spot_img
spot_imgspot_img

දරුවන් වනසන, කාමතුරයන් නවීකරණය වෙලා

පුවත්

විදෙස්

හර්ෂා සුගතදාස විසිනි

කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී පාසල් දැරියක් බස් රථයක් තුළ දී අතවරයට ලක්වීමේ සිදුවීමක් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළේය. මෙම සිද්ධියේ සැකකරුවන් වන රියදුරු, කොන්දොස්තරවරයා සහ තවත් තරුණයෙක් මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ පසුගිය දා සදහන් කළේ 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පමණක් දැරියන් 168 දෙනකු අතවරයට ලක් වී ඇති බවයි. ඉන් 22කු ගැබ් ගෙන ඇති බවත් බලහත්කාරයෙන් අතවර කළ සිද්ධි 07ක් වාර්තා වී ඇති බවත් ඇය කියා සිටියාය.

මෙලෙස අතවරයට ලක්වන දැරියන් වැඩි දෙනකු පෙම්වතුන් අතින් හෝ පවුලේ සමීපතමයකු අතින් අතවරයට ලක්වීම විශේෂත්වයකි. තම මවගේ අසම්මත ප්‍රේමයන්ට බිලිවන දැරියෝ ද සිටිති. එවැනි සිදුවීම් නිරන්තරව වාර්තා වෙයි. මාසයකට පමණ පෙර බිබිළ ප්‍රදේශයේ දැරියකට අතවර කර තිබුණේ ඇගේ ම පියා විසිනි. මේ අනුව පෙනී යන්නේ අතවරයට ලක්වන බොහෝ දැරියන් එම අපරාධයට ගොදුරුවන්නේ සිය නිවස තුළ දී ම වීමයි.

ශ්‍රී ලංකාවේ වලංගු නීතිය අනුව වයස අවුරුදු 18ට අඩු සෑම අයකුම “ළමයා” ලෙස අර්ථකථනය කර ඇත. නමුත් නීතිය අනුව වයස අවුරුදු 16ට වැඩි අයකුට තම කැමැත්තෙන් ලිංගිකව හැසිරීමට නීතියෙන් තහනමක් නැතත් විවාහ වීමට අවසරයක් නැත. එමෙන් ම වයස අවුරුදු 18ට අඩුනම් බලහත්කාරයෙන් හෝ පෙළඹවීමක් මත ලිංගික කටයුතු සඳහා යොදා ගැනීම අපරාධමය වරදකි.

එමෙන්ම ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදවීම, අසභ්‍ය ප්‍රකාශන සඳහා යොදාගැනීම, විවිධ ජාවාරම් සඳහා යොදා ගැනීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්කිරීම වරදක් වේ.

දරුවන් සිඟමනේ යෙදවීම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම සඳහා යෙදවීම, ළමයින් ශ්‍රමිකයන් ලෙස යෙදවීම, දරුවන් නොසළකා හැරීම, අධ්‍යාපනය ලබා නොදීම, නීතිමය භාරකරුවන්ගෙන් පැහැර ගැනීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනාදී වැරදි ළමා අපයෝජන යටතට ගැනේ.

ළමා ආරක්ෂණ අධිකාරියේ දත්ත අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් 2021 වර්ෂයේ දී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11,185කි, 2022 වර්ෂයේ දී පැමිණිලි 10,4977ක් ලැබී ඇති අතර 2023 වර්ෂයේ ජූලි 31 වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5,698කි.

ළමයින්ට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීමේ සිද්ධි, දරුවන් දම්වැල්වලින් බැඳ දැමූ සිදුවීම්, පුළුස්සා දැමී සිදුවීම් ද සැළකෙන්නේ කෲරත්වයට පත්කිරීම් ලෙසිනි. එවැනි සිද්ධීන් 2,207ක් 2020 වර්ෂයේ දී ද 2,741ක් 2021 වර්ෂයේ දී ද 2,096ක් 2022 වර්ෂයේ දී සහ 2023 ජූලි 31 දක්වා එවැනි පැමිණිලි 1,296ක් ද වශයෙන් ලැබී තිබේ.

