නවකයෝ කොල්කටා පිල දිනවති

0
38

නවක ක්‍රීඩකයන්ගේ දස්කම් හමුවේ රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට එරෙහිව ඩුබායිහි දී පැවැති තරඟයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම බදාදා (30) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 175ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 137කට නවතාලීමට කොල්කටා පන්දු යවන්නෝ සමත්වූහ.

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන සුනිල් නරේන්, පැට් කමින්ස් සහ කුල්දිප් යාදව් එක් කඩුල්ලක් බැගින් දවාගනිද්දී නවක ක්‍රීඩකයන් වන ශිවම් මාච්, කම්ලේෂ් නාගර්කෝට් සහ වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මග පෑදූහ. 21 හැවිරිදි මාච් තවමත් ක්‍රීඩා කර ඇත්තේ අයි.පී.එල්. තරඟ 12කට පමණක් වන අතර 20 හැවිරිදි කම්ලේෂ් සහ 29 හැවිරිදි වරුන් ක්‍රීඩා කර ඇත්තේ පිළිවෙලින් අයිපීල්එල් තරඟ 02කට හා 03කට පමණි.

රාජස්ථාන් කණ්ඩායමේ පිතිකරුවන් 07 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යාමට මත්තෙන් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොල්කටා පන්දු යවන්නෝ සමත්වූහ. ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 16ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 21ක් ලබා සිටිය දී දැවී ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් රාජස්ථාන් ‍ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැඳීසිටි ටොම් කරන් පන්දු 36ක දී හයේ පහර 03ක් සහ හතරේ පහර 02ක් සමඟ නොදැවී ලකුණු 54ක් ලබාගත් නමුත් ඔහුගේ උත්සාහය කණ්ඩායම දිනවීමට තරම් ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලාබාල ක්‍රීඩක (21) ශුබ්මන් ගිල් පන්දු 34ක දී ලකුණු 47ක් රැස්කළෛ් හයේ පහරක් සහ හතරේ පහර 05ක් සමගිනි. නිතිෂ් රානා පන්දු 17ක දී හයේ පහරක් සහ හතරේ පහර 02ක් සමඟ ලකුණු 22ක් ද, ඔන්ඩ්රි රසල් පන්දු 14ක දී හයේ පහර 3ක් සමග ලකුණු 24ක් ද රැස්කරමින් කොල්කටා ඉනිම ශක්තිමත් ‍කළහ. ඉනිම නිමාවන තෙක්ම නොදැවී පන්දුවට පහරදුන් ඔයින් මෝගන් පන්දු 23ක දී හයේ පහර ‍02ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34ක් රැසකළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here