spot_img
spot_imgspot_img

තොරතුරු පනතින් පුරවැසියා බලවත් වුණා ද ?

පුවත්

විදෙස්

සජීව විජේවීර විසිනි

මහනුවර උඩදෙණිය මහා විද්‍යාලයට එම පාසලේ ආදි සිසුවකු, දෙමාපියකු මෙන් ම ප්‍රදේශවාසියකු වන එස්.එම්.ෆර්ෂාන් ‍පාසල් සංවර්ධන සමිතියේ ගිනුම් වාර්තා ඇතුළු ‍තොරතුරු ඉල්ලූ විට එම විදුහලේ වැඩබලන විදුහල්පතිනි දීපා චන්ද්‍රාණි විජේසිංහ පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් කැඳවා තොරතුරු ඉල්ලූ පුද්ගලයාට තර්ජනාත්මකව බැන වැදුනාය. ඇය පවසන්නේ මේ තොරතුරු සෙවීමෙන් ළමයින්ගේ අධ්‍යාපනයට කිසිම දායකත්වයක් නොලැබෙන බවයි. මේවාට උත්තර නොදෙන බව කියමින් තර්ජනය කරන ඇය තමන්ගේ හිතවතුන් ලවා තොරතුරු ඉල්ලූ පුද්ගලයාට පවා තර්ජනය කරන්නීය.

මෙම ලේඛකයා ද උඩදෙණිය මහා විද්‍යාලයට එම තොරතුරුම ඉල්ලා අයදුම්පත්‍රයක් යොමුකළ අතර එම තොරතුරු ඉල්ලීම පාසලට ලැබෙන විට එහි සිටින්නේ වෙනත් විදුහල්පතිනියකි.

ඇය එම තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ලිපිය පහත සඳහන් කර ඇත.

පාසලේ තොරතුරු නිලධාරියා වන විදුහල්පතිනිය විසින් එවන ලද මේ පිළිතුරු ලිපිය ඇයට තොරතුරු පනත ගැන අවබෝධයක් නොමැති බවත්, අවම වශයෙන් ලිපියක් ලිවීමේ හැකියාවක් හෝ නොමැති බවත් පෙන්වා දෙයි.

මෙම වැඩබලන විදුහල්පතිනිය ද පෙර සිටි විදුහල්පතිනිය හා සමානවම කටයුතු කරමින් පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් කැඳවා ප්‍රකාශයක් කර තිබිණි. ඇය පවසන්නේ තොරතුරු ඉල්ලා ඇත්තේ ප්‍රදේශයේ පදිංචිකරුවකු නොවන බවයි. විජේවීර නම ඇති අයකු විසින් තොරතුරු ඉල්ලා ඇති බැවින් ඔහු ජේවීපී කාරයෙක් ලෙස ද පවසමින් ඇය මෙසේ කියා ඇත. “ඉස්සෙල්ලා හිටපු විදුහල්පතිනිය මගේ හිතවතියක්, ගමේ දී, කාර්යාලයේ දී මට හමුවෙනවා. ඒ නිසා මම මේ තොරතුරු දෙන්නේ නෑ. අපේ හිතවත් කම ඊට වඩා වටිනවා.”

මෙවැනි ම අත්දැකීමක් මව්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ බිඟුන් මේනක ගමගේට තිබේ.

ඔහු ළමා ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තා කිහිපයක් සහ සේවක වැටුප් විස්තර ඉල්ලා ඇත. ළමා ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාට, තොරතුරු නිලධාරී යනුවෙන් ආමන්ත්‍රණය කරමින් බිඟුන් මේ ඉල්ලීම කර තිබිණි. නමුත් ඔහුට තොරතුරු නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳ ළමා ආරක්ෂණ අධිකාරියේ නම්කළ නිලධාරීවරයා වන සභාපතිවරයාට නම්කළ නිලධාරීවරයාට යැවිය යුතු අභියාචනය යැවීමට පෙර දුරකථන ඇමතුමක් දී තිබිණි. බිඟුන්ට අසන්නට ලැබුණේ දැඩි දෝෂාරෝපණයකි. ඔහු ඒ ගැන මෙසේ සිහිපත් කරයි.

බිඟුන් මේනක ගමගේ

“මට ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති තුමා කතා කරලා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. ඔයා අපේ සාමාන්‍යාධිකාරීතුමාට ලියුමක් එවලා තියෙන්නේ තොරතුරු නිලධාරී කියලා ආමන්ත්‍රණය කරලා. මාධ්‍යවේදියෙක් වෙලා රජයේ නිලධාරියකුට අමතන්නවත් දන්නේ නැහැනේ. ඒ නිසා තමයි තොරතුරු දුන්නේ නැත්තේ. එතුමාගේ හිත හොඳටම රිදිලා.‍ මේ විදියට වැඩ කරන්න එපා.  ඒ වගේම ඇතැම් ආයතන අපි තොරතුරු ඉල්ලුවාට පස්සේ තමයි තොරතුරු නිලධාරීන් පත්කරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සතොස වැනි ආයතන තොරතුරු නිලධාරීන් පත්කළේ තොරතුරු ඉල්ලුවාට පස්සේ”

