ඉදිරි කාලයේ වැවිලිකරුවන්ට විශාල අභියෝගයක්

0
62

සියලූම වැවිලි අංශ නියෝජනය කරන වතු කම්කරුවන්ගේ වඩාත් වැදගත්ම ගැටළුව වන වැටුප් සංශෝධනය පිළිබඳව මෙන්ම රජය විසින් කටුපොල් වගාව සඳහා පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ලබන වසරේ මුල සිට ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PAC) ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක අනාගතයකට මුහුණ දීමට සිදුවනු ඇති බව මෑතකදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 166 වන වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් එහි නව සභාපති භාතිය බුළුමුල්ල මහතා පැවසුවේය.

උත්සව සභාවේ සිටි පිරිස අමතමින් සභාපති බුළුමුල්ල මහතා කියා සිටියේ මෙම තීරණාත්මක ගැටළු විසඳීමට සහ අනාගත වැවිලි කර්මාන්තය සඳහා නව දැක්මක් නිර්මාණය කිරීමේ අරමුණින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය දැන් නව රජය හා එම විෂය සම්බන්ධ අමාත්‍යවරුන් සමඟ ඉතා සමීපව කටයුතු කරන බවයි.

මෙම වැදගත් හා දැවෙන ප‍්‍රශ්න තවදුරටත් කල් නොදමා විසඳිය යුතු බවත්, සියලූ පාර්ශවකරුවන් ඔවුන්ගේ වෙනස්කම් පසෙකට දමා සමස්ත වැවිලි ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් මෙවැනි ගැටළු ස්ථිරවම විසඳිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අවුරුදු 150 ක් පැරණි මෙම කීර්තිමත් ක්ෂේත‍්‍රය දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යාමට අවශ්‍ය නම් තිරසාර වැටුප් ව්‍යුහයක් ක‍්‍රියාත්මක කළ යුතු බවයි.

”අපගේ දැක්ම වන්නේ වතු කම්කරුවන්ට ප‍්‍රතිලාභයක් වන විකල්ප වැටුප් ආකෘතියක් සඳහා කටයුතු ආරම්භ කිරීමටත් පසුව ඉදිරි පරම්පරාවන් සඳහා අපගේ ක්ෂේත‍්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමයි. වතුකරයේ සිට නාගරික ප‍්‍රදේශවලට තරුණ තරුණියන් සංක‍්‍රමණය වීම ද කම්කරුවන්ගේ උග‍්‍ර හිඟයට හේතු වන අතර මෙම ගැටළුව විසඳීමට හා අපගේ ක්ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා ද අප වෙනස් ආකාරයෙන් සිතිය යුතුයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම දිගුකාලීන බාධකවලින් මිදී උපරිම ඵලදායිතාවක් ළඟා කර ගැනීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම අත්‍යාවශ්‍ය බව ද ඔහු පැවසීය.

කොවිඞ්-19 වසංගත තත්වය අතරතුර වැවිලි ක්ෂේත‍්‍රයේ අඛණ්ඩතාවය සහතික කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව රජයට ස්තූතිය පුද කරන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයෙන් ඉවත්ව යමින් සුනිල් පොහොලියද්ද මහතා පැවසීය. අවශ්‍ය සියලූ ආරක්ෂිත සෞඛ්‍ය පියවරයන් අනුගමනය කිරීම සහ ආරම්භයේ සිටම ක්ෂේත‍්‍රයට කිසිඳු අහිතකර බලපෑමක් ඇතිවීමට ඉඩක් නොතිබීම සහතික කිරීම පිළිබඳව සියලූ වතු සමාගම්වලට සහ ඔවුන්ගේ විධායක නිලධාරීන්ට, විශේෂයෙන් වගා විධායක නිලධාරීන්ට සහ වතු කාර්ය මණ්ඩලයට ද ඔහු සිය විශේෂ ස්තූති පුද කළේය.

