spot_img
spot_imgspot_img

ගෝඨාභයගේ කාර්ය සාධන බලකා 13කට, කෝටි ගණන් දීලා. වියදම් කළ හැටි ලේඛන නෑ

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත්වනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය සාධක බලකායන් 13 ක් ස්ථාපිත කර ඇති අතර එහි කටයුතු ද අවසන්වී ඇති බව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අනුව කරන ලද ඉල්ලීමකින් තහවරු විය.

2019 වසරෙන් පසු මේ වන විට පිහිටුවා ඇති ජනාධිපති කාර්යය සාධක බලකායන් ගණන 13 ක් බව ජනාධිපති ලේකම් කාර්යාලයි විසිල් ලබාදුන් නිල ලේඛනයක සඳහන්ව ඇත. එම කාර්යය සාධක බලකා පහත පරිදි වෙයි.

1. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය.

2. දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකාය.

3. කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්වයක් ඇති කොළඹ,කලුතර,ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛත්වය දෙමින් එම ප්‍රදේශ වලට ග්‍රාමීය ප්‍රදේශ හා නිෂ්පාදකයින් විසින් සපයනු ලබන ආහාර සැපයුම් සෘජුවම පාරිභෝගිකයින්ට ලබාදීම ඇතුලු සමස්ත ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස ජනාධිපති කාර්යය සාධක බලකාය.

4. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය.

5. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කොරෝනා වයිරසය ආසාධනයෙන් වළක්වා ගැනීම සඳහා සෑම හමුදාවක් විසින්ම ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යනය කර එකී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා  උපදෙස් ලබාදීම පිණිස වූ ජනාධිපති කාර්යය සාධක බලකාය.

6. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමණාකරණය සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය.

7. සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය.

8. සංවර්ධන ප්‍රමුඛතා, ස්වයං රැකියා හා පාරම්පරික වෘත්තීන්හි නියැලෙන කුඩා ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදා ගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය.

9. කොවිඩ් – 19 ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය.

10. ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යය සාධක බලකාය.

11. දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසදුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්යය සාධක බලකාය.

12. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය.

13. එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකාය. 

මෙම තොරතුරු අනුව පැහැදිළි වන්නේ කොරෝනා වයිරසය හේතුවෙන් ම ජනාධිපති කාර්ය සාධන බළකා තුනක් පිහිටුවා ඇති බවයි.

“කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්වයක් ඇති කොළඹ,කලුතර,ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛත්වය දෙමින් එම ප්‍රදේශ වලට ග්‍රාමීය ප්‍රදේශ හා නිෂ්පාදකයින් විසින් සපයනු ලබන ආහාර සැපයුම් සෘජුවම පාරිභෝගිකයින්ට ලබාදීම ඇතුලු සමස්ත ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස ජනාධිපති කාර්යය සාධක බලකාය” පිහිටුවා ඇත.

එයට අමතරව, “ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කොරෝනා වයිරසය ආසාධනයෙන් වළක්වා ගැනීම සඳහා සෑම හමුදාවක් විසින්ම ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යනය කර එකී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා  උපදෙස් ලබාදීම පිණිස වූ ජනාධිපති කාර්යය සාධක බලකාය” නමින්ද බලකායක් පිහිටුවා තිබුණු බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදුන් තොරතුරුවලින් තහවරු වෙයි.

එපමණක් නොව එවැනි ජනාධිපති කාර්යා සාධක බලකා දෙකක් කොරෝනා වයිරසය පදනමක් කරගෙන ස්ථාපිත කර තිබිය දී “කොවිඩ් – 19 ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය”

මෙයින් පෙනී යන්නේ එකම ප්‍රධාන විෂයයක් අරමුණු කරගනිමින් ජනාධිපති කාර්ය සාධන බලකා තුනක් ස්ථාපිත කර ඒ සඳහා මහජන මුදල් වැය කර ඇති බවයි.

මෙම කාර්ය සාධක බලකායන් විවිද හේතූන් මත විවිධ අරමුණ සඳහා පිහිටවූ බව ද ඔවුන් සඳහන් කරයි. එහෙත් මෙමගින් බලාපොරොතතුවූ අරමුණු ඉටුවූවාද යන්න විමසුවත් ඒ සඳහා නිශ්චිත පිලිතුරක් ඔවුන් ලබා දී තිබුනේ නැත. 

