spot_img
spot_imgspot_img

වැලිගම දී සිදු වූ, පොලිස් – පොලිස් වෙඩි තැබීමෙන් පොලිසිය ම අමාරුවේ

පුවත්

විදෙස්

වැලිගම දී අද (31) අලුයම වෙඩි ප්‍රහාරයකට ලක්ව පොලිස් සැරයන් වරයකු මියගොස් ඇත්තේ පොලිසිය විසින් පොලිසියට ම තැබූ වෙඩි ප්‍රහාරයකින් බව වාර්තා වේ.

වැලිගම නව ගාලු පා‍රේ පැලෑන වටරවුම ආසන්නයේ පිහිටි W15 නමැති හෝටලයකට අද අලුයම සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් එම හෝටලය තුළට ගොස් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී, ජංගම මුර සංචාරයේ යෙදුණු රථයක සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඒ ආසන්නයේ සිට ඇත. මේ දිනවල ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඒකාබද්ධ සේවයට යෙදවූ හමුදා සාමාජිකයන් පිරිසක් ද එම ජංගම රථයේ සිට ඇත.

හෝටලයට වෙඩි තැබූ සුදු පැහැති වෑන් රථය පළායද්දී ජංගම පොලිස් රථය මඟ හරස්කර නවත්වන ලෙස අණ දී ඇතත් එම වෑන් රථය පොලිස් අණ නොතකා පළාගිය බැවින් ජංගම පොලිස් රථය විසින්  වෑන් රථය හඹා ගොස් වෙඩි තබා ඇත. එමෙන් ම වැලිගම පොලිසිය විසින්  පළායන වෑන් රථය පිළිබඳ සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇත.

ඒ අනුව පළාගිය වෑන් රථය ඉමදුම අධිවේගී පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී අධිවේගී මාර්ග ආරක්ෂක පොලිසිය විසින් රථය නවත්වා පරීක්ෂා කිරීමට සැරසී ඇත. එම අවස්ථාවේ දී රථයේ සිටි පිරිස පවසා ඇත්තේ තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බවයි. ඔවුන් තම රාජකාරී හැඳුනුම්පත් ඉදිරිපත් කළත් එහි සිටි පොලිස් නිලධාරීන් අදාළ වෑන් රථයට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට ඉඩ දී නැත.

නමුත් පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් ලැබුණු නියෝගයක් අනුව ඔවුන් මුදාහැරීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

ඒ වනවිටත් රථයේ සිටි දෙදෙනකුට වෙඩි වැදී තිබූ අතර එක් අයකු මියගොස් ඇත. ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ සැරයන් වරයකු බව ද අනාවරණය වී තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මියගිය සැරයන්වරයාගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති බවත් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

පොලිසිය අද (31) උදෑසන කියා සිටියේ කිසියම් පිරිසක් පැමිණ වැලිගම හෝටලයක් අසළ වෙඩි තැබීමක් සිදුකර පළායමින් සිටිය දී පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි. එහි දී පොලිස් සැරයන්වරයකු මියගොස් තවත් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතැයි ද ප්‍රකාශ කෙරිණි.

නමුත් මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් සියලු පොලිස් නිලධාරීන් මුනිවත රකින අතර සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පොලිස් නිලධාරීන් වික්ෂිපතව සිටිති.

වෙඩි තැබීම සිදු වූ W15 නමැති හෝටල් කිහිපයක් රටේ විවිධ ස්ථානවල ඇති අතර ඒවා ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්ගේ පුත්‍රයාට අයිති බව ද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!