spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා මරණ තුනක් සෞඛ්‍ය අංශ හංගලා

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වූ මරණ තුනක් වාර්තා වුව ද එම මරණ කිසිවක් මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ ලෙස හඳුන්වා නොතිබීම ගැටලුවකි.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට දැනුම් දී ඇත්තේ ද ඉන් එක් මරණයක් පමණි. අනෙක් මරණ දෙකම මෙතෙක් කොරෝනා මරණ ලෙස සළකා නොතිබීම ගැටලුවකි. ඊයේ (29) රාත්‍රී වනවිට මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 195ක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වා‌ර්තා කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ මරණ 03ක තොරතුරු සඟවමිනි. මෙවන් පසුබිමක් යටතේ අනෙක් දිස්ත්‍රික්කවල ද කොරෝනා මරණ නිසි ලෙස වාර්තාවන්නේ ද යන්න ප්‍රශ්න කළ යුතු තත්ත්වයක් උදා වී තිබේ.

ගාල්ලෙන් වාර්තාවන පළමු මරණය සිදුව ඇත්තේ පසුගිය නොවැම්බර් 29 වැනි දින කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී ය. මියගොස් තිබුණේ ගාල්ල මිලිද්දුව පදිංචි අයෙකි. ඔහු මුස්ලිම් ජාතිකයකු බැවින් ඔහුගේ ඥාතීන් දේහය ආදාහනය කිරිමට විරෝධය දක්වමින් සිරුර හඳුනාගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබිණි. මෙම සිරුර සම්බන්ධයෙන් rata.lk අප විසින් කරන ලද විශේෂ හෙළිදරව්කිරීම්වලින් පසු එම මරණය කොරෝනා ආසාදිතය මරණයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇතත් මෙරට සිදුවූ කොරෝනා මරණ ලේඛනයට එය තවමත් ඇතුළත් කර නැත. මේ මරණය සිදුවී මාසයක් ගතවනතුරුම කළුබෝවිල ශික්ෂණ රෝහ‌ලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ඉන් පසු වාර්තාවන්නේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ගාල්ලේ මිලිද්දුව මරණයයි. පසුගිය 19 දා කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු බැවින් ඔහුගේ දේහය ආදාහනය කිරීමටම එරෙහිව ඥාතීන් අධිකරණයේ පිහිට පැතුව ද අධිකරණයෙන් ලැබුණු නියෝගය අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නැවත ලිඛිත උපදෙස් ලබාගෙන දේහය 24 වැනි දා දඩල්ලේ දී ආදාහනය කරන ලදී.

මේ දේහය පසුගිය 24 වැනි දා ආදාහනය කරන ලද බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා හොඳින්ම දන්නා කරුණක් වුව ද ඔහු මෙතෙක් ශ්‍රී ලංකාවේ මියගිය පුද්ගලයන්ගේ ලේඛනයට එම මරණය ද ඇතුළත් කර නැත.

මෙම සිරුර සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින අතරතුර ගාල්ල දිස්ත්‍රික්කයේ තුන්වැනි කොරෝනා මරණය සිදුවූයේ අහුංගල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. කොරෝනා ආසාදනය වී දින 14ක් රෝහල්ගත වී සිට පැමිණි පුද්ගලයකු නිවසේ දී මියගොස් තිබූ අතර සිරුරෙන් ලබාගන්නා ලද සාම්පල පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීමෙන් අනතුරුව ඔහු මියයනවිටත් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි.

කෙසේ වෙතත් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බලපිටිය රෝහලෙන් සිරුර ඥාතීන්ට භාර දී තිබූ අතර ඥාතීන් සිරුර පුද්ගලික රථයකින් ආදාහනාගාරයට ගෙනගොස් ආදාහනය කර තිබිණි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එහි යනවිටත් සිරුර ආදාහනය වෙමින් තිබුණු බව වාර්තාවිය. ඒ මරණය ද කොරෝනා ආසාදිත පුද්ලයකුගේ මරණයක් වුව ද සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දෛනිකව මෙරට මරණ සම්බන්ධයෙන් නිකුත් කරන ලේඛනයට එම මරණයත් ඇතුළත් කර නැත.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ කොරෝනා මරණ තුනක් ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ දක්වා රටෙන් වසන් කර ඇති බවයි. ඔහු කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කරන බව ඉන් පෙනී යයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙලෙස කොරෝනා ආසාදිත මරණ තුනක් සඟවාගෙන සිටින අතරතුර රට පුරාම තවත් රෝහල් ගණනාවකින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත මරණ විශාල සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු සඟවා ඇති බවට අප වෙත වාර්තා ලැබෙමින් පවතී.

මේ පිළිබඳ rata.lk අපි නිරන්තර අවධානයෙන් සිටින්නෙමු.

ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ මරණ සම්බන්ධ තොරතුරු මෙතෙක් නිකුත් නොකිරීම පිළිබඳ දැනගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇමතුව ද එම කාර්යාලයේ නිලධාරී නිලධාරිනියන් පවසන්නේ ඔහු රැස්වීම්වල සිටින බැවින් තොරතුරු ලබාගත නොහැකි බවයි. එමෙන්ම මරණ සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ලබාදීම සෑම දිනකම සිදුකරන බවත්, එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවත් ඔවුහු කියති.

අප මේ සඳහා පදනම් කරගෙන ඇත්තේ රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් සිය අත්සනින් නිකුත්කරනු ලබන මරණ පිළිබඳ ලේඛනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!