ළමා ආරක්ෂණ අධිකාරියට ලැබෙන පැමිණිලිවල දක්නට ලැබෙන නවතම ප්‍රවණතාවක් වන්නේ ඔන්ලයින් ක්‍රමයට දරුවන් අපයෝජනයට පත්වීම සීඝ්‍ර ලෙස ඉහළ යාමයි.

2020 වර්ෂයේ දී එවැනි සිදුවීම් 204ක් වාර්තා වී තිබූ අතර 2021 වර්ෂයේ දී 252ක් ද 2022 වර්ෂයේ දී 282ක් ද 2023 සැප්තැම්බර් 25 වන විට 135ක් ද ලෙස එවැනි අපයෝජන වාර්තා වී තිබේ.

අන්තර්ජාල පහසුකම් ඔස්සේ දරුවන් පො‍ළඹවා‍ගෙන අපයෝජනයට ලක්කිරීම ඉහළ යාමට හේතුවක් වී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙත යොමුවීමත් සමඟ බොහෝ දරුවන් අන්තර්ජාල අවකාශයන් වෙත ප්‍රවේශවීමයි. එහි දී දෙමාපියන්ට දරුවන් තරම් ඔන්ලයින්  සාක්ෂරතාක් නොමැතිවීම ද මෙවැනි හානිකර තත්වයකට හේතු වී තිබේ.

දරුවන් අතට ජංගම දුරකථන, පරිගණක ලැබීමත් පාඩම් වැඩකටයුතු සඳහා බව පවසමින් අන්තර්ජාල භාවිතයට අවකාශ තිබීමත් හේතුවෙන් ඇතැම් දරුවෝ අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම, සමාජ මාධ්‍ය ඔස්සේ නන්නාදුනන පුද්ගලයන් සමඟ සංවාදයේ යෙදීම කාමතුරයන්ගේ ගොදුරු බවට පත්වීමට හේතුවක් විය.

එමෙන්ම ඇතැම් අවස්ථාවල දී මව පියා තමන්ට ජංගම දුරකථනය ලබා නොදුන්නා යැයි කියමින් දරුවන් දිවි තොරකරගත් අවස්ථා ද ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.

ඔන්ලයින් භාවිතයට පෙළඹීමත් සමඟ අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධයේන වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 2023 වර්ෂයේ සැප්තැම්බර් 25 දක්වා ලැබී ඇති පැමිණිලි 135 අතරින් 20ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙනි. 12ක් ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

දරුදැරියන් සිඟමනේ යෙදවීම , තවත් ළමා අපයෝජනයකි. වැඩි වශයෙන් ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වන්නේ කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතවය. විශේෂයෙන්  ආලෝක සංඥා පුවරු, සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිතව ළමුන් සිඟමනේ යෙදවීම් බහුලව සිදු වේ.  2020 වර්ෂයේ පමණක් දරුදැරියන් සිඟමනේ යෙදවීමේ පැමිණිලි 200ක් වාර්තා වී තිබේ.එය 2021 වසරේ 240 දක්වා වර්ධනය වී තිබේ.2022 වර්ෂයේ එය 249 දක්වා තවත් ඉහළ ගොස් තිබේ.මෙම වර්ෂයේ ජූලි 31 වැනිදා අවසාන වන විට දරුදැරියන් සිඟමනේ යෙදවීමේ  සිද්ධි 196ක් වාර්තා වී  තිබේ.මෙම වසර අවසාන වන විට  මෙම අගය, පසුගිය වසරේ අගය ඉක්මවා  යාහැකිය.

