spot_img
spot_imgspot_img

කොරෝනා නීති කඩන්න රජයේ වෛද්‍යවරු හේතු සොයති. ප්‍රශ්නගත වෛද්‍යවරයා GMOA සාමාජිකයෙක්

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිත රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමේ දී ගාල්ලේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරමින් සිටින්නේ තම හිතවතුන්ට හා සාමාන්‍ය ජනතාවට ආකාර දෙකකින් වීම බරපතල ගැටලු සහගත තත්ත්වයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

මේ වනවිට ගාල්ලේ සාමාන්‍ය ජනතාව ආශ්‍රිතයන් වූ විට ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග රෝගීන්ගේ ආශ්‍රිතයන්වන ඇතැම් වෛද්‍යවරුන්ට ගන්නා බවක් පෙනෙන්නට නැත. වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද ගාල්ල වසංගත රෝග විද්‍යා අංශය අනුගමන කරන්නේ තම වෘත්තීය සංගමයේ සාමාජිකයන් කෙරෙහි ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් සහ තම වෘත්තීය සංගමයේ සමාජිකයන් නොවන අයට වෙනත් ප්‍රතිපත්තියක් වශයෙනි. මේ සඳහා උදාහරණ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාව දක්නට ලැබේ.

පසුගිය දා බද්දේගම බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු ඇය තෙවරක්ම ප්‍රතිකාර ලබාගත් හික්කඩුවේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයකු නිරෝධායයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළ අවස්ථාවේ දී අදාල වෛද්‍යවරයා එය මඟහැර තිබේ. එසේ වුව ද ඔහු ඊයේ (06) උදය වරුවේ ද එම ආසාදිත සිසුවිය තෙවරක්ම පැමිණ ප්‍රතිකාර ගත් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කර රෝගී සත්කාරක සේවා පවත්වාගෙන ගොස් ඇත. ඔහු එම සිසුවියගේ ආශ්‍රිතයකු වූ පසුව ද තමන්ගේ සේවා ස්ථානය වූ කරාපිටිය ශික්ෂණ රෝහලට ද සේවය සඳහා වාර්තා කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

මේ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දක්වා ඇති කරුණු අප විසින් ප්‍රකාශයට පත්කළ පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා අප මාධ්‍යවේදි ප්‍රේමතිලක ද සිල්වාට කියා ඇත්තේ ගාල්ල වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකරන ලද අනතුරක් වීමට ඇති හැකියාව පිළිබඳ වූ අවදානම් තක්සේරුව ( Risk assessment ) පරීක්ෂණයේදී මෙම වෛද්‍යවරයා සහ ඔහුගේ අදාල චිකිත්සාගාරය අනතුරක් සිදු වීමට ඇති හැකියාවේ අවම මට්ටමක පවතින හෙයින් මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය නොමැති බවට ගාල්ල වසංගත රෝග විද්‍යා අංශය තීරණය කළ හෙයින් අදාළ වෛද්‍යවරයා නිරෝධානය සිදුනොකළ බවයි.

ඒ අනුව අදාල මෙම වෛද්‍යවරයා නිරෝධායනය නොවූ බවට පළ වන මාධ්‍ය වාර්තා වල සත්‍යතාවයත් නොමැති බවද එම කරුණින් හික්කඩුව ප්‍රදේශයේ කොරෝනා මර්ධන කටයුතු වලට බලපෑමක් සිදු නොවන බව ද වෛද්‍ය මංජුල ද සොයිසා වැඩිදුරටත් පවසා ඇත.

ඔහුගේ පැහැදිලි කිරීමෙන් පසු අප නැවත වතාවක් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඒ පිළිබඳ විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ එවැනි අවදානම් තක්සේරුවක් මේ දක්වාම සිදුකර ඇතැයි ඔවුන්ට නිල වශයෙන් වාර්තා කර නොමැති බවයි.

නිරෝධායනයට යොමුවීම මඟ හරිමින් අද (07)  දක්වාම රජයෛන් සිදුකරන (පුද්ගලික අංශයෙන් සිදුකර ඇත්දැයි දන්නේ නැත) පීසීආර් පරීක්ෂණයක්ට ඉදිරිපත් වී නොමැති වෛද්‍යවරයා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි ඔහු එම සංගමයේ සාමාජිකයයෙක් වන අතර අප දන්නා පරිදි අදාල වෛද්‍යවරයා මීට ඉහත එම සංගමයේ දිස්ත්‍රික් මට්ටමේ තනතුරක් ද හොබවා ඇත.