අප සමීක්ෂණයේ දී අනාවරණය වූ මෙවැනි සිදුවීම් රැසක් තිබේ. එයින් පැහැදිළි වන්නේ තවමත් ශ්‍රී ලංකාවේ පොදු අධිකාරීන්හි සිටින නිලධාරීන්ට තොරතුරු පනත සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ රජයේ ඉහළම ආයතනයයි. රාජ්‍ය වෙබ් අඩවි බහුතරයක නිර්මාණකරුවා ද දත්ත පද්ධතිවල නිර්මාණකරුවා ද වන්නේ එම ආයතනයයි.  අප පසුගිය දිනක එම ආයතනයේ පොදු දුරකථනයට ඇමතුමක් ගෙන විමසූ විට පිළිතුරු දුන් නිලධාරියා කියා සිටියේ තොරතුරු නිලධාරී හෝ නම්කළ නිලධාරී යනුවෙන් සඳහන් අය තම ආයතනයේ නොමැති බවයි. එමෙන් ම “‍තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත” යනු කුමක්දැයි ඔහු අපෙන් පෙරළා ප්‍රශ්න කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක වීම භාර දී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයටය. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ද ? එයට අවශ්‍ය පහසුකම් සපයන ලද්දේ ද ජනමාධ්‍ය අමාත්‍යාංශය විසිනි. නමුත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරීවරයා වෙත එම අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් ඊමේල් ලිපිනය වන   [email protected] ට තොරතුරු අයදුම්පත්‍රයක් යොමු කළ විට නිසි පරිදි පිළිතුරු ලැබුණේ නැත. මේ තොරතුරු නොලැබීම පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට ඔවුන් දැනුම් දුන්නේ එම ඊමේල් ලිපිනයේ මුරපදය අමතකව ඇති බැවින් තොරතුරු අයදුම්පත්‍ර නොලැබෙන බවයි. නැවත තො‍රතුරු එවන ලෙස අප වෙත දැනුම් දෙන ලදී.

ශ්‍රී ලංකාවේ දී අන්තර්ජාලය ඔස්සේ පිවිසිය නොහැකි ලෙස අවහිර කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම,  ඊමේල් ලිපින සහ වෙනත් අන්තර්ජාල පහසුකම් පිළිබඳ තොරතුරු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙතින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ශාලික රණතුංග ඉල්ලා තිබිණි. නමුත් එම ආයතන දෙකම තොරතුරු ලබා නොදුන් අතර ‍නමිකළ නිලධාරීට පැමිණිලි කළ විට කියා ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවන බැවින් තොරතුරු ලබාදිය නොහැකි බවයි. ඔහු එතැනින් ක්‍රියාවලිය අතහැර දමා තිබිණි.

අපි මේ සම්බන්ධ තොරතුරු ඉල්ලා සිටියෙමු. එවිට, විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තොරතුරු ලබාදී ඇතැයි පවසමින් ‍ශ්‍රී ලකා ටෙලිකොම් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් විදුලි සංදේශ නියාමන කොමිසම ද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද්දේ එලෙස අවහිරතා සිදුකර ඇත්තේ අධිකරණ නියෝග, ආරක්ෂක අංශවල ඉල්ලිම් සහ ළමා ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම් අනුව බව සඳහන් කරමිනි. ආයතන දෙකෙහිම නම්කළ නිලධාරීට අභියාචනා කළ ද ඔවුන් පෙර පරිදි ම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බැවින් තොරතුරු කොමිසම දක්වා පැමිණිල්ල රැගෙන යන ලදී.

එම අවස්ථාවේ දී නීතිඥ සමාගමක සහය ලබාගනිමින් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කියා සිටියේ තමන් පොදු අධිකාරියක් නොවන බවයි. 100%ක් ම පුද්ගලික සමාගමක් බැවින් තොරතුරු ලබා දිය නොහැකි බව පවසන ලදී. නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන පොදු අධිකාරියක් බව ප්‍රකාශ කරන ලද තොරතුරු දැනැගනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තොරතුරු ලබාදෙන ලෙස නියෝග කර ඇත. ටෙලිකොම් සමාගම මීට පෙර අවස්ථාවල දී තොරතුරු ලබා දී ඇති අතර ඔවුන් තම වාර්ෂික වාර්තා පවා තොරතුරු කොමිසමට එක් වර්ෂයක දී යොමුකර තිබූ ආයතනයකි. නමුත් තම පරිපාලනයට, දේශපාලන බල අධිකාරියට හානියක් සිදුවේයැයි අනුමාන කරන තොරතුරු හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීම සඳහා ඔවුන් නීතිඥ සමාගම්වලට පවා මුදල් ගෙවමින් කටයුතු කරන්නේ පුරවැසියා සතු තොරතුරු අයිතියට අභියෝග කරමිනි.

සමීක්ෂණය 01 – තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගේ අදහස විමසීම

මෙම සමීක්ෂණයට අප විසින් තෝරාගන්නා ලද්දේ මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් සහ නීතිඥයන් නොවන වෙනත් රැකියාවල නිරත වූ කණ්ඩායමකි. ඒ සඳහා 430 දෙනෙක් සහභාගී වූහ.

පොදු අධිකාරියකින් තොරතුරු දැනගැනීමට හැකියාව ඇති බව දන්නේ ද ?

තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පනත පාර්ලිමේන්තුවේ සම්මත වී ක්‍රියාත්මක වීම ආරම්භ කර වසර 06කට වැඩි කාලයක් ගත වී ඇතත් අපගේ සමීක්ෂණය අනුව මෙරට සමාජයේ පුද්ගලයන් අතරින් එවැනි අයිතිවාසිකමක් තමන් සතුව ඇති බව දන්නේ 50%ක පිරිසක් පමණි. 37%ක්ම පවසන්නේ එවැනි අයිතිවාසිකමක් නොමැති බවයි. එමෙන්ම 13%ක පිරිසකට ඒ ගැන කිසිම අදහසක් නැත.

තොරතුරු දැනගැනීමේ අයිතිය පනතක් හෝ කිසියම් නීතියක් මගින් සම්මත කර තිබේ ද ?

