීන් 186,000 ක් හා මරණ 440ක් වාර්තා වීමෙන් ම මේ අසාර්ථකත්වය පෙන්නුම් කරයි.

නමුත් මේ සඳහා දැන් අපේ රටෙන් ම විසඳුමක් ලැබී තිබේ. 2012 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විදයා අධ්‍යයනංශයේ මහාචාර්ය රනිල් සනායකගේ මඟපෙන්වීමෙන් ඩෙංගු මදුරුවා මර්ධනය සඳහා ජාන විකරණය කළ මදුරුවකු යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ ආරම්භ කෙරිණි. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අණුක වෛද්‍ය ඒකකයේ මහාචාර්ය නිල්මිණි ගුණවර්ධන ද එක්වූවාය.

මහාචාර්ය රනිල් දිසානායක
මහාචාර්ය නිල්මිණි ගුණවර්ධන

ජාතික පර්යේෂණ සභාව මගින් මේ පර්යේෂණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා තිබිණි. රසායන විද්‍යා ආචාර්ය උපාධි අපේක්ෂක කළිඳු රම්‍යසෝම සිය ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා මෙයට සම්බන්ධ වූයේය.

ආචාර්ය උපාධි අපේක්ෂක කළිඳු රම්‍යසෝම

2014 වර්ෂයේ දී ආරම්භ වූ ඔහුගේ පර්යේෂණයේ ප්‍රතිඵල දැන් ලැබී තිබේ. මදුරුවන්ගේ ජාන වෙනස්කම් කරමින් ඩෙංගු මර්ධනය කළ හැකි ජානයක් සහිත මදුරු දර්ශකයක් බිහිකිරීමට සමත්ව ඇත.

මෙය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. පර්යේෂකයන් විසින් පළමුවෙන් ම අවශ්‍ය ජානමය වෙනස සදහා පරිගණක මොඩලයක් සකසා ඇත. ඉන් පසු එයට අවශ්‍ය ජානය සංශ්ලේෂණය කර එය මදුරුවෙකුගේ ජාන එකතුවට ඇතුළු කර අවශ්‍ය කරනු ලබන ජානය සහිත මදුරුවකු නිර්මාණය කර තිබේ.

මෙය සිදුකර ඇත්තේ මදුරු බිත්තරවලට එන්නත් කිරීමෙනි. මෙය මදුරුවන්ගේ ජාන එකතුවට නිසි පරිදි අන්තර්ගත වන්න් ද යන්න තහවුරු කරගැනීම සඳහා භාවිතා කර තිබෙන්නේ මදුරුවාගේ ඇසේ ඇතිවන වෙනස්කමකි. එනම් මේ වනස් ජානය සමඟ මදුරුවන්ගේ ඇස්වල රතු ෆ්ලොරසන්ට් ප්‍රෝටීන නිපදවන ජානයක් ද ඇතුළත් කර තිබිණි. විශේෂ ආලෝකයක් යටතේ මේ රතු පැහැය මනාව දැකිය හැකි අතර ජානය එන්නත් කරන ලද බිත්තරවලින් ඉපදෙන මදුරු පැටවුන්ගේ ඇස්වල එම රතු පැහැය තිබෙන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ අවශ්‍යකරනු ලබන ජානය මදුරුවාගේ ජාන එකතුවේ තිබෙන බවයි.

පර්යේෂකයන් පවසන්නේ මෙය ඉතාමත් සියුම් ක්‍රියාවලියක් බවයි. ජාන ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙරට ඇත්තේ කැලණිය විශ්වවිදයාලයේ පමණි. කළිඳු රම්‍යමෝසම මේ සඳා බ්‍රසීලයේ ශාන්ත පාවුළු විශ්වවිද්‍යාලයේ මේ සඳහා විශේෂ පුහුණුවක් ද ලබා ඇත. එමෙන්ම ඇමෙරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ චන්න අලුවිහාරේ ද මේ සඳහා පර්යේෂණයට සහය වී තිබේ.

ඔවුන් මෙහි දී සිදුකර ඇත්තේ සෑම මදුරුවකුගේ ම සෛල තුළට ඩෙංගු වයිරසය ආසාදනය වීම වැළැක්වීමේම යාන්ත්‍රණයක් සැකසීමයි. මෙම ජාන වෙනස්කම තුළින් සිදුවන්නේ ඩෙංගු වයිරසයක් මදුරුවාගේ සිරුරට ඇතුළු වූ විට එය හඳුනාගෙන විනාශ කර දැමීමයි. ඒ හේතුවෙන් මදුරුවාට ඩෙංගු ආසාදනය වීම වැළකෙන බැවින් එම මදුරුවන් හරහා මිනිසුන්ට ඩෙංගු ආසාදනය වීමේ හැකියාව ද මඟහැරී යයි.

