spot_img
spot_imgspot_img

COVID-19 එන්නත් ලොව සැමට ලබා දීමේ දැවැන්ත අභියෝගය

පුවත්

විදෙස්

නාලක ගුණවර්ධන [email protected]

COVID-19 කොරෝනා වසංගත රෝගයෙන් බේරී සිටීමට එන්නතක් නිපදවීමට ලොව වටා සිටින වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් දුසිම් ගණනක් 2020 වසරේ මුල පටන්ම උත්සාහ කරනවා. 

මේ සමහර ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵල සාර්ථක වෙමින් ඇති බවට මෑත දිනවල මාධ්‍ය වාර්තා කළා. එහෙත් වසංගත මර්ධධනය සඳහා එන්නතක පිහිට ලබන්නට තව මාස කිහිපයක් ගත වීමට හොඳටම ඉඩ තිබෙනවා. ඒ වන තුරු දැනට අනුගමනය කරන ආරක්ෂිත උපක්‍රම සියල්ල දිගටම පවත්වා ගැනීම ඉතා වැදගත්.

රෝගයකට එරෙහිව එන්නතක් නිපදවීම භාරදූර කටයුත්තක්. සාමාන්‍යයෙන් වසර 8 – 10 ගත වන මේ කාරිය, අධිවේගීව සිදු කළත් අවම වශයෙන් අවුරුද්දක් හෝ අවුරුදු එක හමාරක් ගත වනවා. අප මේ ගත කරන්නේ එම අධිවේගී එන්නත් නිෂ්පාදන කාල පරාසයයි.

ඉතා සරලව කිවහොත් ප්‍රතිශක්තිකරණය (immunization) යනු බෝවන රෝග වැළඳීම වළක්වා ගැනීමට ශරීරයේ කල් තබා ප්‍රතිශක්තියක් ජනනය කර තැබීමේ උපක්‍රමයක්.

ප්‍රතිශක්තිකරණ එන්නත් දීමේදී කරන්නේ ඉතා අඩු මාත්‍රාවකින් අදාළ රෝග කාරකය සිරුරට හඳුන්වාදීමයි. එවිට ස්වභාවිකව ජනනය වන ප්‍රතිදේහ, සිරුරේ කලක් රැඳී පවතිනවා. අදාළ රෝග කාරකය සිරුරට පිවිසි විටෙක එයට එරෙහිව වහාම ප්‍රතිරෝධයක් මතු කොට එම රෝගයෙන් බේරීමට හැකියාව ලබා දෙනවා.

ප්‍රතිශක්තිකරණ සංකල්පය නූතන ලෝකයේ අත්හදා බලා මුල්වරට එන්නතක් නිපදවූයේ ඉංග්‍රීසි ජාතික වෛද්‍ය එඩ්වඩ් ජෙනර්. වසූරියට එරෙහිව 1796දී ඔහු එන්නතක් හඳුන්වා දුන්නා. ප්‍රංශ විද්‍යාඥ ලුයී පාස්චර් 1885දී ජලභීතිකාවට එරෙහිව එන්නතක් නිපදවීම ඊළඟ සන්ධිස්ථානයයි. 20 වන සියවසේ දී බෝවන රෝග රාශියකට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දෙන එන්නත් හඳුන්වා දෙනු ලැබුවා.

එන්නත් හරහා මහජන සෞඛ්‍යය සුරැකීම නිහඬව විප්ලවයක්. වළක්වා ගත හැකි බෝවන රෝගවලින් මියයාමේ අවදානමට ලක් වූ මිලියන ගණනක් ජනයාගේ ජීවිත බේරා ගන්නටත් රෝග ප්‍රතිකාර සඳහා මහජන සෞඛ්‍ය සේවාවලට වැයවන වියදම අඩු කර ගන්නටත් සියවස් දෙකක් තිස්සේ එන්නත් උපකාරී වනවා.

සියවස් දෙකක් පුරා ප්‍රතිශක්තිකරණය සහ වෙනත් මහජන සෞඛ්‍ය පියවර නිසා ලෝකයේ බෝවන රෝග ගණනාවක් පාලනය කිරීමට හැකිව තිබූ අවස්ථාවකයි අනපේක්ෂිත ලෙස COVID-19 වසංගතය මතු වූයේ. 

