spot_img
spot_imgspot_img

කොරෝනා නීති කැඩූ දේශපාලකයන්ට දඬුවම් නෑ

පුවත්

විදෙස්

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – ceylonnews24.com හි තැබූ සටහනක්)

කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග ලාංකීය සමාජය පෙර නොවූ තරම් අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා සිටී. කොවිඩ් 19 සඳහා තවමත් විසඳුමක් නොමැති තත්ත්වයක් තුළ ඉන් ආරක්ෂා වීමට ඇති එකම ක්‍රමය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළුව ඒ සඳහා දී ඇති සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ආරක්ෂා කිරීමය. උදේ හවා මේ ගැන අවධාරණය කරන නමුත් ප්‍රායෝගික තලයේදී මෙම උපදෙස් පිළිපැදීම ගැන ජනතාව කෙතරම් සංවේදීද? එය නිසි පරිදි නියාමනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය කෙතරම් කාර්යක්ෂමද?

මේ ගැන අවබෝධ කර ගත හැකි හොඳම ක්‍රමය නම්, නිරෝධායන නීති ක්‍රියාත්මක වීම පිළිබඳ පූර්ව අත්දැකීම් විමසා බැලීමය. ඉකුත් මහ මැතිවරණයේදී ඒ සඳහා විශේෂයෙන් පනවා තිබූ නීති ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව සිදු කළ දුෂ්කර කරුණු සොයාබැලීමන් පසුව රැස් කරගත් කරුණු ඇසුරින් හෙළිදරව් වන බිහිසුණු යථාර්ථය කෙරෙහි සමාජයේ හා බලධාරීන්ගේ අවධානය යොමු කරවීම මේ ලිපියේ අරමුණයි. විශේෂයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවල දී මෙවැනි තත්ත්වයක් ඇති නොවීම පිණිස මේ පසුවිපරම ඉතා වැදගත්ය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැති කාලයේ දී රට තුළ කොරෝනා රෝගීන් වාර්තා වුවත් මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව පදනම් කරගනිමින් ආණ්ඩුව විසින් 2020.07.20 දින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ 2 සහ 3 වගන්ති යටතේ සැකසු අංක 2184/34 යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරන ලදි. එමගින් මැතිවරණයට අදාළ වන සෞඛ්‍ය නිර්නායක නියම කෙරිණි. නමුත් පූර්ව මැතිවරණ සමය තුළදී සෞඛ්‍ය නිර්ණායක පිළිපැදීමේ ප්‍රතිශතය 1%කි. වෙනත් ආකාරයකට කිවහොත් එය උල්ලංඝනය කිරීමේ ප්‍රතිශතය 99%. එම උල්ලංඝනය කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රතිශතය 00%කි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 362ක් වෙත තොරතුරු දැනගැනීමේ පනතට අනුව අයදුම්පත් යොමු කිරීමෙන් පසු දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 155ක්  මගින් ලබාදුන්  තොරතුරු මගින් එය අනාවරණය විය.

එමෙන්ම මෙහිදී මාතර, ගාල්ලඅනුරාධපුරපොලොන්නරුව, කොළඹකළුතරපුත්තලමබදුල්ලකිලිනොච්චියමුලතිවු යන දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් තොරතුරු පනතට අනුව තොරතුරු ලබාදීම පැහැර හැර තිබේ.