මදුරු බිත්තර 12,000ක පමණ මෙලෙස ජාන වෙනස්කම් කර ඇති අතර එම බිත්තරවලින් ඉපදුණු මදුරු පැටවුන් කිහිප දෙනකුගේ ඇස්වල අදාල රතුපැහැය දක්නට ලැබී අතැ. ඉන්පසු පර්යේෂකයන් සිදුකර ඇත්තේ එම පැටවුන් අනෙකුත් ස්වභාවික විරුද්ධ ලිංගික මදුරුවන් හා අභිජනනය වීමට අවස්ථාව ලබාදීමයි. ඉන් බිහිවන නව මදුරු පරම්පාරාව ද එම ජානයෙන් යුක්ත බව තවුරු කරගෙන තිබේ. මේ ආකාරයට ඔවුන් මදුරු පරම්පරා 06ක් බිහිකර ඇත.

පර්යේෂකයන් පවසන්නේ ඇසේ වර්ණය දක්නට ලැබුණු පමණින් තම පර්යේෂණය සාර්ථක ද යන්න තහවුරු කරගත නොහැකි බවයි. ඒ සඳහා ඔවුන් තවත් පියවරක් තබා තිබිණි. එනම් මේ අලුතෙන් ජාන වෙනස්කම් සිදුකර බිහිකළ මදුරුවන්ට ඩෙංගු වයිරසය සම්ප්‍රේෂණය කර තිබේ.

ඉන් පසු මේ මදුරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇත. එමෙන්ම මදුරුවා තුළ ඩෙංගු වයිරසයට එරෙහි ප්‍රතිදේහ තිබේදැයි පරීක්ෂා කර බලා තිබේ. මේ පර්යේෂණ දෙකෙන්ම තහවුරු වී ඇත්තේ ජාන වෙනස්කම්වලට ලක්වූ නව මදුරුවන් ඩෙංගු වයිරසයට ප්‍රතිවිරෝධී බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඩෙංගු වයිරසයේ වර්ග 01, වර්ග 02, වර්ග 03 හා වර්ග 04 යන වර්ග 04ක් දක්නට ලැබෙන අතර මෙම මදුරුවන් ඉන් වර්ගය 02 හා වර්ගය 04 යන ඩෙංගු වයිරස ප්‍රභේද දෙකටම ප්‍රතිවිරෝධයක් දක්වයි. මෙලෙස වයිරස ප්‍රභේද දෙකකට ප්‍රතිරෝධයක් දක්වන ජාන වෙනස් කළ මදුරු ප්‍රභේදයක් ලොව නිපදවා ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙම මදුරු ප්‍රභේදය පමණි.

ජාන වෙනස්කම් කළ මදුරුවන්ගේ පරම්පරා 20ක් පමණ මේ වනවිට ඉදිරියට ගෙන ගොස් ඇති අතර ඒ සියලුම මදුරුවන්ගේ මේ ජාන වෙනස්කම දක්නට ලැබෙයි.

මේ පර්යේෂණයේ සාර්ථක ප්‍රතිඵල ලැබීමටනම් තවත් පියවර කිහිපයක් තිබේ.

ජාන වෙනස්කම් කරන ලද සතුන් බාහිර පරිසරයට එක්කිරිමෙන් අදාල ඉලක්කගත කාර්යය හැර වෙනත් වෙනස්කම් සිදුනොවන බවට තහවුරු කරගත යුතුය. ජාතික ජෛව පාලන පනත යටතේ එය ක්‍රියාත්මකය.  දැනටමත් එම පනත අනුව ඇති සියලුම ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කර ඇති අතර ඩෙංගු වයිරසට මර්ධනය හැර වෙනත් වෙනස්කමක් ස්වභාවික පරිසරයට මේ ජාන වෙනස්කළ මදුරුවාගෙන් සිදුනොවන බව තහවුරු වූ පසු තෝරාගත් පරිසරයන්හි සීමිත අත්හදා බැලීම් කිහිපක් සිදුකිරිමට නියමිතය. එය සාර්ථක වූ පසු රටපුරා ඩෙංගු මර්ධනයට මේ ජාන වෙනස්කම් කළ මදුරුවා යොදාගත හැකිවනු ඇත.

මහාචාර්ය රනිල් දහනායක පවසන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බවයි.

ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ඩෙංගු බෝකරන මදුරුවා ම ඩෙංගු මර්ධන සටනට යොදා ගැනීමට කළ පර්යේෂණය අප රටට පමණක් නොව සමස්ත ලෝකයටම වැදගත් වනු ඇත.

කොළඹ විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ මේ පර්යේෂණය පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති අයුරු පහතින්

https://cmb.ac.lk/transgenic-mosquito-resistant/

මෙම පර්යේෂණයට අදාල පර්යේෂණ පත්‍රිකාව

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7549712/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!