spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් විදුහල්පති නාලන්දෙට ? කොළඹට කිරි ගමට කැකිරි තවදුරටත්

පුවත්

විදෙස්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පත්ව ආ තිලක් වත්තුහේවා මෙතෙක් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරු පත්කිරීමේ ක්‍රමවේද සියල්ල උල්ලංඝනය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට පත්කිරීමේ ඇති සූදානමක් හේතුවෙන් රිච්මන් විද්‍යාලයට බරපතල ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබේ.

2016 වර්ෂයේ සිට ස්ථිර විදුහල්පතිවරයකු නොමැතිව තිබූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට තිලක් වත්තුහේවා විදුහල්පති ලෙස පත්ව ආවේ පසුගිය 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී ය. ළමුන් 4200ට වැඩි පාසලක් සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු පත්වීම අනිවාර්ය බැවින් රිච්මන්ඩ් විද්‍යාලයේ එතෙක් පුරප්පාඩු වී තිබූ විදුහල්ති ධූරයට අයදුම්පත්‍ර කැඳවීමෙන් අනතුරුව වත්තුහේවා ඒ සඳහා තෝරාගැණිනි.

මෙය රාජ්‍ය සේවා කොමිසම විසින් කරන ලද ස්ථිර පත්වීමකි. එවැනි පත්වීමක් ලද පුද්ගලකු පත්වීම ලබා මාස කිහිපයකින් වෙනත් පාසලකට ස්ථානමාරුවක් ලැබීම නීත්‍යානුකූල ද යන්න ගැටලුවකි. රාජ්‍ය පරිපාලන සේවයේ ස්ථිර පත්වීමක් ලැබූ පුද්ගලයකු අවම වශයෙන් වර්ෂ 02ක් සේවය කළ යුතුයැයි ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදයේ සඳහන් වේ.

විදුහල්පතිවරයකු පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ දී පත්වන විදුහල්පතිවරයා වසර 03ක කාලයක් විදුහලේ රැඳී සිටිය යුතු බවට මීට ඉහත කොන්දේසියක් තිබුණ ද මෙවර රිච්මන්ඩ් විද්‍යාලය සඳහා විදුහල්පති ධූරයට අයදුම්පත්‍ර කැඳවීමේ දී එව කොන්දේසිය ඉවත්කර කැඳවා තිබීම හේතුවෙන් විදුහ්පති වත්තුහේවාට නාලන්දා විද්‍යාලයට ආපසු යාමේ අවස්ථාවක් උදාවී ඇති බව රිච්මන්ඩ් ආදි සිසුවෝ චෝදනා කරති.

ඔවුන් පවසන්නේ හම්බන්ත‍ොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාව සිටිය දී හම්බන්තොට කලාපය දිවයිනේ උසස්තම අධ්‍යාපන ප්‍රගතිය සහිත ප්‍රදේශයක් බවට පත්කිරීමට අද්විතීය කැපකිරීමක් කළ වත්තුහේවා දක්ෂ පරිපාලකයකු බවයි.

නාලන්දා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ලෙස වත්තුහේවා මහතා කටයුතු කරමින් සිටිය දී එම පාසලට වෙනත් විදුහල්පතිවරයකු පත්කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබුණ ද ආදි සිසුන් ඇතුළු විදුහල් ප්‍රජාවගේ බලපෑම හේතුවෙන් එම විදුහල්පතිවරයා රාජකාරී භාරගත්තේ නැත. ඉන්පසු තිලක් වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයේ පුරප්පාඩු වී තිබූ විදුහල්පතිධූරයට අයදුම්කර සම්මුඛ පරීක්ෂණයකට ද මුහුණ දී එම ධූරයට පත්ව ආවේය.

ඔහු නාලන්දා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුට විදුහල්පති ධූරයේ රාජකාරීවර වැඩ භාර දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ රාජකාරී භාර ගැනීමෙන් මාසයකට පමණ පසු කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධූරයට අයදුම්පත්‍ර කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරිණි. එම ගැසට් නිවේදනය අනුව තිලක් වත්තුහේවා ද එම ධූරයට ඉල්ලුම් කර ඇත. පත්වීම් භාර ගත් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ අවම වශයෙන් වසර 03ක කාලයක් රැඳී සිටිය යුතු බවට තිබූ කොන්දේසිය රිච්මන්ඩ් විද්‍යාලය සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ දී ඉවත්වී තිබීම හේතුවෙන් වත්තුහේවාට එලෙස අයදුම් කිරීමට අවස්ථාව උදාවිය.  

අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග අනුව නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට සුදුසුකම් ලැබූවන් අතර තිලක් වත්තුහේවාට හිමිව ඇත්තේ තුන්වැනි ස්ථානයයි. එහි පළමුවැන්නා ලෙස සුදුසුකම් ලබා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම්වරයෙකි. දෙවැනි ස්ථානය ලැබී ඇත්තේ කොළඹ ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකුටය.

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බලපෑම මත පළමු ස්ථානය ගත් නිලධාරියාට අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු ලෙස පත්වීමක් ලබාදීම ද, දෙවැනි ස්ථානයේ සිටින නියෝජ්‍ය විදුහල්පතිවරයාට අයදුම්පත් කැඳවීමේ තුන්වැනි වගන්තිය අනුව කැමති සේවා ස්ථානයේ පළමුවැනි මනාපයට පටහැනිව දෙවැනි සේවා ස්ථානය ලබා දී තිලක් වත්තුහේවාට අවස්ථාව ලබාදීමට නියමිතය.