කෙසේ වෙතත් මෙම ජනාධිපති කාර්යය සාධක බලකායන් සඳහා වසර තුනක කාලයක් තුල වියදම් කර ඇති මුළු මුදල  රුපියල් 84,955,630.78 ක් වේ. (අසූ හතර මිලියන නමසිය පනස්පන්දහස් හයසිය තිහයි සත හැත්තෑ අටයි.)

මෙම කාර්ය සාධක බලකායන් සඳහා එක් එක් වර්ෂයන් තුල එම මුදල් වියදම් කර ඇති ආකරය පහත පරිදි සඳහනක් කල හැකිය.

2020 වසරේ වියදම් කර ඇති මුදල – රු.16,279,493.40

2021 වසරේ වියද් කර ඇති මුදල – රු. 40,438,289.75

2022 වසරේ වියදම් කර ඇති මුදල  –  රු. 28,237,847.63 

මේ එක් එක් ජනාධිපති කාර්යය සාධක බලකා වෙනුවෙන් ඒ ඒ වර්ෂවල දී වෙන වෙනම වියදම් කර ඇති මුදල් ප්‍රමාණ පිළිබඳ විස්තර ඉල්ලා සිටිය ද ජනාධිපති ලේක්ම් කාර්යාලය විසින් දැනුම් දී ඇත්තේ එම තොරතුරු ලබාදිය නොහැකි බවයි. ඔවුන් ලබා දී ඇත්තේ ඒ ඒ වර්ෂයන් හි සියලු ම ජනාධිපති කාර්ය සාධක බලකායන් සඳහා කරන ලද වියදම් විස්තරයකි.

ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් වාර්ෂික අයවැය ප්‍රතිපාදන ලබාදීමේ දී ජනාධිපති කාර්යය සාධක බලකා වෙත ලබා දී ඇත්තේ එක් පොදු වැය විෂයක් පමණක් වන බැවින් ද අදාල වර්ෂය තුලදී ගිණුම් කටයුතු සිදුකිරීමේ දී එම වැය විෂය වෙත අදාල වර්ෂය තුල ක්‍රියාකාරීව පවතින සියළු ජනාධිපති කාර්යය සාධක බලකා වල වියදම හර කරනු ලබන බැවින් ද එක් එක් ජනාධිපති කාර්යය සාධක බලකා සඳහා එක් එක් වර්ෂයන්ට අදාලව වියදම වෙන් වෙන් වශයෙන් ලබාදීමට නොහැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් දන්වා තිබේ.

තවද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තොරතුරු විමසා සිටීමේදී සඳහන් කර ඇත්තේ ඉහත නම් සදහන් සියළුම කාර්යය සාධක බලකායන්හි කටයුතු මේ වන විට අවසන් කර ඇති බැවින්, මේ වන විට එකී කාර්යය සාධක බලකායන් ක්‍රියාත්මක නොවන බවයි.

වසර තුනක කාලයක් රුපියල් මිලියන අසූහතරකට වඩා වැඩි මුදලක් වියදම් කල ජනාධිපති කාර්යය සාධක බලකායන්ගෙන් ඉටුවූ සේවය හා ඔවුන් ලබාදුන් වාර්තාවන් ජනතාව දැනගත යුතුය. එමෙන්ම මෙම කාර්යය සාධක බලකායන් පිහිටුවීම මගින් සිදුවූ සෙත කුමක්ද යන්නට නිසි පිළිතුරක් නැත. ඔවුන් මෙසේ වැය කර  කර ඇත්තේ මහජනතාවගේ මුදල්ය.

ජනාධිපති ලේකම් කාර්යාලය යනු මේ රටේ ඇති ඉහළම රාජ්‍ය ආයතනයයි. එම ආයතනය මගින් පවත්වාගෙන ගිය ජනාධිපති කාර්යා සාධන බලකා සඳහා වසර තුනක කාලයක් වැය කළ මුදල් පිළිබඳ පැහැදිළි දත්ත සටහන් එම කාර්යාලය සතුව නොමැතිනම් මේ පිළිබඳ වරක් දෙවරක් නොව කිහිප වරක්ම සොයා බැලිය යුතුව ඇත.

මොහොමඩ් නස්රාන විසිනි

මෙහි මුල්පිටපත ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වාගෙන යන rtisrilanka.lk වෙබ් අඩවියේ පළවිය. එම ලිපියේ සබැඳිය පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!