නීති කඩ කළ මැතිවරණ රැස්වීම්

කෙසේ නමුත් දිස්ත්‍රික්ක 14ක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාදුන් එම තොරතුරුවලට අනුව මෙන්ම සිදු කරන ලද වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූ පරිදි ජුලි 20 වන දින සිට අගෝස්තු 02 වන දා දක්වා දින 12ක පමණ කාලය තුළදී පමණක් අදාළ දිස්ත්‍රික්ක 14 තුළ පැවැත්වූ රැස්වීම් හා සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව කටයුතු කිරීම මෙබඳුය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීම් 50,620 පවත්වා ඇතත් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුම්වත්කර ඇත්තේ 570ක් පිළිබඳව පමණි. දැනුම්වත් කිරීමේ ප්‍රතිශතය 1.12% කි. ජාතික ජනබලවේගය 11,100 ක් රැස්වීම පවත්වා ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කර ඇත්තේ රැස්වීම් 110ක් ගැන පමණකි. දැනුම්වත් කිරීමේ ප්‍රතිශතය 1%කි. සමගි ජනබලවේගය රැස්වීම් 33,515ක් පවත්වා ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කර ඇත්තේ 190ක් පිළිබඳව පමණකි. ඒ අනුව ඔවුන් විසින් රැස්වීම් පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුම්වත් කර ඇත්තේ 0.9 %ක ප්‍රතිශතයකිනි. එක්සත් ජාතික පක්ෂය රැස්වීම 21,055ක් පවත්වා ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කර ඇත්තේ 95ක් ගැන පමණි. එය ප්‍රතිශතයක් ලෙස 0.45% එමෙන්ම උතුර නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් මගින් රැස්වීම 7,014 ක් පවත්වා ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කර ඇත්තේ රැස්වීම් 346ක් ගැන පමණි. එම ප්‍රතිශතය 4.93% කි මෙය දකුණට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකි.

 මෙම තොරතුරුවලට අනුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ  ජූලි 20 සිට අගෝස්තු 02 දා වනතෙක් කාලය තුළදී දේශපාලන රැස්වීම් 123,304ක් පමණ පවත්වා ඇතත් ඒ සම්බන්ධයෙන් 2020.07.20 දින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට අනුව සැකසු අංක 2184/34 යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ 2වන වගන්තියට අනුව කටයුතු කරමින්  රැස්වීම පැවැත්වීමට පැය 24 කට පමණ පෙර අදාළ රැස්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලිඛිතව දන්වා රැස්වීම පවත්වා ඇත්තේ රැස්වීම් 1,311ක් පිළිබඳව පමණක් බව පෙනී යයි. ප්‍රතිශතයක් ලෙස එය 1.06%කි එනම් රැස්වීම් සියයක් පවත්වන විට, නීතියට අනුකූල ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පවත්වා ඇත්තේ ඉන් එක් රැස්වීමකි.

මෙහි දී හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ  පමණක් 2020.07.17 වන දින සිට අගෝස්තු 02  වන දින  දක්වා   ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් පමණක් රැස්වීම් 6,814 කට අධික ප්‍රමාණයක් පවත්වා ඇති අතර, අදාළ ගැසට් පත්‍රයේ 2වන වගන්තියට අනුව කටයුතු කරමින්  රැස්වීම් පැවැත්වීමට පැය 24 කට පමණ පෙර අදාළ රැස්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලිඛිතව දන්වා  රැස්වීම පවත්වා ඇත්තේ 202 කට අඩු රැස්වීම් ප්‍රමාණයක් බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ. එලෙස දන්වා ඇති රැස්වීම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සළකා බැලූ විට 2.96% ප්‍රමාණයකි.

එමෙන්ම එහි 3.2 වගන්තියට අනුව  රැස්වීමට සහභාගි කරගත හැකි පුද්ගලයන් ප්‍රමාණය 300කට සීමා කර තිබුණත් මේ අතරින් 50කට අධික රැස්වීම් ප්‍රමාණයක් 500කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබේ. එසේ සහභාගී විය හැකි සීමාව ඉක්මවූ රැස්වීම් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර ඒ වෙනුවට සිදු කර ඇත්තේ පොලිස් ආරක්ෂාව ලබා දීමය.

අදාළ ගැසට් පත්‍රයේ 4වන වගන්තියේ (අ) වගන්තිය යටතේ රැස්වීමට සහභාගි වන්නන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනයක් අදාළ සංවිධායකයා විසින් පවත්වාගෙන යා යුතු වුවත් මින් රැස්වීම් සංවිධානය කළ  බොහොමයක් සංවිධායකවරුන් එම නියමයන් කඩකර තිබේ. එම වගන්තියේම (ආ) යටතේ රැස්වීමට සහභාගි වන්නන්හට දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් ලබා දිය යුතු වුවත් මේ ආකාරයෙන් පැවැත්වූ රැස්වීම් තුළ එම පහසුකම් ද ප්‍රමාණවත්ව නොතිබූ අතර බොහෝ දෙනෙකු එය භාවිත කිරීමෙන්ද වැළකී සිටි අයුරු දක්නට ලැබුණු දෙයකි.

දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම

අදාළ ගැසට් පත්‍රයේ 4 (ඇ) සිට (ඉ) දක්වා වූ වගන්ති තුළින් ජනතාව දේශපාලන රැස්වීම් සඳහා ඒකරාශි වීමේදී මීටරයක පරතරයක් තබාගත යුතු බව සඳහන් කර තිබුණත් එය බොහොමයක් අවස්ථාවල සිදු නොවූ අතර අදාළ අපේක්ෂකයා වටා මෙන්ම ආහාර බෙදිම්, සංග්‍රහ වැනි අවස්ථාවන්හිදී ජනතාව පෝලිම් තුළ තෙරපෙමින් සිටින ආකාරයක් මෙන්ම ඒ අතර සිටි බොහොමයක් දෙනා මුඛ ආවරණ පවා පැළඳ නොසිටි බව ද  පැහැදිළිව දක්නට ලැබුණි.

මේ ආකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝශයන්ගෙන් තොරව මැතිවරණ රැස්වීම පවත්වා ඇතත් එසේ සෞඛ්‍ය මාර්ගෝදේශයන් අනුගමනය නොකළ කිසිදු පුද්ගලයෙකු මැතිවරණ රැස්වීම තුළදී අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් අධිකාරී කාර්යාල මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

කෙසේ නමුත් මේ ආකාරයෙන් නිරෝධායන නීති රීතිවලට අනුව මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමට නොහැකිවූයේ ඇයිද යන්න සම්බන්ධයෙන්  කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මනාප සටනට යටවීම හේතුවෙන්  බොහෝමයක් ඡන්ද අපේක්ෂකයින් දේශපාලන පක්ෂ බේදයකින් තොරව සෞඛ්‍ය මාර්ග උපදේශයන් නොතකා කටයුතු කර ඇති බවයි.

එමෙන්ම බොහොමයක් කුඩා රැස්වීම් සංවිධානය කර තිබුණේ ග්‍රාමීය මට්ටමින් සිටි කොට්ඨාස සංවිධායකයින් වන අතර ඔවුන් බොහොමයක් දෙනා අදාළ ගැසට් පත්‍රයට  අනුව රැස්වීම පැවැත්වීමට පැය 24 කට පමණ පෙර අදාළ රැස්වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලිඛිතව  දැන්විය යුතු බවක් නොදැන සිටි බව පක්ෂ කීපයක සංවිධායකයින් කිපදෙනෙකුගෙන් කළ විමසීමකදී හෙළි විය.

 ”එහෙම දැනුවත් කරන්න ඕන කියලා අපි දැනගෙන හිටියේ නෑ. නමුත් පුළුවන් හැම අවස්ථාවකදීම නිරෝධායන නීතිවලට අනුව රැස්වීම සංවිධානය කරන්න අපි කටයුතු කළා. නමුත් එන ජනතාව ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. පාක්ෂිකයින් තරහ කරගන්න බැරි නිසා අපිත් වැඩිය ඒ ගැන තැකීමක් කළේ  නෑ” යනුවෙන් සමගි ජනබලවේගයේ හම්බන්තොට ප්‍රදේශයේ රැස්වීම කීපයක් සංවිධානය කළ ආර්.පී. ප්‍රියන්ත මහතා කියා සිටියේය.

”අපි පොලිසිය දැනුවත් කරලා තමයි රැස්වීම කළේ. නමුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවක් කළේ නැහැ.” නම හෙළි කිරීමට අකැමති වූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සංවිධායකවරයෙක් කියා සිටියේය.