එය 2019 නොවැම්බර් මාසයේ චීනයෙන් පටන්ගෙන, එරට රජය එය නිසි ලෙස කළමනාකරණය නොකල නිසා ඉක්මනින් රට පුරාම විහිද ගොස් ඉන්පසු 2020 වසර මුලදී ලෝකයේම පැතිර ගියා. මෙය ගෝලීය වසංගතයක් ලෙස 2020 මාර්තු 11 වැනි දා ප්‍රකාශයට පත්කළ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), වසංගත ප්‍රතිචාර ගෝලීය මට්ටමෙන් සම්බන්ධීකරණය කරනවා.

ශ්‍රී ලංකාවේ එන්නත් සහ බෝවන රෝග පිළිබඳව පර්ෂදය (Vaccine and Infectious Diseases Forum of Sri Lanka, VIDFSL) නමැති විද්වත් සංවිධානය මීට දශකයකට පමණ පෙර වෛද්‍ය විශේෂඥයන් පිරිසක් විසින් පොදු උන්නතිය සඳහා පිහිටුවා ගත් එකමුතුවක්.

2020 නොවැම්බර් 20 වන දා VIDFSL සභාපති වෛද්‍ය එච්. ටී. වික්‍රමසිංහගේ මුලිකත්වයෙන් තතු පැහැදිලි කිරීමේ වැදගත් ප්‍රකාශයක් ඔවුන් නිකුත් කළා.

COVDI-19 රෝගයට එරෙහිව එන්නතක් ලඟදීම ලැබෙනු ඇතැයි මෙරට ඇතැම් දෙනා අපේක්ෂා කළත් මෙහි යථාර්ථය තේරුම් ගැනීම අවශ්‍ය බව ප්‍රකාශයේ අවධාරණය කැරෙනවා.

“Pfizer සහ Moderna යන ඖෂධ නිෂ්පාදන සමාගම් තමන් නිපදවා තිබෙන එන්නත් 95% කාර්යක්ෂම බව පවසනවා. එහෙත් නව එන්නත් නිපදවීමේදී පසු කළ යුතු පර්යේෂණාත්මක තුන්වන අදියරේ තවමත් මේ එන්නත් තිබෙනවා. විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල විද්වත් ප්‍රජාව අතර බෙදා ගන්නේ සහ පිළිගැනීමට ලක්වන්නේ විද්‍යාත්මක පර්යේෂණ සඟරාවල එම දත්ත පළ කළ පසුවයි. මේ දක්වා එසේ සිදු කොට නැති අතර, ලොව පිළිගත් කිසිම (වෛද්‍ය හෝ සෞඛ්‍ය) සංවිධානයකින් මේ එන්නත් නිල වශයෙන් පිළිගෙන නැහැ” යයි ප්‍රකාශයේ කියවෙනවා. 


එන්නත් නිපදවීම, ඒවාට නියාමන අනුමැතිය ලබා දීම, බෙදා හැරීම සහ භාවිතය පිළිබඳව ලොව පිළිගත් වෛද්‍ය සම්ප්‍රදායන් තිබෙනවා. මේ හදිසි වසංගත අවස්ථාවේ වුවද මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. එසේ කියන්නේ ඇයි?

කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් මුළුමනින්ම සාර්ථක වන බවට සහතික කිරීමට වෛද්‍ය විද්‍යාවට බැහැ. අති බහුතරයක් අවස්ථාවල එන්නත් හරහා බෝවන රෝගවලට එරෙහිව ආරක්ෂාවක් ලබා දෙන නමුත් ඉඳහිට විටකදී එම එන්නත් නිසා අතුරු බලපෑම් ඇතිවන අවස්ථා ද තිබෙනවා. 