පොදු අධිකාරියකින් තොරතුරු ලබාගැනීමට හැකියාවක් ඇති බව දන්නේ සමීක්ෂණයට සම්බන්ධ වූ පිරිසෙන් 50%ක් වුව ද ශ්‍රී ලංකා‍ව තුළ තොරතුරු ලබාගැනීමට අදාල නීතියක් හෝ පනතක් ඇති බව සමීක්ෂණයට ලක්වූ අයගෙන් 75%ක පිරිසක් හෙවත් 332නෙකු දැන සිටියහ. තොරතුරු දැනැගැනීම සම්බන්ධයෙන් නීතියක් හෝ පනතක් නැතැයි සෘජුව පැවසූ සංඛ්‍යාව ද 11 දෙනෙකි. 97 දෙනෙකුට හෙවත් සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් 22.5%ක පිරිසකට ඒ ගැන නිශ්චිත අවබෝධයක් තිබුණේ නැත.

රාජ්‍ය ආයතනයකින් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය වූයේ ද ?

සමීක්ෂණයට ලක් වූ 430ක පිරිස අතරින් පුද්ගලයන් 344 දෙනකු හෙවත් 80%ක් ම පවසා ඇත්තේ තමන්ට රාජ්‍ය ආයතන වෙතින් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය වූ බවයි. තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නොවූ බව පවසා ඇත්තේ 20%ක් හෙවත් 86 දෙනකු පමණි.

රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගත හැකිවූවා ද ?

සමීක්ෂණයට සම්බන්ධ වූ 430ක පිරිසෙන් 183 දෙනකු ම පවසන්නේ අවශ්‍ය තොරතුරු තමන් රාජ්‍ය ආයතනවලින් ලබාගෙන ඇති බවයි. එම ප්‍රමාණය 42.5%කි. එලෙස තොරතුරු ලබාගත නොහැකි වූ බව පවසන සංඛ්‍යාව 161ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 37.5%කි. තොරතුරු ලබාගැනීමට අවශ්‍යතාවක් නොවුණු පිරිස ප්‍රතිශතයක් ලෙස 20%ක් වන අතර සංඛ්‍යාත්මකව 86 දෙනෙකි.

තොරතුරු ලබාගැනීමේ හැකියාව

මෙම සමීක්ෂණයට සම්බන්ධ වූ 430ක පිරිස අතරින් 409 දෙනකු හෙවත් 95%ක් ම පවසන්නේ පුරවැසියන් වන තමන්ට, තම අවශ්‍යතා වෙනුවෙන් තොරතුරු ලබාගැනීමට හැකියාවක් තිබෙන බවයි.

සමීක්ෂණය 02 – ඔබ සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් දන්නා මාධ්‍යවේදීන්,  සිවිල් ක්‍රියාකාරිකයන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සම්බන්ධ කරගෙන සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵළ මෙසේ ය. ඔවුන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත භාවිතා කර ඇතැයි උපකල්පනය කරමින් සමීක්ෂණයට ලක්කර ඇත.

තොරතුරු පනත භාවිතා කිරීම

තොරතුරු පනත සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇතැයි සහ එම පනත භාවිතා කරන්නට ඇතැයි අනුමාන කරන ලද නියැදියක්‍ තෝරාගෙන ඔවුන් පනත භාවිතා කළ ඇත්ද යන්න විමසූ විට පිළිතුරු සැපයූ 382ක පිරිසක් අතරින් අර්ධයකට වැඩි පිරිසක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධ පනත භාවිතා කර නැත. එම ප්‍රමාණය 210ක් හෙවත් පිළිතුරු දුන් සංඛ්‍යාවෙන් 55%කි. පිළිතුරු දුන් පිරිස අතරින් තොරතුරු දැනැගැනීමේ පනත භාවිතා කර තිබුණේ පුද්ගලයන් 172ක් හෙවත් 45%ක පිරිසකි.

ඉල්ලන ලද තොරතුරු වල ස්වභාවය

තොරතුරු ඉල්ලා ඇති පුද්ගලයන් සියලු දෙනාම මෙම ප්‍රශ්නයට පිළිතුරු දී තිබූ අතර එක් අයකුට එක් ප්‍රශ්නයකට වඩා පිළිතුරු දීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව වැඩි දෙනකු පවසා තිබුණේ පොදු සහ පුද්ගලික අවශ්‍යතා සඳහා තොරතුරු ඉල්ලා ඇති බවයි. එම සංඛ්‍යාව 115ක් වෙයි. පුද්ගලිික අවශ්‍යතා සඳහා තොරතුරු ඉල්ලූ සංඛ්‍යාව 32ක් වෙයි.

තොරතුරු පනත භාවිතා නොකිරීමට හේතු

අපගේ සමීක්ෂණයට ලක් වූ 382ක පිරිස අතරින් තොරතුරු පනත භාවිතා කර නැතැයි පැවසූ පිරිස 210ක් විය ඔවුන් එම පනත භාවිතා නොකිරීමට ප්‍රධානම හේතුව ලෙස සඳහන් කරන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත භාවිතා කිරීමට තමන්ට අවශ්‍යතාවක් ඇති නොවූ බවයි. එලෙස පැවසූ සංඛ්‍යාව 115කි. තොරතුරු පනත ගැන යම් අවබෝධයක් ඇතැයි අනුමාන කළ මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අතරින් 26 දෙනකු එය භාවිතා කර නැත්තේ තමන්ට මෙම පනත ගැන අවබෝධයක් නැති නිසා යැයි පවසා තිබේ. මාධ්‍යවේදීන් 03 දෙනකු ද ඒ අතර විය. එම මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කිරීමේ දී කියා සිටියේ තමන් තොරතුරු දැනගැනීම සම්බන්ධ පුහුණුවීම් සැසි එකකට හෝ අවම වශයෙන් සහභාගී වී ඇතත් එහි ක්‍රමවේදයේ සංකීර්ණ බව නිසා නිසි අවබෝධයක් ලබාගැනීමට නොහැකි වූ බවයි. අපගේ සමීක්ෂණයට ලක් වූ නියැදියේ සිටි 13 දෙනකු ම කියා ඇත්තේ තොරතුරු පනත නැතිව තමන්ට තොරතුරු ලබාගත හැකි බැවින් එම පනත භාවිතා නොකරන බවයි. ඒ සියලු දෙනාම මාධ්‍යවේදීන් ලෙස වෘත්තියේ නියැළෙන්නන් වීම විශේෂත්වයකි. එමෙන් ම තොරතුරු පනත භාවිතයෙන් තොරතුරු ලබාගැනීමට කාලයක් සහ වේලාවක් නොමැති නිසා එය භාවිතා නොකරන බව පවසන පුද්ගලයන් සංඛ්‍යාව ද 13 දෙනෙකි. අපගේ සමීක්ෂණයට ලක් වූ පුද්ගල නියැදිය අතර සිටි 07 දෙනකු මෙම පනත වැඩකට නැති පනතක් යැයි ද පවසා ඇත.