ඉතාමත් විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන්නේ තිලක් වත්තුහේවා ඉදිරි දින කිහිපයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට සමු දී කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස රාජකාරී ආරම්භ කරන බවයි. රාජ්‍ය සේවා කොමිසම ද මේ පත්වීම අනුමත කර තිබෙන බව පැවසේ.

සම්මුඛ පරික්ෂණකින් රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස තේරීපත්වූ වත්තුහේවාට තම අපේක්ෂිත රාජකාරී ඉටුකිරීමටවත් කාලයක් නොදී මෙලෙස කොළඹ විදුහලකට කැඳවීමේ දී ඔහු ඉවත්ව යන්නේ නම් රාකාරී භාරදීමට සිදුවන්නේ දැනට සිටින තුන්වැනි ශ්‍රේණියේ නිලධාරියකුට වීම ද ගැටලුවකි. එමෙන්ම රිච්මන්ඩ් විද්‍යාලයට නව විදුහල්පතිවරයකු සොයාගැනීමට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවන්නේ ද 2021 වර්ෂයේ නොවැම්බරයේ දී ය.

රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාලන්දා විද්‍යාලයේ ද ආදි සිසුවෙකි. චමල් රාජපක්ෂ ද රිච්මන්ඩ් ආදි සිසුවෙකි. රජයේ ප්‍රබලයකු වන ගාමිණී සේදර සෙනරත් වැනි ප්‍රබලයන් ද මීට මැදහත් වීමට වරින් වර උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වී තිබේ. රිච්මන්ඩ් ආදි සිසුන් චෝදනා කරන්නේ ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ වුවමනාවට රජයේ ප්‍රබල ඇමතිවරයකුගේ මැදිහත්වීමෙන් තිලක් වත්තුහේවා කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්වන බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට විදුහල්පති තිලක් වත්තුහේවා සම්බන්ධකරගැනීමට ජංගම දුරකථනයට ඇමතුම් ගත්ත ද ඔහු පිළිතුරු දෙන්නේ නැත. නමුත් විදුහල්පතිවරයා තම සමීපතම හිතවතුන් කිහිප දෙනකුට පවසා ඇත්තේ තවත් මාසයක් ගතවීමට පෙර ඔහු නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයේ රාජකාරී ආරම්භකරන බවයි.

රිච්මන්ඩ් ආදි සිසුන් පවසන්නේ ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් ක්‍රීඩාව කොළඹ පාසල්වලට පමණක් සීමා කිරීමට ප්‍රයත්න දරන ඇතැම් කණ්ඩායම්වල කෙනෙහිළිකම් විදදරාගැනීමට ගාල්ලේ පාසල් රැසකට සිදුව ඇති බවයි. වර්තමානය වනවිට 19 පහළ කණ්ඩාය‍මේ සිට ජාතික ක්‍රිකට් කණ්ඩායම දක්වාම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩකයන් රැසක් නියෝජනය කරන අතර ගාල්ලේ මහින්ද, ඇලුවීෂියස්, ධර්මරාජ සහ දේවපතිරාජ වැනි විද්‍යාලයන් ද සැළකූ විට කණ්ඩායමකින් අඩකට වැඩි පිරිසක් මේ පාසල්වලින් බිහිවූ අය වෙති. ජාතික ක්‍රිකට් කණ්ඩායම සැළකූ විට ද වර්තමානයේ තනි පාසලක් නියෝජනය කරන වැඩිම ක්‍රීඩකයන් පිරිසක් බිහිව ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයෙනි. මෙවැනි දක්ෂතා ඇති දරුවන් බිහිකරන පාසල්වල පරිපාලන අවුල් කිරීමට දියත් කර ඇති කුමන්ත්‍රණ මාලාවක තවත් එක් කුමන්ත්‍රණයක් ලෙස රිච්මන්ඩ් ආදි සිසුවෝ මේ විදුහල්පති මාරුව අර්ථ දක්වති.

1 COMMENT

  1. අප දන්නා තරමට ඔහු මෙයට පෙර තිබුණු සම්මුඛ පරීක්ෂණයේදී ද කොළඹ නාලන්දා විද්‍යාලයට තේරී පත්වූ තිබූ අතර එය ඔහුට ලබා නොදී එම ස්ථානය පුරප්පාඩු කර රිච්මන්ඩ් විද්‍යාලය ට යවා ඇත. රිච්මන්ඩ් විද්‍යාලය ට පැමිණීමෙන් පසු පැවති සම්මුඛ පරීක්ෂණයෙන් ද ඔහු දෙදෙවැනියා ලෙස පත්වී ඇති අතර පළමු ස්ථානයේ සිටින නිලධාරියා ඉතාමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර වසර කාලය තුළ විශ්‍රාම ගැනීමට නියමිතය. එලෙසම ඔවුහු 2020 ජනවාරි පළවෙනිදා සිට විශේෂ ශ්‍රේණියට පත් විය යුතු අතර ඒ සඳහා ඔහුට නියමිත තනතුරක් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙන්කර ඇත. අප දන්නා පරිදි වර්තමාන රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා දේශපාලනය පසුපස හෝ වෙනත් වරප්‍රසාද මත තනතුරු ඉල්ලා යන පුද්ගලයෙක් නොවන අතර ඉතාමත් දක්ෂ නිවැරදි කාර්යක්ෂ රාජ්‍ය සේවයේ නිලධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!