එන්නතක් භාවිතයට ගැනීමට පෙර පුළුල් ලෙස සායනික අත්හදා බැලීම් කළ යුත්තේ අතුරු බලපෑම් මොනවාද යන්න තේරුම් ගැනීමට සහ ඒවා හැකි තාක් අවම කිරීමටයි. කඩිමුඩියේ එන්නතක් නිපදවා භාවිතයට ගෙන ටික කලකින් අතුරු බලපෑම් පිළිබඳව ආන්දෝලනයක් ඇති වුවහොත් එම එන්නත ගැන මෙන්ම සමස්ත ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පිළිබඳව ද මහජන විශ්වාසය පළුදු විය හැකියි.

VIDFSL නිකුත් කර ඇති ප්‍රකාශයෙහි වැදගත්ම විග්‍රහය මෙසේ අනුවාදය කළ හැකියි:

“2021 මාර්තු හා අප්‍රේල් පමණ වන විට තම එන්නත භාවිතයට ගැනීමට සූදානම් වනු ඇතැයි Moderna සමාගම කියා තිබෙනවා. එහෙත් ඒ තරම් ඉක්මනින් ශ්‍රී ලංකාවේ එය භාවිතයට ඉඩක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකියි. එයට ප්‍රධාන හේතුව, මෙම එන්නත් මිලියන ගණනක් ප්‍රමුඛතා මට්ටමෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ රටවලට ලබා දීමට දැනටමත් එම සමාගම ගිවිසුම්ගත වී සිටීමයි.

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට එසේ මහජන මුදලින් අත්තිකාරම් ගෙවා කල්තබා එන්නත් වෙන්කර ගැනීමට ඇති හැකියාව ඉතා සීමිතයි. එසේම එන්නත පිළිබඳ සියලු විද්‍යාත්මක දත්ත ප්‍රකාශයට පත් කරන තුරු ඖෂධ නියාමන බලධාරීන්ට එය භාවිතයට අනුමැතිය දිය නොහැකියි.

“ශ්‍රී ලංකාවට සුදුසු COVID-19 එන්නතක් ලබා ගත හැකි විශ්වාසදායකම මාර්ගය වන්නේ WHOමාස කීපයකට පෙර එන්නත් පිළිබඳ පර්යේෂණ කරන විද්වත් කණ්ඩායම් සහ මුල් පෙළේ ඖෂධ සමාගම් සමග එක්වී ඇති කර ගත් COVAX (COVID-19 Vaccine Global Access Facility) සන්ධානයයි.” 

සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්: https://cmb.ac.lk/statement-vaccine-infectious-diseases-forum-of-sri-lanka/

අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවලට සාධාරණ ලෙසින් නිසි ප්‍රමිතියේ COVID-19 එන්නත් ලබා දීම COVAX සන්ධානයේ අරමුණයි. ශ්‍රී ලංකාව ද ඇතුළුව එම ගණයට අයත් රටවල් 92ක් හඳුනාගෙන තිබෙනවා. එකී රටවල ප්‍රමුඛතා ලැබිය යුතු කණ්ඩායම්වලට හැකි ඉක්මනින් එන්නත් ලබා දීමට සැලසුම් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ජනගහනයෙන් 20% එන්නත් කිරීමට සෑහෙන තරම් එන්නත් ප්‍රමාණයක් වෙන් කරන බවට මෙම සන්ධානය WHO හරහා ප්‍රතිඥා දී ඇතත්, එම එන්නත් මෙරටට ලැබීමට 2021 අග දක්වා කල් යා හැකියි.  එසේම එම එන්නත් සඳහා ගෙවීමක් කල යුතුයි. සන්ධානය ප්‍රසිද්ධියේ කියා ඇත්තේ එක මාත්‍රාවකට අමරිකානු ඩොලර් 20ට

(රුපියල් 3,750 පමණ) මිලෙන් අඩු එන්නත් ඔවුන් ලබා ගන්නා බවයි.

වසංගතයට එරෙහි එන්නතක් ගැන මාධ් වාර්තා පල වූ පමණට එන්නත කඩිමුඩියේ ලබන්නට නොහැකි බව අප තේරුම් ගත යුතුයි. පර්ෂදය අවධාරණය කරන්නේ මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම, පුද්ගලයන් අතර දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිතර සහ නිසි ලෙස අත් සේදීම ඇතුළු වෙනත් වෛරස ආරක්ෂණ උපක්රම සියල්ල දිගටම ප්රගුණ කළ යුතු බවයි.