තොරතුරු ලැබුණු ආකාරය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව පොදු අධිකාරීන්ගෙන් තොරතුරු ඉල්ලා සිටිය ද කිසිම ආකාරයකින් තොරතුරු ලබාගත නොහැකි වූ අවස්ථා 14ක් ඇති බව අපගේ  සමීක්ෂණයට ලක්වූ කණ්ඩායම කියයි. පිළිතුරු දුන් සංඛ්‍යාව 172ක පිරිසක් බැවින්, එම පුරවැසියන් ප්‍රමාණය අපගේ නියැදියේ ප්‍රතිශතයක් 8.14%ක් බව පෙනී යයි. තොරතුරු නිලධාරී විසින් ම තොරතුරු ලබාදුන් බව පවසන සංඛ්‍යාව 54 දෙනෙකි. එය ප්‍රතිශතයක් ලෙස 31.39%ක් වෙයි. තොරතුරු ලබාගැනීම සඳහා නම්කළ නිලධාරියාට අභියාචනා ඉදිරිපත් කර ඇති සංඛ්‍යාව 20 දෙනෙකි. එම ප්‍රතිශතය 11.63% කි. තොරතුරු කොමිසමට ඉදිරිපත් කර පැමිණිල්ලක් විභාග නොකළ අවස්ථා තිබේ ද යන්න අප විමසා ඇති අතර අපගේ සමීක්ෂණයට ලක්වූ නියැදියේ සිටි අය අතරින් කිසිවෙකු එවැනි තත්වයකට මුහුණ දී නැත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත සම්බන්ධ මතය

අපගේ සමීක්ෂණයට ලක්වූ සමස්ත කණ්ඩායම 382ක් වූ අතර ඉන් 210 දෙනකු තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කර නැත. එසේ වුව ද මෙම ප්‍රශ්නයේ දී 356 දෙනකු තම අදහස් දක්වා තිබූ බැවින් පනත භාවිතා කර නැති අයද තම අදහස ප්‍රකාශ කර ඇතිබව එයින් පෙනී යයි. එමෙන් ම එක් අයකුට එක් ප්‍රශ්නයකට වඩා පිළිතුරු දීමේ හැකියාව ද අප ලබා දී තිබිණි.

ඒ අනුව, ලැබී ඇති පිළිතුරු 356 අතරින් 324 දෙනකු ම සෘජුව ප්‍රකාශ කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ඉතාමත් ප්‍රයෝජනවත් මහජන අයිතිවාසිකම් බවයි. එම මතය දරන පිරිස 91.52%ක් වෙයි. මෙම පනත ක්‍රියාත්මක වීම පිළිබඳ සතුටුදායක නොවන, නැතිනම් පනත ක්‍රියාත්මක වන්නේ සුළු වශයෙන් යැයි කියන පිරිස 95 දෙනෙකි. එලෙස පවසන අය අතරින් විශාල පිරිසක් පනත ප්‍රයෝජනවත්ය යන මතයේ සිටිති.  ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෑහීමකට පත්නොවන සංඛ්‍යාව අපගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් සංඛ්‍යාවෙන් 26.84%කි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත වැඩකට නැතැයි කියන 06 දෙනකු ද අපගේ සමීක්ෂණ නියැදියේ සිටි අතර මෙම පනත ගැන නිශ්චිත අදහසක් නොමැති සංඛ්‍යාව 13 දෙනෙකි.

පොදු අධිකාරිය තොතුරු ලබාදීමේ දී කටයුතු කරන ආකාරය

අපගේ සමීක්ෂණයට ලක් වූ කණ්ඩායමෙන් 363 දෙනකු මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබූ අතර එක් අයකුට එක් ප්‍රශ්නයකට වඩා තෝරාගැනීමට හැකියාව ලබා දී තිබිණි.

