spot_img
spot_imgspot_img

සල්ලි බලයට බිලිවෙන සිංහරාජ අලිමංකඩ

පුවත්

විදෙස්

සිංහරාජ වනාන්තරයේ ජීවත්වන අවසන් අලි කිහිප දෙනා ගමන් ගන්නා අලිමංකඩ ලෙස සැළකෙන මාණික්කවත්ත, බෝවිටියතැන්න අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් හෝටල් දෙකක් ඉදිකරමින් පවතී.

මෝනින් සයිඩ් ප්‍රදේශයේ හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව වලන්කන්ද වනාන්තර ප්‍රදේශයට එම අලි ගමන් කරන්නේ මේ ප්‍රදේශය ඔස්සේ බව පරිසරවේදීන් විසින් නිරීක්ෂණය කර තිබේ.  ප්‍රදේශයේ ජීවත්වන

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප්‍රදේශයක් එළි කර ඉන් එක් හෝටලයක් ඉදි කරමින් පවතී. මෙම ඉදිකිරීම සඳහා කලවාන ප්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දී ඇති බව ද දැනගන්නට ඇත. මේ වන විට බැකෝ යන්ත්‍ර භාවිතා කර වනාන්තර එළි කිරීම” භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම සිදුවුවෙමින් පවතී.

අනෙක් හෝටලය ඉදි කරමින් තිබෙන්නේ බෝවිටියතැන්න අලි මංකඩේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයේ අක්කර 8 ක පමණ වනාන්තර භූමියක් එළි කරමිනි. මේ පිළිබඳ සියලු බලධාරීන් කිසිදු තැකීමක් නොකර මුනිවත රැකීම බරපතල ගැටලුවක් වී ඇත.

සිංහරාජ අඩවියේ ජීවත් වන දැනට ඉතිරිව සිටින අලි දෙදෙනාගේ ප්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ” ඇල්ලගම” හන්දියෙකඩේ ගම්මානය” කජුගස්වත්ත” පොතුපිටිය” කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට අලි කඩාවැදී ගම්වාසීන්ට ජීවිත තර්ජන වලට හා වගා බිම් හා දේපොළ හානි කිරීම් සිදුවීමට ද ඉඩ ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.     

සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබිය දී මේ ආකාරයෙන් වනාන්තර එළි කිරීම හා හෝටල් ඉදි කිරීම බරපතල ගැටලුවකි. ඒ සඳහා ව්‍යාපාරිකයන්ගේ මුදල් බලය හා දේශපාලන හයිය හේතුවක් වී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමෙ හේතුවෙන් මෙම ප්‍රදේශයට ලැබෙන ආරක්ෂාවට අමතරව මෙම රක්ෂිත ප්‍රදේශ ආවරණය වන භූමි ප්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතු ව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවධානමක් පවතින කලාපයක් වීම යි.

මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව එම සංවර්ධන ක්‍රියාවලිය මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප්‍රජාවගේ පැවැත්මට මෙන් ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි.

වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් වනාන්තර අක්කර 7 ක් හා 8 ක් එළි කර සිදු කරන මෙම හෝටල් ඉදි කිරීම් වල දී කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැත.

ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශිත ප්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. එමෙන් ම පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කළ යම් ප්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. ඒ අනුව මෙම සියලු වනාන්තර එළි කිරීම් හා හෝටල් ඉදි කිරීම් සිදු කරන්නේ නීති විරෝධීය

මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය සතුය. ජාතික පාරිසරික පනතේ 31 වැනි වගන්තියට අනුව මෙවැනි අවවසර කටයුතු කරන අයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්ම වන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම හෝ යටත් කළ හැකි ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලු පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලු නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන් ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වෙති.

ව්‍යාපාරිකයන් සිංහරාජයේ වනාන්තර හා අලි මංකඩ වනසද්දී නිහඩව සිටීමෙන් සිදු වන්නේ සියලූම ජීවීන්ට භූමියට ඇති අයිතිය ව්‍යාපාරිකයින්ට පැවරීමයs. මේ සියල්ලටම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ.

එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව ව්‍යාපාරිනයන් විසින් සිදු කරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ හෝටල් ඉදිකර ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන අලි – ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාවට අහිමි කරනතුරු ජනතාව ඇස්කන් පියා සිටියි යුතු ද?

ඡායාරූප – ජාතික පාරිසරික පදනමේ පී. කේ. සුරංග බුද්ධික කුමාර

(සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!