ඉදිරි මාස කිහිපය තුළ භාවිතයට ආරක්ෂිත යයි ඖෂධ නියාමන ආයතන විසින් පිළිගනු ලබන එන්නත්, හැකි ඉක්මනින් ලෝකයේ රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක සිටින බිලියන 7.5 මානවයන් සැමට ලබා දීම ඉතිහාසයේ දැවැන්තම සංවිධානාත්මක අභියෝගය (logistical challenge) වනු ඇතැයි මහජන සෞඛ්‍ය විශේෂඥයන් කියනවා.

එන්නත මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම යුරෝපය, උතුරු ඇමරිකාව, ජපානය, 

චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල කළ හැකියි.  ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඒ රටවල තිබෙනවා. ලොකුම අභියෝගය එන්නත් නිපදවන තැන පටන් ඒවා සිරුරට විදින තුරු බෙදා හැරීමේ සමස්ත සැපයුම් දාමය (supply chain) පුරාම එන්නත්වල ප්‍රතිශක්තිකරණ ගුණය නොනැසෙන පරිදි පවත්වා ගැනීමයි.

දියුණු වන රටවල නගරවලින් දුර බැහැර ප්‍රදේශවල සිටින ජනයා වෙතට එන්නත් ගෙන යාම ලේසි නෑ. එන්නත්වල සාරය රඳා පවතින්නේ අඩු උෂ්ණත්වයක තිබෙන තාක් පමණයි.

දැනට විවිධ රෝගවලට එරෙහිව දෙන එන්නත් බහුතරයක් සෙන්ටිග්‍රේඩ් අංශක 2 – 8 අතර පවත්වා ගත යුතුයි. (සාමාන්‍ය ගෘහස්ථ ශීතකරණයක උෂ්ණත්ව පරාසය මෙයයි.) ඝර්ම කලාපීය රටවල දහවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 – 40 අතර දෝලනය වනවා. ඒ කියන්නේ එන්නත් බෙදා හැරීමට ශීතකරණ දාමයක් (cold chain) අත්‍යවශ්‍ය බවයි. 

ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල තාමත් විදුලි බලය නොමැති හෝ තිබුනත් නිසි ලෙස විදුලි සැපයුමක් නැති බොහෝ ප්‍රදේශ තිබෙනවා. මහජන සෞඛ්‍ය සේවා ජාලයන් හරහා එන්නත් බෙදා හරින විට ප්‍රවාහනයේදීත් ගබඩා කර තැබීමේදීත් පැය කිහිපයකට හෝ ශීතකරණය අඩාල වුවහොත් එන්නත්වල සාරය යටපත් විය හැකියි.

Pfizer සමාගම දියුණු කොට ඇති COVID-19 එන්නත සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 70 පමණ ඉතා අඩු උෂ්ණත්වයක් ද, Moderna එන්නතට සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 20 අඩු උෂ්ණත්වයක් අවශ්‍යයයි. පර්යේෂණාත්මක මට්ටමේ තිබෙන සෙසු එන්නත් සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක 2 – 8 අතර පරාසයක් අවශ්‍ය බව මේ දක්වා එම පර්යේෂණ කණ්ඩායම් නිකුත් කර ඇති තොරතුරුවලින් පෙනෙනවා.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ AstraZeneca ඖෂධ සමාගම එක්ව නිපදවා තිබෙන එන්නත මෙන්ම චීනයේ Sinopharm සහ SinoVac සමාගම් නිපදවා ඇති එන්නත් ද පවත්වා ගත යුත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක 2 සහ 8 අතරයි.

එන්නත් සඳහා සීතල දාමය පවත්වා ගැනීම දියුණු රටවල එතරම් ප්‍රශ්නයක් නොවූවත් දියුණු වන රටවල බොහෝ ප්‍රදේශවල මෙය විශාල අභියෝගයක් වනු ඇති. එවන් රටවල වෙනත් රෝගවලට එරෙහිව කරන ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලදී ප්‍රධාන සීමාකාරී සාධකයක් වී ඇත්තේ ද මෙයයි. 