ඒ අනුව, පොදු අධිකාරිය ඉතාමත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමට උනන්දුවක් දක්වන බව 13 දෙනකු පවසා තිබේ. මෙය අපගේ නියැදියෙන් 3.58%ක ප්‍රතිශතයකි. මෙය සමස්තයක් ලෙස ඉතාමත් අඩු අගයක් ගන්නා බව පෙනී යයි. පොදු අධිකාරිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්නේ නැති බව පවසා ඇති සංඛ්‍යාව 140කි. එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 38.57%කි. එමෙන්ම 115 දෙනකු පවසන්නේ පොදු අධිකාරීන් තොරතුරු ලබාදීම මඟහැරීමට උත්සාහ කරන බවයි. එම ප්‍රතිශතයක ද 31.68%කි. පොදු අධිකාරීයකින් තොරතුරු ඉල්ලා සිටි පසු නැවත ඒ සම්බන්ධයෙන් පසු විපරමක් නොකරන්නේ නම් අවශ්‍ය තොරතුරු නොලැබෙන බව 80 දෙනකු කියයි. එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 22.03%ක් න අතර, රාජ්‍ය නිලධාරීන් තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට කැමැත්තක් නැතැයි පවසන සංඛයාව ද 51 දෙනෙක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 14.04%ක් වෙයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධ අවබෝධය

අපගේ සමීක්ෂණයට සම්බන්ධ වූ 382ක පිරිස අතරින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා තිබුණේ 312ක පිරිසකි. එම අය අතරින් 248 දෙනකු පවසන්නේ තමන්ට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ‍පනත සම්බන්ධයෙන් අවබෝධයක් ඇති බවයි. එම 248 දෙනා අතරින් 76 දෙනකු තමන්ට හොඳ අවබෝධයක් ඇති බව පවසයි.

පනත සම්බන්ධයෙන් දැන සිටියත් ඇති අවබෝධය ප්‍රමාණවත් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් පුහුණුවක් අවශ්‍ය බව සහ අදහසක් නැතැයි පවසන සංඛ්‍යාව 64 දෙනෙකි. එයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් යම් නිශ්චිත අවබෝධයක් සහ පුහුණුවක් ඇති එමෙන්ම එම පනත භාවිතා කරනවා යැයි අප විසින් උපකල්පනය කරන ලද සමීක්ෂණයට ලක්වූ කණ්ඩායමේ පිළිතුරු දුන් අයගෙන් 20.51%ට මේ පනත සම්බන්ධ නිසි වැටහීමක් හෝ අවබෝධයක් නොමැති බවයි.

තොරතුරු පනත භාවිතා කිරීමේ දී ඇති වූ අපහසුතා

මෙම ප්‍රශ්නයට පිළිතුරු දී තිබුණේ 286 දෙනකු පමණි. නමුත් එහි දී නිරීක්ෂණය වූ වැදගත් කරුණක් වනනේ තොරතුරු පනත භාවිතා නොකළ බව පැවසූ පිරිසක් ද මේ ප්‍රශ්නයට පිළිතුරු දී තිබීමයි. කෙසේ වෙතත් වැඩි දෙනකුගේ අදහස වන්නේ පොදු අධිකාරීන්, තොරතුරු නිලධාරීන් සහ නම්කළ නිලධාරීන් හඳුනාගත නොහැකිවීමේ ගැටලුවක් ඇති බවයි. එලෙස සඳහන් කර ඇති සංඛ්‍යාව 114 දෙනෙකි. තොරතරු නොලැබුණු විට ගත හැකි ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් නොමැතිවීම ද ගැටලුවක් බව 89 දෙනකු සඳහන් කර තිබිණි. ඉල්ලීම් සිදුකළ යුතු ආකාරය, අභියාචනා කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධය අඩුවීම ගැටලුවක් බව 32ක පිරිසක් පවසා තිබූ අතර අභියාචනා දින වකවානු මඟහැරී යාම නිසා තොරතුරු පනත සාර්ථක කරගැනීමට නොහැකි වන බව කියූ පිරිස 45 දෙනෙකි.

තොරතුරු කොමිෂන් සභාව සතු දත්ත මගින් අනාවරණය වන තොරතුරු

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව යමින් 2016 වර්ෂයේ දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි. ඉන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 1(3) වගන්තිය යටතේ, 2017 ජනවාරි 20 වැනි දිනැති ගැසට් අංක 2002/42 හි ප්‍රකාශයට පත්කරන ලද නියෝගයෙන් ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා විසින් නියම කරන ලද පරිදි 2017 පෙබරවාරි මස 03 වැනි දින සිට තොරතුරු කොමිෂන් සභාව ක්‍රියාත්මක විය. ඒ අනුව තොරතුරු වලට පුරවැසියන් ප්‍රවේශවීමේ ක්‍රියාවලිය ආරම්භ විය. පනතේ විධිවිධානවලට අනුව තොරතුරු සඳහා කරන ලද ඉල්ලීමකට තොරතුරු නිලධාරියා සහ නම්කළ නිලධාරියා විසින් ලබා දී ඇති ප්‍රතිචාරයන්ගෙන් පුරවැසියා සෑහීමකට පත්වන්නේ නැතිනම්, ප්‍රමාණවත් නොවන්නේ නම් හෝ තොරතුරු නිවැරදි නොවන්නේ නම් හෝ පීඩාවට පත්වන්නේ නම් නියමිත කාලසීමාවක් ඉකුත්වීමෙන් පසුව තවත් නියමිත කාලසීමාවක් ඇතුළත තොරතුරු කොමිසමට අභියාචනා කළ යුතුය. ඒ අනුව තොරතුරු කොමිසමට පළමු අභියාචනය ලැබී ඇත්තේ 2017 මාර්තු මස 22 වැනි දින දී ය. එය 2017 අප්‍රේල් මස විභාගයට ගෙන ඇති අතර මේ දක්වා අඛණ්ඩව එවැනි අභියාචනා ලැබෙයි.

රාජ්‍ය ආයතන ජාතික මට්ටමින්, පළාත් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන වශයෙන් හඳුනාගෙන ඇති අතර ඒවායේ තොරතුරු නිලධාරීන් පත්කිරීම සහ නම්කළ නිලධාරීන් පත්කිරීම ද සිදුකර තිබේ. ඊට අමතරව මෙම නිලධාරීන්ට පනත පිළිබඳ හඳුන්වාදෙමින්, ව්‍යතිරේක පිළිබඳ අවබෝධයක් ද ලබා දී පුහුණු සැසි ගණනාවක් ද පවත්වා ඇත.

