spot_img
spot_imgspot_img

ජනාධිපති විසින් ක්‍රීඩා ඇමති ඉවත්කරයි

පුවත්

විදෙස්

ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට ක්‍රිකට් පාලක මණ්ඩලය වගකිව යුතුයැයි කියමින්, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කළ ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) කටයුතු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3)(අ) ව්‍යවස්ථා යටතේ තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඔහු එම ධූරයෙන් ඉවත්කරන බව ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (26) සවස අමාත්‍ය මණ්ඩලය රැස්වූ අතර එම රැස්වීමේ ආරම්භක අවස්ථාව  සඳහා ද රොෂාන් රණසිංහ සහභාගී වී සිටියේය.

අනතුරුව ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ අමතමින් කියා ඇත්තේ තමා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇමැති අනුකමිටුවක් පත් කළේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම සඳහා  දුරදිග කල්පනා කිරීමෙන් පසුව බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවක් පත් කිරීමේ සිට මේ දක්වා සිදු වූ සිද්ධි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී විස්තර කර තිබේ.

ඉවත් කිරීමේ ලිපිය බාර ගත් රොෂාන් රණසිංහ පවසා ඇත්තේ තමා දූෂණයට විරුද්ධ බවයි.තමා ද දූෂණයට විරුද්ධ බව එහිදී ජනාධිපතිවරයා අමාත්‍යවරයාට පවසා ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ ඉකුත් නොවැම්බර් 06 වැනිදා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිමින් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ අතර පසුව අධිකරණය විසින් එම අතුරු පාලක මණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් නිර්දේශ නිකුත්  කිරීමට ජනාධිපතිවරයා විසින් ද කැබිනට් අනු කමිටුවක් පත් කරන ලද අතර අදාල  සිද්ධි පදනම් කරගනිමින් රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී අවස්ථා කිහිපයක දී ම ජනාධිපතිවරයා ගේ මෙන්ම රජය පාර්ශ්වයේ ඇතැම් ක්‍රියා කලාපයන් ගැන විවේචනාත්මකව කරුණු දැක්වීය.

අවසන් වශයෙන් රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී අද (27) පෙරවරුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙන්ම රජයේ ඇතැම් පාර්ශවයන් ද දැඩි විවේචනයකට ලක් කළේය. තමා අමාත්‍ය අමාත්‍ය  ධුර වලින්  ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමින් පැවසීය.

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කිරීමේ ලිපිය නිකුත් කරනු ලැබූයේ මේ අතරතුරදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!