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මෙම වෛද්‍යවරයා නිරෝධායනයට කළ යුතු බවට අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට උපදෙස් ලැබී තිබුණු බවත් ඔහු ඒ සඳහා සූදානම් වන අවස්ථාවේ දී යළි උපදෙස් ලැබී ඇත්තේ “ නෑ ඒ වෛද්‍යවරයා අර සිසුවිය ආපු වෙලාවල්වල දී සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම ඇඳගෙන ඉදලා තියෙන්නේ ඒ නිසා එයාව නිරෝදායනය කරන් ඔ්න නැහැ” යනුවෙන් යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය සොයිසාගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් සිදුකර ඔහුට අවදානම අඩුයැයි යනුවෙන් බැවින් අපි මේ අවදානම් තක්සේරු වාර්තාව පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයෙන් විමසූවෙමු. එවිට අපට ඉතාමත් කාරුණිකව කරුණු පැහැදිලි කළ වෛද්‍යවරයකු කියා සිටියේ මේ සිද්ධිය ගැන තමන්ට කිසිවක් කිමට නොහැකි වුව ද තක්සේරු වාර්තාවක් ලබාගන්නා ආකාරය ගැන කිව හැකි බවයි. ඔහු ඒ ගැන මෙසේ කීවේය.

“ඔව් අවදානම් තක්සේරු කිරිමක් කරනවා. වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි ඒක සෑම කෙනෙකුටම කළ හැකියි. එහි දී අපි ආශ්‍රිතයාගෙන් සහ රෝගියාගෙන් දෙන්නාගෙන්ම ප්‍රශ්න මාලාවක් අහනවා උදාහරණයක් විදියට අපි අහනවා රෝගියාගෙන් තමන්ට ඒ පුද්ගලයා ආශ්‍රිතයකු වූ අවස්ථාවේ දී එම පුද්ගලයා මුඛ ආවරණයක් පැළඳ සිටියා ද ? කොතරම් වේලාවක් හිටියා ද ? සිරුර ස්පර්ශ කලා ද ? කියන ප්‍රශ්න. ඒ වගේම ආශ්‍රිත වූ පුද්ගලයාගෙනුත් ඒ විස්තරම අහනවා. ඔහු හිටපු ආකාරයත් තමන් හිටපු ආකාරයත් මොනව වගේ ද කියා. මේ විස්තර දෙකම සමපාත වනවානම් ඒ අවස්ථාවේ දී අවදානම් නැහැ කියා තක්සේරුවක් කළ හැකින් කිසිම ගැටලුවක් වන්නේ නැහැ.”

බෝපේ පෝද්දල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබී ඇති උපදෙස වූයේ අදාල ප්‍රශ්නගත වෛද්‍යවරයා සම්පූර්ණ ආරක්ෂිත ඇඳුමක් පැළඳ ආසාදිත සිසුවිය පරීක්ෂාකර ඇති බැවින් ඔහු නිරෝදායනය කිරීම අවශ්‍ය නොවන බවයි. අදාල ආසාදිත සිසුවිය ඇගේ තොරතුරු ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පවසා ඇත්තේ මෙවැනි කතාවකි.

“මම හික්කඩුවේ වෛද්‍ය මධ්‍යස්ථානයට තුන් වතාවක් ගිහින් වෛද්‍යවරයා හමුවුණා. ඒ වෙලාවේ වෛද්‍යවරයා පැළඳ සිටියේ මුඛ ආවරණයක් විතරයි. මගේ බඩේ කැක්කුමක් තිබුණු නිසා මගේ බඩ පරීක්ෂා කරද්දී  වෛද්‍යවරයා අත් ආවරණ පැළඳූ බව මතකයක් තියෙනවා”

මේ සිසුවියගේ ප්‍රකාශයත් වෛද්‍යවරයා සම්පූර්ණ ආරක්ෂිත ඇඳුමක් පැළඳ සිටියාය යන ප්‍රකාශයත් එකිනෙකට පරස්පරය. එසේ නම් රජය පිළිගත් අවදානම් තක්සේරුව අනුව මේ ආශ්‍රිත වෛද්‍යවරයා හා ආසාදිත සිසුවියගේ ප්‍රකාශ අනුව වෛද්‍යවරයා අවම වශයෙන් දින 14 නිරෝධායනට ලක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධාරණය කරති.

මේ වෛද්‍යවරයා පදිංචි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටින ගාල්ලේ කීර්තිමත් වෛද්‍යවරයකු වූ සඳරැස් ප්‍රේමතිලක විසින් පවත්වාගෙන යන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට අසාදිතයකු පැමිණීම හේතුවෙන් ඔහු දින 14ක නිරෝධායන කාලයකට යොමු කර තිබිණි.