එමෙන්ම මේ ආකාරයෙන් නිකුත් කර තිබූ ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් නොකරමින් රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ කීපයක අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වූ අයගෙන්ද අදහස් විමසුවෙමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර-

මහින්ද අමරවීර

” ලිඛිතවම නැති වුවත් අපි යම් ප්‍රමාණයකට දැනුවත් කළා. ඒ වගේම රැස්වීම සංවිධානය කළ අයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරලා රැස්වීම තියන්න කියලා ඉල්ලීම් කළා. ඒ වගේම සියයට සියයක්ම නැති වුණත් යම් තරමකට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තමයි රැස්වීම පැවැත්වුයේ”

 සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි-

දිලිප් වෙදආරච්චි

” අපි මුලින්ම නියම ආකාරයෙන් හොඳට සෞඛ්‍ය නීතිවලට අනුව රැස්වීම් පැවැත්වුවා. නමුත් ආණ්ඩු පක්ෂයේ ගොඩක් ඡන්ද රැස්වීම් කළේ නීති කඩ කරමින්. නමුත් හැකි තැන්වලදී අපි අවසර අරගෙන තමයි කළේ ”

ජාතික ජනබලවේගය අපේක්ෂකයෙකු වූ නිහාල් ගලප්පත්ති-

නිහාල් ගලප්පත්ති


”අපි හැම රැස්වීමක් පිළිබඳවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ලිඛිතව දැනුවත් කිරීම් කරලා නැති වුවත් පුළුවන් උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රැස්වීම තියන්න කටයුතු කළා. ආණ්ඩු පක්ෂය සියලු නීති කඩ කරමින් සෙනග රැස්කරමින් තමයි රැස්වීම කළේ. ඒත් කිසිම නිලධාරියෙක් ඒ ගැන සොයා බැලුවෙත් නෑ. මම කීප වතාවක්ම නිලධාරීන්ට පැමිණිලි කළත් නිතිය ක්‍රියාත්මක කළේ නෑ”

කෙසේ නමුත් පැවතුණු තත්වය හමුවේ මෙම මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමේදී සෞඛ්‍ය අංශයන්හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ඒ.ටී.එම්.ඩී. පටබැඳිගේ මහත්මියගෙන් කළ විමසීමකදී එතුමිය කියා සිටියේ තම නිලධාරීන් දැනුවත් කරමින් පැවැත්වූ මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා එය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදු කළ බවයි. ”අපි කළේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ රැස්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දීම පමණයි. ඒවා අනුගමනය කළේ නැත්නම් හොයන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණේ පොලිසියට.”  එතුමිය වැඩිදුරටත් පැවසුවාය.

මැතිවරණ කොමිසමේ හා නිරීක්ෂණ සංවිධාන

මේ සම්බන්ධයෙන් අපි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කීපයකින්ම අදහස් විමසුවෙමු. එහිදී අදහස් දැක්වූ  පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසුවේය. ” මේ කොවිඩ් ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ ඉදලා මේ මැතිවරණයවෙනුවෙන්නී නීතිරීති පැනවීමට මේ ගැසට් එක පළ කිරීම හිතාමතාම සෑහෙන ප්‍රමාද කළා මොකද මේකෙන් ඒ අයට ඕන විදියට මැතිවරණය කරගන්න බැරි වෙයි කියලා. පස්සේ ගැසට් එක දැම්මට පස්සෙත් ගැසට් එකට අනුව නොවේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙනිච්චේ. වාසනාවකට මේ තරම් සෞඛ්‍ය ප්‍රශ්නයක් එදා තිබුණෙ නෑ. තිබුණානම් ලොකු හානියක් වෙනවා ඒ හැසුරුණු ආකාරයට”

රෝහණ හෙට්ටිආරච්චි

එමෙන්ම මේ ආකාරයෙන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ මැතිවරණ රැලි සම්බන්ධයෙන් පැමිණිලි 600 කට අධික ප්‍රමාණයක් තම නිරීක්ෂණ සංවිධානයට ලැබී තිබෙන බවත් මැතිවරණ සමයේ එය ක්‍රියාත්මක නොකර සිට පසුව සාමාන්‍ය ජනතාවට පමණක් නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ අංශයන්ගෙන් විමසු බවද   රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