ශ‍්‍රී ලංකාවේ තේ වගාව වාණිජ වශයෙන් ඇරඹීමට වසර 13 කට පෙර එනම් වර්ෂ 1854 දී ස්ථාපනය කරන ලද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ශත වර්ෂ එකහමාරක් පුරා ශ‍්‍රී ලංකා වැවිලි ක්ෂේත‍්‍රයට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල මෙහෙයක් ඉටු කර තිබේ.

ප‍්‍රාදේශීය වැවිලි සමාගම් 23 ක් ඇතුළුව 180 කට වැඩි සාමාජිකයන් පිරිසක් සාමාජිකත්වය දරන වැවිලිකරුවන්ගේ සංගමය ශ‍්‍රී ලංකාවේ තේ, රබර් ඔයිල් පාම් සහ පොල් යන වැවිලි බෝගයන්ගෙන් 40% කට වඩා වැඩි ප‍්‍රමාණයක් ද ඒ හා සම්බන්ධ කර්මාන්තශාලා 332 ක් ද කළමනාකරණය කරනු ලබයි. එසේම මේ යටතේ සෘජු රැකියා ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් උත්පාදනය කර ඇති අතර ඒ ආශ‍්‍රිතව බිහි වී ඇති වක‍්‍ර රැකියා ද සමගින් සමස්ත වශයෙන් දස ලක්ෂයක් පමණ වන පිරිසකට ජීවනෝපාය සැලසීමට වැවිලිකරුවන්ගේ සංගමයට හැකි වී තිබේ.

එහි අනුබද්ධිත ආයතන සැළකු විට දිස්ත‍්‍රික් වැවිලිකරුවන්ගේ සංගමය විශේෂ භූමිකාවක් ඉටු කරමින් සිටියි. විශේෂයෙන් වැවිලි විධායකයින්ගේ පුද්ගල සංවර්ධනය සඳහා ආරාධිත දේශකයන් ගෙන්වමින් නිරතුරුව පවත්වනු ලබන වැඩමුළු විශාල ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබේ.

ආරම්භයේ සිටම ලංකා වැවිලි කරුවන්ගේ සංගමය රටේ වැවිලි කර්මාන්තය සඳහා විශාල මෙහෙයක් ඉටු කර තිබේ. 1857 දී ඉදිකරන ලද උඩරට දුම්රිය මාර්ග ව්‍යාපෘති පිරිවැයෙන් හතරෙන් එකක වියදමක් දැරීම, 1894 වර්ෂයේදී පළමු තේ ප‍්‍රවර්ධන වැඩසටහන පැවැත්වීම මෙන්ම 1925 දී තේ පර්යේෂණ ආයතනය පිහිටුවීම සඳහා ද විශාල දායකත්වයක් ලබා දීම මේ අතර ප‍්‍රධාන වේ. එසේම, වර්තමාන අභියෝග සම්බන්ධයෙන්ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබේ.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වැවිලි කළමනාකරණ කමිටුව ප‍්‍රාදේශීය වැවිලි සමාගම් 21 හි ප‍්‍රධාන විධායක නිළධාරීන්ගෙන් සමන්විත වේ. වැවිලි ක්ෂේත‍්‍රයේ ගැටලූ සහ අවශ්‍යතා සොයා බැලීම සඳහා මෙම කමිටුව නිරන්තරයෙන් රැස්වන අතර වැටුප්, ඵලදායීතාව, බෝග විවිධාංගීකරණය සහ අනෙකුත් අදාල කෘෂිකාර්මික කටයුතු ඇතුළු ශ‍්‍රී ලංකා වැවිලි කර්මාන්තයේ අඛණ්ඩ ශක්‍යතාව සහතික කරන ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්තිවලට පක්ෂව පෙනී සිටියි. එසේම විවධ වූ ප‍්‍රතිපත්ති මත කර්මාන්තයට සහ එහි පාර්ශවකරුවන්ට ඇතිවන බලපෑම පිලිබඳ දැනුවත් කිරීමද මෙම කමිටුව විසින් කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here