spot_img
spot_imgspot_img

දේශබන්දුට කරන දේ ගැන, පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ඉල්ලයි

පුවත්

විදෙස්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ දී ඇතිවන නීතිමය බාධා හේතුවෙන්, ජාතික පොලිස් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවකු ලෙස නම්ක ඇති ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිෂමට නීතිමය බාධාවක් ඇති බව පැවසේ.

2010 වසරේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩකළ නිලධාරීන් හතර දෙනාගෙන් එක් අයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දේශබන්දු තෙන්නකෝන් පසුගියදා නම් කරන ලැබීය.

ඒ අනුව පෙත්සම්කරු සහ නම්කර ඇති නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 C (1) වගන්තියට අනුව, ජනාධිපති විසින් කරන ලද නිර්දේශයක් මත ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පමණක් පොලිස්පති තනතුර පත්කළ හැකි වේ.

කෙසේවෙතත්, 41C (2) වගන්තිය, මෙම වගන්තියේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ඕනෑම තනතුරක “දින දහහතරකට වැඩි කාලයක් ක්‍රියා කිරීමට පත් කර ඇති” ඕනෑම පුද්ගලයකු සම්බන්ධයෙන් වගන්තියේ (1) ඡේදයේ විධිවිධාන අදාළ වෙයි.

ඒ අනුව, වැඩබලන පොලිස්පති තෙන්නකෝන්ගේ පත්වීම මාස තුනකට ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර ඇති හෙයින්, එම පත් කිරීම ස්ථීර ලෙස දැනටමත් සළකනු ලබනවාද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බැවින් නීතිමය ගැටලුවක් තිබෙන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මතයයි.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරුවීම්, විනය පාලනය සහ සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් පුළුල් බලතල පැවරී ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නීත්‍යනුකූලව බලය පැවරී තිබේද යන්නත්, එවැනි අධිකාරියක් තමන්ට පවරා නොමැති නම්, කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද යන්නත් විමසා ජාතික පොලිස් කොමිසම විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ජාතික පොලිස් කොමිසමට ඇති බලය නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ විධිවිධාන සමඟ කියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 C (3) වගන්තිය මගින් සළකා බලනු ලබන විධිවිධාන සහ ක්‍රියා පටිපාටිය අනුව සපයා ඇති බවට නීතිපතිවරයා පිළිතුරු දී ඇතැයි ද වාර්තා වේ.

එබැවින්, ජාතික පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට අනුකූලවීමට පියවර ගැනීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVIII A පරිච්ඡේදයේ දක්වා ඇති එහි ව්‍යවස්ථාමය වරම සහ නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ දක්වා ඇති අදාළ විධිවිධාන පිළිබඳව දැනුවත් විය යුතු බව ද නීතිපතිගේ මතයයි.

ඒ අනුව අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ජාතික පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාපටිපාටිය අනුව එම ලිඛිත දැන්වීම වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත යොමු කෙරෙනු ඇත. ඔවුන්ගේ තීරණය අනුව වැඩබලන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ඉදිරියේ දී තීරණය වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!