මංජුල ගජනායක

එමෙන්ම  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මංජුල ගජනායක මහතාගෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ මේ ආකාරයෙන්  නිරෝධායන නීති උල්ලංඝනය  කරමින් පැවැත්වූ මැතිවරණ රැස්වීම සම්බන්ධයෙන් තම සංවිධානයට නිරන්තරයෙන් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව දැනුවත් කිරීමට කටයුතු කළ බවයි. එමෙන්ම මැතිවරණයෙන් පසුව මැතිවරණ කොමිසන් සභාව මේ සම්බන්ධයෙන් තදින් නොසිටීම සහ තමන්ගේ ක්‍රියා කලාපය පසු විපරම් නොකිරීම අනාගතයේදී මැතිවරණ ක්‍රියාවලිය නිවැරදි මාවතට ගෙන ඒමට බලවත් බාධකයක් බවයි.

 මැතිවරණ කාලසීමාවකදී මැතිවරණයට සම්බන්ධ සියලු කටයුතුවල බලධරයා වන්නේ මැතිවරණ කොමිසමයි. මැතිවරණයට බලපෑම් එල්ල විය හැකි රජයේ ක්‍රියාකාරකම් පාලනය කිරීමේ පුළුල් බලතල පැවරී ඇති අතර එම කාලපරිච්ඡේදය තුළ පොලිසිය පවා ක්‍රියා කළ යුත්තේ කොමිසමේ උපදෙස් අනුවය. සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර රැස්වීම් පැවැත්වීමේ ගැටලුව ගැන අපි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසුවෙමු.

සමන් ශ්‍රී රත්නායක

”මැතිවරණයේදී අපගේ දිස්ත්‍රික්ක 25හේ සහකාර කොමසාරිස්වරුන්ට, අත්අඩංගුවට ගැනීමේ  සහ නඩු පැවරීමේ බලය දෙන්න කියල අපි අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. නමුත් එ්ක ලැබුණේ නෑ. කොහොමත් මැතිවරණ නිලධාරීන්ට විතරක් කිසිම පුද්ගලික තැනකට ඇතුළුවීමේ හැකියාවක් නෑ.  ඒ නිසා ඒ වගේ පැමිණිල්ලක් අපිට ආවාම අපිට යන්න උනේ පොලිසිය එක්ක. ඇත්තටම් මේක පොලිසියේ රාජකාරියක්” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

පොලිස් බලය ක්‍රියාත්මක කර නෑ

කෙසේ නමුත් ඉහත ආකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් දේශපාලන රැස්වීම පවත්වනු ලැබුවත් එම රැස්වීම තුළදී ඒ ආකාරයෙන් නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැතිබව  පොලිස් අධිකාරී කාර්යාල 42ක් වෙත  තොරතුරු අයදුම්පත් යොමුකිරීමෙන් පසු පොලිස් අධිකාරී කාර්යාල 6ක් මගින් ලැබුණු තොරතුරු මගින් අනාවරණය විය. අනෙකුත් පොලිස් අධිකාරී කාර්යාල තොරතුරු පනතට අනුව තොරතුරු ලබාදීම පැහර හැර තිබේ.

කොරෝනා පාලනය සඳහා මැතිවරණයේදී අනුගමනය කළ යුතු කිර්යාමාර්ග ඇතුලත් ගැසට්පත්‍රයේ නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය තිබු බව නීතිඥ ජගත් ලියනයආරච්චි මහතා පවසයි.

ජගත් ලියනාරච්චි

”මෙම නියෝගය පනවා තියෙන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ දෙවන වගන්තිය යටතේ. එම පනතේ 06 වන වගන්තියට අනුව පනත යටතේ වරදක් කරන පුද්ගලයෙකු වැළැක්වීම සහ රඳවා ගැනීමට පොලිස් නිලධාරියෙකුට සහ පනත යටතේ පත්කරන පරීක්ෂකවරයෙකු හට  බලය තිබෙනවා ”

එමෙන්ම තමන් ඉදිරියේදී නීතිය කඩ කරන විට එය වැළැක්වීමට ක්‍රියා කිරීමට පොලිස් නිලධාරියෙකුට පැමිණිල්ලක් ලැබීම අවශ්‍ය නොවන බවද නීතිඥ ජගත් ලියනයආරච්චි මහතා සදහන් කළේය.

