“රටේ ආර්ථිකය හොඳයි” – මුදල් ලේකම්

0
87

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම රාජ්‍ය ආදායමෙන් මනාව පැහැදිලි වන බවත් එය පසුගිය අගෝස්තු මාසයේ දී රු. බිලියන 144 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. අද (30) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව කියා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ මෙම වසරේ දී සියයට 1ක පමණ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා මෙම අවස්ථාවේ දී මෙසේ අදහස් දැක්වීය.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,

“දැනට ඇස්තමේන්තු අනුව රජයක් හැටියට අපේ බලාපොරොත්තුව ධනාත්මක වර්ධනයක්. සියයට 1 ක වගේ. මහ බැංකුව කියන්නේ Breakeven කියලා. ඒ කියන්නේ වර්ධනයකුත් නැහැ, පසුබෑමකුත් නැහැයි කියන තත්ත්වය. අපිට තව සම්පූර්ණ කාර්තුවක් තියෙනවා හෙට ඉඳලා. සංචාරක ක්ෂේත්‍රයට අමතරව අනෙක් සෑම ක්ෂේත්‍රයක්ම නැවත හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා.“

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල,

“රජයේ ආදායමෙනුත් ඒක පැහැදිලි වෙනවා. අපි 2019 ගත්තොත් එහෙම මාසෙකට සාමාන්‍ය වශයෙන් බිලියන 150 ක් වගේ තමයි තිබුණේ. කොවිඩ්, අප්‍රේල් මාසයේ දී මේක 70ට විතර බහිනවා. ඒක තමයි සෘණ කියන්නේ, මගේ පැත්තෙන්. අගෝස්තු වෙන කොට අපි 144ට ඇවිල්ලා තියෙනවා. ආදායම කියන්නේ ආර්ථික ක්‍රියාකාරීත්වය කියන එක. ඒක තමයි ආර්ථික වර්ධනයෙන් නැවත පිළිබිඹු විය යුත්තේ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here