තාක්ෂණයේ දියුණුවත් සමග, වැඩි වේලාවක් ශීතකරණ මට්ටම රඳවා ගත හැකි අතේ ගෙන යන (5 – 10 kg අතර බර ඇති) ශීත පෙට්ටි වෙළඳපොළට පැමිණ තිබෙනවා. එයින් සමහරක් බැටරි බලයෙන් ක්‍රියා කරන අතර තවත් ඒවා සූර්ය බලයෙන් වැඩ කරනවා.

එන්නත් බෙදා හැරීමේ යටිතල පහසුකම් නිසි ලෙස පෙළ ගස්වා ගැනීම සහ රටේ සියලුම ජනයාට යම් කාල පරාසයක් තුළ COVID-19 එන්නත් ලබා දීම 2021දී ලෝකයේ සියලු රටවල ආණ්ඩු මුහුණ දෙන අභියෝගයයි.

එන්නත් බෙදා හැරීමේදී පාරිසරික සහ භෞතික සාධක පමණක් නොව දේශපාලන සාධක ද එයට හරස් විය හැකියි.  

වසංගත අවස්ථාවකදී නව එන්නතක් නිපද වූ විට එය මුලින් ලබා දෙන්නේ කාහටදැයි යන්න ගැන ලෝක සම්මතයක් තිබෙනවා. 

ඒ අනුව පළමුවැනි අදියරේදී වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට මෙන්ම ක්ෂේත්‍ර මට්ටමින් රෝග නිවාරණයට උදව් වන සමාජ සේවා කාර්ය මණ්ඩලයට ප්‍රමුඛතාව දිය යුතුයි. 

දෙවැනි අදියරේදී රටේ ජනගහනයෙන් 20% දෙනාට එන්නත ලබා දිය යුතුයි. නිදන්ගත රෝගාබාධ හෝ වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නිසා සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය හීන වී ඇති පුද්ගලයන්ට මෙන් ම වයස 65ට වැඩි පුරවැසි සියලු දෙනාටත් එහිදී ප්‍රමුඛත්වය ලැබිය යුතුයි.

සෙසු පුරවැසියන්ට එන්නත ලබාදීම සිදු කරන්නේ තුන්වන අදියරේදීයි. එහිදීත් තව ප්‍රමුඛතා පිරිස් කැමති නම් හඳුනා ගන්නට ඉඩ තිබෙනවා.  

තමන්ගේ වැදගත්කම ගැන අධිතක්සේරුවක සිටින මෙරට බහුතරයක් (ආණ්ඩු පක්ෂ හා විපක්ෂ) දේශපාලකයන් මෙම ප්‍රමුඛතා පෙළ ගැස්මේ ඉහළටම පැන ගනීවිද? වෙන බොහෝ අවස්ථාවල සිදු වන ආකාරයට තීරකයන්ගේ දැන හැඳුනුම්කමට හා ඔවුන්ගේ සමීපතයන්ට එන්නත මුලින් ලබා දෙයි ද? 

COVID-19 එන්නත් සඳහා ඉදිරි මාසවල නොවරදවාම සිදුවන පොර කෑමේදී ජාත්‍යන්තර මට්ටමින් ඇති හැකි රටවල් තමන්ගේ ජනයා වෙනුවෙන් කෙසේ හෝ ඇති තරම් එන්නත් තොග ලබා ගන්නට පුළුවන්. එය තරමක් හෝ සමනය කිරීමට COVAX සන්ධානය උත්සාහ කරාවි.

එහෙත් රටක් තුළ එන්නත් බෙදා ගැනීමේදී සංවරව, සාධාරණව සහ සානුකම්පිත අන්දමින් එය සිදු කරන බවට වග බලා ගත හැක්කේ අපටම පමණයි. මෙවැනි දේ ගැන අවධානයෙන් සිටීම වැදගත්. 

COVAX ගැන වැඩි විස්තර මෙතැනින්: www.gavi.org/covax-facility

(රාවය – සිව්මංසල කොලුගැටයා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!