රත්ගම සිසුවියට ආශ්‍රිත වූ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යාවජීව ක්‍රියාකාරී සාමාජිකයකු වවු ද වෛද්‍ය සඳරැස් ප්‍රේමතිලක යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහි වූවෙකි. ඔහුගෙන් තොරතුරු විමසූ විට ඔහු මෙසේ කිවේය.

“ ඔය සංගමය වැඩ කරන්නේ තම තමන්ට හිතෙන හිතෙන විදියට. එයාලගේ සාමාජිකයන්ට, නිලධාරීන්ට එක විදියක්. අපිට තව විදියක්. මට නම් කිසිම රිස්ක් ඇසෙස්මන්ට් එකක් කළේ නෑ. මට කිව්වා ආසාදිතයෙක් ඇවිත් තිබෙනවා ඒ නිසා වහාම නිරෝධායනය වෙන්න කියලා. පීසීආර් පවා ගත්තා. මම ඉතින් ඒ සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපැද්දා. ඔවුන් කියපු ආසාදිතයා මගෙන් බෙහෙත් ගන්න එනවිටත් මා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරපු කෙනෙක්. නමුත් මම නිරෝධායනය වෙන කාලයේ දී මා මිය ගිහින් කියලා පවා ඇතැම් වෙද්‍යෙවරු ප්‍රචාරය කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන ඇත්තේ කණගාටුවක්.”

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෙද්‍යෙවරුන්ට හා අනෙක් වෛද්‍යවරුන්ට සලකන්නේ වෙනස් ආකාරයකින් බව ඉන් පැහැදිලි වේ.

බො‌පේ පෝද්දල පදිංචි වෛද්‍යවරයකු හමුවට ආසාදිත සිසුවියක් තුන් වතාවක් ගොස් ප්‍රතිකාර ලබා ගෙන තිබුණ ද අදාල වෛද්‍යවරයා නිරෝධායනයට හෝ යොමු නොකරන පසුබිමක් තුළ අපි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මීට පෙර ගත් ක්‍රියාමාර්ග ද සඳහන් කළ යුතුය.

වටරැක ප්‍රදේශයේ පදිංචි එක්තරා පුද්ගලයකු ගම්පහ තම හිතවත් නීතිඥයකු හමුවි යළි නිවසට පැමිණ තිබිණි. ඒ පැමිණි ඔහු ගාල්ල නගරයේ ප්‍රධාන වෙළෙඳ සැල් තුනකට ගොස් ඇත. ඔහු හමුවූ නීතිඥවරයා කොරෝනා ආසාදිත බව දැනගත් වහාම අදාල නීතිඥවරයා නිරෝධායනය කිරීමට කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශය එම ආශ්‍රිතයා ගොස් තිබූ ගාල්ලේ ව්‍යාපාරික ස්ථාන තුනම තාවකාලිකව වසා දමා ඒ ස්ථාන සියල්ල විෂබීජහරණයට කටයුතු කළේය. ඒ ආශ්‍රිතයකු පැමිණීම හේතුවෙන් පමණි.

නමුත් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ආශ්‍රිතයකු හා සෘජු සම්බන්ධතාවක් පැවති බව දැන දැනත් ඔහු නිරෝධායනය නොකර සිටීමට ඔවුහු හේතු දක්වති.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම සාමාජිකයන් වෙනුවෙන් උපරිමයෙන් ම පෙනී සිටින වෘත්තීය සමිතියක් බැවින් ඔවුන් මෙලෙස ක්‍රියාත්මක වන බවයි.

ගාල්ල වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ නිසි බලධාරියාය. ඔහු ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වුව ද මේ පිළිබඳ විස්තර දැනගැනීම සඳහා අප ඔහු ඇමතීමට උත්සාහ ගත්ත ද ඔහු කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දැක්වූයේ නැත. මීට දින කිහිපයකට පෙර ඔහු ඇමතූ විට ඔහු කියූ ප්‍රකාශයක් මෙහි සටහන් කරන්නෙමු.

“ඔයා වෛද්‍යවරුන්ට අවශ්‍ය දේවල් ලියන්නේ නැහැනේ. ඒ නිසා අපි ඔයාට මොනවත් කියන්නේ නැහැ. බොහොම කණගාටුයි.” රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වෙනුවෙන් නිරන්තරව පෙනී සිටින ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥවරයා සිතා සිටින්නේ මාධ්‍යවේදීන් යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශ ලිවීමට සිටින අතවැසියන් කියා විය යුතුය.

ඔහු කිසිවක් නොකීව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරායගේ ප්‍රකාශය මෙහි සටහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!