2023-05-31 වැනි දිනය වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පොදු අධිකාරීන් 1588ක් ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පවසයි.

රජය සමඟ ගිවිසුම් ගතවන පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විදේශ ආධාර ලබාගන්නා සංවිධාන සහ ආයතන ද පොදු අධිකාරීන් ලෙස සළකන බැවින් මෙරට ක්‍රියාත්මක පොදු අධිකාරීන් සංඛ්‍යාව ඊට වඩා ඉහළ අගයක් ගන්නා අතර අවශ්‍යතාව අනුව එය වෙනස්වන බැවින් රජයේ පොදු අධිකාරීන් 1588 යන්න පමණක් ස්ථිර අගයක පවතී. නමුත් නව ආයතන පිහිටුවීම, පවතින ආයතන හෝ කමිටු, කොමිෂන් සභා ආදිය වසා දැමීම හෝ කාලය අවසන්වීම මත පොදු අධිකාරී සංඛ්‍යාව නිරන්තරව විචල්‍ය අගයක පවතී. අප මෙම සමීක්ෂණය පුරාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පොදු අධිකාරීන් සංඛ්‍යාව 1588ක් ලෙස සළකන ලදී

තොරතුරු වෙත ප්‍රවේශවීමේ ගැටලු මතු වූ අවස්ථා

පොදු අධිකාරීන් විසින් පුරවැසියාට තොරතුරු නිලධාරී මගින් හෝ ‍නම්කළ නිලධාරීවරයා වෙත අභියාචනා කිරීමෙන් අනතුරුව හෝ තොරතුරු වෙත ප්‍රවේශවිමට අවස්ථාව නොදීම, ප්‍රමාණවත් තොරතුරු ලබා නොදීම, වැරදි තොරතුරු ලබාදීම සහ තොරතුරු ඉල්ලුම්කරු පීඩාවට පත්වීම යන කරුණු හේතුවෙන් තොරතුරු කොමිසමට අභියාචනා ඉදිරිපත් වීම සිදුකරයි.

අප කළ සමීක්ෂණයේ දී පෙනී ගියේ තොරතුරු ලබාදීම තොරතුරු නිලධාරී සහ නම්කළ නිලධාරී විසින් ප්‍රතික්ෂේප කර හෝ පැහැර හැර ඇති අවස්ථාවල දී කාලවාරෝධය පිළිබඳ අවබෝධයක් නොමැති වීම පනතේ විධිවිධාන පිළිබඳ සැළකිලිමත් නොවීම සහ අවබෝධයක් නොමැතිවීම යන කරුණු නිසා තොරතුරු කොමිසමට ඉදිරිපත් විය යුතු සහ ඉදිරිපත් කළ හැකි අභියාචනා සැළකිය යුතු ප්‍රමාණයක් ඉදිරිපත් නොවන බවයි. එය තොරතුරු පනත සමඟ නිරන්තර කටයුත කරන මාධ්‍යවේදීන්, සිවිල් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් බහුතරයක් විසින් උදාහරණ සහිතව තහවරු කළ  කරුණකි.

තොරතුරු කොමිසම විසින් නිකුත් කර ඇති 2017, 2018, 2019, 2020 සහ 2021 වාර්ෂික වාර්තා අනුව ලැබී ඇති අභියාචනා සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති ආකාරය පහත දැක්වේ

පළාත් වශයෙන් සැළකූ විට ඒ ඒ වර්ෂවල දී පැමිණිලි ඉදිරිපත් වී ඇති ආකාරය පහත දැක්වෙයි.

මේ අනුව සළකා බැලූ විට වැඩිම අභියාචනා සංඛ්‍යාවක් කොමිසම වෙත ඉදිරිපත් වී ඇත්තේ බස්නාහිර පළා‍ත තුළිනි. දෙවැනි ස්ථානයට වැඩිම අභියාචනා සංඛ්‍යාවක් දකුණු පළාතෙන් ඉදිරිපත් ව ඇති අතර 2021 වර්ෂයේ දී පමණක් දකුණු පළාතෙන් ඉදිරිපත් වූ අභියාචනා සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් ඉදිරිපත් වූ අභියාචනා සංඛ්‍යාවට වඩා වැඩි වී ඇත. 2021 වර්ෂයේ දී දකුණු පළාතෙන් අභියාචනා 268ක් කොමිසම වෙත ඉදිරිපත් වී ඇති අතර බස්නාහිර පළාතෙන් ඉදිරිපත් වූ අභියාචනා සංඛ්‍යාව 239කි. මධ්‍යම පළාත අභියාචානා ඉදිරිපත් කිරීමෙන් තුන්වැනි තැනට පත්ව ඇති අතර තොරතුරු කොමිසම පිහිටවූ දින සිට 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා අඩුම අභියාචනා සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ ඌව පළාතෙනි.