”මැතිවරණය පැවැත්වීම හැම දේශපාලන පක්ෂයකටම අවශ්‍ය වුණාට මෙම තත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කණ්ඩායම එකතුවෙලා මාර්ගෝපදේශ හැදුවෙ සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. නමුත් ඒ මාර්ගෝපදේශවල තිබුණු දේවල් දේශපාලන අවශ්‍යතාව සඳහා‍ වෙනස් වුණා” නීතිඥ ජගත් ලියනආරච්චි  මහතා අවධාරණය කරයි.

දෙවන රැල්ලක් ලෙසින් පෙරටත් වඩා සීග්‍රයෙන් කොරෝනා රෝගය දිවයින තුළ පැතිරෙමින් තිබේ. ඒ නිසාම ඒ කෙරෙහි නව නීති රීති ද සකස් කිරීමට රජය කටයුතු කර තිබේ. එමෙන්ම එම නීති කඩන පිරිස් අත්අඩංගුවට ගැනීම්ද වාර්තා වේ. නමුත් ඉහත කාරණා සැලකිල්ලට ගැනීමේදී පසුගිය 2020 පාර්ලිමේන්තු  මැතිවරණ සමයේදී කොරෝනා පාලනය වෙනුවෙන්  පැනවූ නීති රීති මැතිවරණ ප්‍රචාරක රැලි සදහා අදාළ වී නොමැති බවත් එය දේශපාලන කාරණාවක් වන නිසා නොසලකා හැර තිබෙන බවත් පැහැදිලිය. මේ බව තහවුරු වන්නේ පොලිසියද මැතිවරණ රැලි තුළදී නිරෝධායන නීති කැඩූ කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙනි.

මැතිවරණ ප්‍රචාරක රැලි තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සම්බධයෙන් නියෝජය පොලිස්පති පොලිස් මාධ්‍යප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා  සිටියේ මේ සම්බධයෙන් මැතිවරණ කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ට නියෝජය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් විමසන ලෙසයි.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

ඒ අනුව කළ විමසීමකදී ඔහු මෙසේ පැවසුවේය. ”මැතිවරණ කාලේ දාපු ගැසට් එක මේක වගේ (2020.10.15 දාපු ගැසට් එක) තදින් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ වගේම ඒ දවස්වල තිබු කොරෝනා තත්ත්වය නොවේ අද තියෙන්නේ. ඉලෙක්ෂන් එක කළා කියලා එ්කෙන් කොහෙවත් පැතිරීමක් වුණේ නෑ. ඒ නිසා එක ලොකුවට අල්ලගන්න ඕන කාරණාවක් නොවේ. අඩු පාඩුවක් තියෙන්න ඇති නමුත් ඒක අල්ලාගෙන අපිට ආපස්සට යන්න බෑ. නමුත් අපිත් ඩිවිෂන්ස්වලට (පොලිස් අධිකාරී කාර්යාල) කතා කරලා මොකද මෙහෙම වුණේ කියලා හොයන්නම්” නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේය.

බූරු පොලේදී ගත් ණය ඉන් පිටතදී වලංගු නොවන බවට සූදු අන්තුවන් අතර අලිඛිත සම්මුතියක් තිබේ. මැතිවරණවලට අදාළ ණය තුරුස් සම්බන්ධයෙන්ද එවැනි තත්ත්වයක් තිබෙන බවට, රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පවා දැන්වීම් ප්‍රචාරණයේදී කෝටි ගණනින් පොලු තැබීම පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරයි.  ඉහත සියලු කරුණු කාරණා සමස්තයක් ලෙස සලකා බැලීමේදී පෙනී යන්නේ මැතිවරණයේදී සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද සියලු පාර්ශ්ව එවැනි අශුද්ධ සම්මුතියකින් ක්‍රියා කර ඇති බව නොවේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!