ළමුන් සේවයේ යෙදවීමත් නීති විරෝධි  කටයුත්තකි.නීතිය එසේ වුවද ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි  බොහෝය.මෙම වසරේ ජූලි 31 වන විට ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් පැමිණිලි 105ක් ලැබී තිබේ.2022 වසරේ එය 214ක් වූ අතර 2021 වසරේ 375ක් ලෙසද 2020 වසරේ 228ක් ලෙසද වාර්තා වී ඇත. ඊට සමගාමිව දරුවන්ට  පාසල් අධ්‍යාපනය ලබා නොදීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.දරුවන් පාසල් නොයැවීම සම්බන්ධයෙන් 2020 වර්ෂයේ ලැබී තිබෙන් පැමිණිලි සංඛ්‍යාව 643කි. එය 2021 වසරේ 541 දක්වා අඩු වී තිබේ.2022 වර්ෂයේ එය 1231 දක්වා වර්ධනය වී තිබේ.එහෙත් ඒ සම්බන්ධයෙන් 2023ජූලි 31 දක්වා ලැබී තිබෙන්නේ  පැමිණිලි  6ක් පමණි. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කර තිබියදී ළමුන් පාසල් නොයවා ශ්‍රමිකයින් ලෙස  යොදා ගැනීම වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි. විශේෂයෙන් රටේ පවතින ආර්ථික,සමාජීය හේතු මේ සඳහා බලපානවාට සැක නැත.දරුවන් පාසල් යැවීමට ආර්ථික ශක්තියක් නොමැති වීම නිසාම ඔවුන්ව වැඩිහිටියන් විසින් සේවය පිණිස යොදවනු ඇත.ඇතැම් විට සිඟමනේ යොදවා හෝ මුදල් උපයාගැනීමට වැඩිහිටියන් විසින් පෙළඹී සිටි. හිසට උඩින් ඇති ආර්ථික ප්‍රශ්න හමුවේ ඇතැම් වැඩිහිටියන්ට දරුවන් පාසල් යැවීමේ නීතිය ගැන   හෝ දරුවන් ශ්‍රමිකයින්  ලෙස යොදා ගැනීමේ වරද ගැන වටිනාකමක්  නැති විය හැකිය.  එවැනි වැඩිහිටියන්ගේ එකම අරමුණ මුදල් උපයාගැනීම  පමණි. ඇතැම් විට දැරියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස විකිණීමට පවා  සමහරු පෙළඹී සිටිති. තවත් විටෙක දරුවන් නොයෙකුත් ජාවාරම් සඳහා යොදාගෙන තිබේ. එනම් මත්ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය බෙදාහැරීමට භාරදීමට ප්‍රවාහනය කිරීමට ළමුන් යොදාගනු ලැබීමයි.සාමාන්‍යයෙන් සෑම වසරකම දරුවන් මත්ද්‍රව්‍ය සහ නීති  විරෝධි ජාවාරම් කටයුතුවලට යොදවා ගැනීමේ පැමිණිලි 40ක් පමණ වාර්තා වේ.දරුවන් නීති විරෝධී ජාවාරම් කටයුතු සඳහා යොදවා ගැනීම පමණක් නොව ඒ සඳහා කැමති කරවා ගැනීමට, පෙළඹවීමට උත්සාහ දැරීම නීතියෙන් දැඩි දඬුවම් හිමිවන වරදකි.

එහෙත් දඬුවම් දීමෙන් පමණක් ළමා අපයෝජන වළක්වා ගත හැකිද යන්න පුළුල්ව විමසා බැලිය යුතු කාරණයකි.වර්තමානයේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න හමුවේ වැඩිහිටියන් ජීවත්වන්නේද ඉතා විශාල  පීඩනයකිනි. ඔවුන්ගේ පීඩනය මුදා හරිනු ලබන්නේ දරුවන්ගෙනි. එයින්  දරුවන් කෲරත්වයට භාජනය වේ. එමෙන්ම පාසල් අධ්‍යාපනය අනිවාර්‍ය කර තිබිය දී දරුවන්  පාසල් නොයවා සිටින්නේ අගහිඟකම් නිසා විය හැකිය.  ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදවන්නේ නැතිබැරිකම් නිසා විය හැකිය. දම්වැලක පුරුක් සේ එකිනෙකට සම්බන්ධ වී ඇති මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නීතියෙන් පමණක් කළ නොහැකි බව පැහැදිලි වනු ඇත. 

(ජනමාධ්‍යවේදීන්, තොරතුරු දැනගැනීමේ පනත ප්‍රයෝජනයට ගෙන ලිපි සම්පාදනය සඳහා උනන්දු කරවීට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සිදුකරන ලද ව්‍යාපෘතියකට අනුව මෙම ලිපිය සකස් කර පළකර ඇත.)

පළමු සබැඳිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!