තොරතුරු කොමිසම වෙත ඉදිරිපත්වන අභියාචනා සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් තොරතුරු ඉල්ලීමේ ප්‍රවණතාව පිළිබඳ නිගමනයකට එළඹීමට හැකියාවක් නැත. නමුත් එයින් අපට නිගමනය කළ හැක්කේ තොරතුරු ලබා නොදීමේ ප්‍රවණතාව පිළිබඳවය. එසේ වුව ද අප කරන ලද සමීක්ෂණය අනුව තොරතුරු ඉල්ලා සිටින බහුතරයක් පළමු සහ දෙවැනි අවස්ථාවල දී තොරතුරු ඉල්ලා නොලැබුණු විට පැමිණිලි කොමිසම දක්වා යාම අතපසු කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාලේඛනය ඒ ඒ පළාත් මට්ටමින් තොරතුරු පනත නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ නිගමනයකට එළඹීම සඳහා ප්‍රමාණවත් දත්තයක් ද වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ තොරතුරු පනත ක්‍රියාත්මක වූ ආරම්භයේ සිට මේ දක්වාම විද්‍යුත් තැපැල් මගින් පමණක් තොරතුරු ඉල්ලන මාධ්‍යෙව්දී චාමර සම්පත් පවසන්නේ ශ්‍රී ලංකාවේ අගනුවර වූ කොළඹ පිහිටි කර්යාල සහ අමාත්‍යාංශ, ප්‍රධාන දෙපාර්තමේන්තු වැනි ආයතනවලට වඩා දුෂ්කර ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය සභා, පළාත්  සභා ආයතන  වැනි රාජ්‍ය ආයතනවලින් ඉතාමත් කඩිනමින් තොරතුරු ලැබෙන බවයි. ඔහුගේ එම ප්‍රකාශය අනුව ඌව, උතුරුමැද සහ වයඹ වැනි පළාත්වලින් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම වීමට එය එක් හේතුවක් ද විය හැකිය.

මාධ්‍යෙව්දී චාමර සම්පත්

“මම මුල ඉදලම තොරතුරු පනත යටතේ ඉල්ලීම් කළේ ඊමේල් මගින්. ඉතාමත් දුෂ්කර ප්‍රදේශවල ආයතන මේ තොරතුරු ඉල්ලීම්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වුවා. නමුත් කොළඹ වැනි නාගරික ප්‍රදේශවල තියෙන ආයතන, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මේ ප්‍රතිචාර දැක්වීම ඉතාමත් අඩුයි. සමහර වෙලාවට ඊමේල් එකක් යවලා ලැබුණද කියලත් අහන්න වෙනවා. ඒ ඇහුවමත් වෙන වෙන ඊමේල් ලිපින ලබා දෙනවා එවන්න කියලා. නමුත් කොරෝනා වසංගතයත් එක්ක ගොඩක් ආයතන මේ ඊමේල් ක්‍රමයට පුරුදු වුණා. ඒක හොඳ ප්‍රවණතාවක්“

තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට නොහැකි ද ?

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, රාජ්‍ය පාලනයේ විනිවිධභාවය පවත්වාගෙන යාම සහ වගවීම තහවුරු කිරීම සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අතිශය වැදගත්වේ. මෙම පනත අනුව තොරතුරු සඳහා ප්‍රවේශය තහවුරු කර ඇති අතර තොරතුරු පනතට අදාලව ඒ ඒ පොදු අධිකාරීන් ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්ෂික වාර්තාවක් තොරතුරු කොමිසම වෙත යැවීම අනිවාර්ය වේ. තව ද එම වාර්ෂික වාර්තාව අදාල පොදු අධිකාරියේ වෙබ් අඩවියේ ප්‍රගාමී තොරතුරක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම ද අනිවාර්ය ය.

මේ නිසා අපි තොරතරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට තොරතුරු ඉල්ලුම් පත්‍රයක් යොමුකරමින් ශ්‍රී ලංකාවේ පොදු අධිකාරීන් පිළිබඳ නාම ලේඛනයක් සහ ඒවායේ තොරතුරු නිලධාරී, නම්කළ නිලධාරී යන අයගේ සම්බන්ධ කළ හැකි ඇමතුම් අංක සහ විද්‍යුත් තැපැල් ලිපින ඉල්ලා සිටියෙමු.

නමුත් ඊට පිළිතරු වශයෙන් ලැබුණේ එම තොරතුරු, තොරතුරු කොමිෂන් සභාව සන්තකයේ හෝ භාරයේ හෝ නොමැති බවයි.

එමෙන් ම 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කොපමණ පොදු අධිකාරීන් සංඛ්‍යාවක් විසින් වාර්ෂික වාර්තා එවා තිබේ ද යන්න විමසූ විට කොමිසමෙන් පිළිතුරු ලිපියක් මගින් එවා තිබුණේ ඒ වාර්තා පිළිබඳ තොරතුරු කොමිෂන් සභා කාර්යාලයට පැමිණ ලබාගත හැකි බවයි. නමුත් කාර්යාලයට ගිය විට එම වාර්තා ලබාගත නොහැකි විය. තොරතුරු කොමිසම කාර්යාලයේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවිම මේ ගැටලුවට හේතුවක් බව දැනගන්නට ලැබිණි. ඒ වනවිට තොරතුරු කොමිෂන් සභාවේ වෙබ් අඩවියට, වාර්ෂික වාර්තා එවන ලද පොදු අධිකාරීන්ගේ ලේඛන ඇතුළත් කර තිබිණි. එය නාම ලේඛනයක් පමණි. එවන ලද වාර්තා ඇතුළත් කර නැත.

එම ලේඛන අනුව ශ්‍රී ලංකාවේ පොදු අධිකාරී 1588ක් රජයේ ආයතන ලෙස පවතින අතර එම ආයතන වාර්ෂික වාර්තා එවා ඇත්තේ පහත සඳහන් පරිදිය.

මෙම වගුවේ දී ශ්‍රී ලංකාවේ පොදු අධිකාරීන් සංඛ්‍යාව 1588ක් ලෙස සළකා ඇත. නමුත් සැබැවින්ම එම අගය ඊට වඩා වැඩිවිය යුතු බව තොරතුරු කොමිසම කාර්යාලය පවසයි.

රජයේ අමාත්‍යාංශ සඳහා විෂය පථයන් ගැසට් කිරීම අනුව 2016 වර්ෂයේ දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ පටන් මේ දක්වා ම එම පනත ජනමාධ්‍ය අමාත්‍යාශයේ විෂය පථයට ඇතුළත් කර තිබේ.

2017 – 2021 දක්වා වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමේ දී මෙම විෂය භාර අමාත්‍යාංශය වූ ජනමාධ්‍ය අමාත්‍යාංශය තොරතුරු පනතට අදාල වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2017 වර්ෂයේ දී සහ 2020 වර්ෂයේ දී පමණි. එමෙන් ම ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම දක්වා ඇති උනන්දුව ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැක.

2017 වර්ෂයේ දී අමාත්‍යාංශ 10ක් පමණක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර ඇති අතර 2018 වර්ෂයේ දී වාර්ෂික වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍යාංශ 14ක් පමණි. 2019 වර්ෂයේ දී අමාත්‍යාංශ 12ක් පමණක් සිය වාර්ෂික වාර්තා ඉදිරිපත් කර ඇති අතර 2020 වර්ෂයේ අමාත්‍යාංශ 14ක් සහ 2021 වර්ෂයේ දී අමාත්‍යාංශ 17ක් පමණක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ ඇති පොදු අධිකාරීන් පනත සහ එහි ව්‍යාතිරේක ප්‍රකාරව නිසි පරිදි කටයුතු කරන්නේ නම් අපට මෙවැනි පර්යේෂණ කාර්යයක දී ශ්‍රී ලාංකිකයන් කොතරම් තොරතුරු ප්‍රමාණයක් ඉල්ලුම් කර තිබේ ද යන්න පිළිබඳවත්, එම තොරතුරු නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව හෝ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාව කොතෙක් ද යන්න පිළිබඳ පැහැදිලිව සංඛ්‍යාලේඛන දත්ත අනුව සෙයා බැලීමට හැකියාව පවතී. නමුත් පොදු අධිකාරීන් එලෙස වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකරන බැවින් එවැනි තක්සේරුවක් සිදුකිරීමට නොහැකි තත්වයක් උදා වී ඇත.

තොරතුරු කොමිසම වෙත 2021 වර්ෂයට අදාලව වාර්ෂික වාර්තා ඉදිරිපත් කර තිබූ අමාත්‍යාංශ 17ක වෙබ් අඩවි වෙත ප්‍රවේශ වූ අපි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 10 වැනි වගන්තිය අනුව වාර්ෂික වාර්තා එම වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කර ඇත්ද යන්න නිරීක්ෂණය කළෙමු.

එවිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ, තොරතුරු පනත අනුව සැකසූ වාර්ෂික වාර්තා සහ අර්ධ වාර්ෂික වාර්තා දැක්වෙන බවට සබැඳි ඇති අතර එම වාර්තා 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වාම පිළිවෙලින් දක්වා තිබිණි. නමුත් මෙම වාර්තා වෙන වෙනම නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ එය ව්‍යාජයක් බවයි. ඔවුන් එහි දක්වා ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 10 වැනි වගන්තියේ දැක්වෙන වාර්තාව වැනි වාර්තාවක් නොව වෙනත් අදාල නොවන වාර්තාවකි. එවැනි අදාල නොවන වාර්තා පළ කිරීමෙන් එම අමාත්‍යාංශය ශ්‍රී ලාංකික පුරවැසියන් නොමඟ යවමින් සිටියි.

සබැඳිය මෙතැනින් –

https://www.pubad.gov.lk/web/images/latest_document/RTI/biannual-report-under-section8-rti-act-no-12-2016-from-01-01-2021-30-06-2021-s.pdf

ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ 2021 වාර්ෂික වාර්තාව දක්වා ඇත. එහි දිනය සඳහන් කර ඇත්තේ 2023-01-02 නිකුත් කළ බව දක්වමිනි. නමුත් මෙම වෙබ් අඩවියේ මීට පෙර වර්ෂවල වාර්ෂික වාර්තා ඇතුළත් කර නැත. ඒ අනුව පෙනී යන්නේ ආරක්ෂක අමාත්‍යාංශය ද එක් වාර්තාවක් දක්වමින් තමන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුකූලව කටයුතු කරන බව පෙන්වා දීමට උත්සාහ ගත්ත ද විනිවිදභාවයක් නොමැති බවයි.

සබැඳිය මෙතැනින් –

https://www.defence.lk/Publication_Sinhala/right_to_information

අනෙක් අමාත්‍යාංශ 15හි ම කිසිම ආකාරයකින් වාර්ෂික වාර්තා දක්වා නැත. 2021 වර්ෂයට අදාළව තොරතුරු කොමිසම වෙත සිය වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොතිබූ ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යන වෙබ් අඩවි වෙත ගොස් නිරීක්ෂණය කළ විට දක්නට ලැබුණේ එම වෙබ් අඩවිවල ද වාර්ෂික වාර්තා පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවයි.

මීට අමතරව 2021 වර්ෂයේ වාර්ෂික වාර්තා තොරතුරු කොමිසම වෙත සපයා ඇති බව තොරතුරු කොමිසමේ ලේඛනයේ සඳහන් පොදු අධිකාරීන් 30ක් අහඹු ලෙස තෝරාගෙන එම පොදු අධිකාරී විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිවිල වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කර ඇත්දැයි සොයා බැලූ විට පෙනී ගියේ එම කිසිම වෙබ් අඩවියක අදාල වාර්තා පළකර නැති බවයි.

පනතේ විධිවිධාන සහ ව්‍යාතිරේක අනුව, පොදු අධිකාරීන් විසින් නිසි පරිදි වාර්ෂිික වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති බව මේ අනුව පැහැදිළි වෙයි. නමුත් එලෙස වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකළ කිසිම පොදු අධිකාරියකට එරෙහිව නීතිමය කාර්යයක් මෙතෙක් සිදුව නැති බව අප තොරතුරු කොමිසම කාර්යාලයෙන් විමසූ විට දැනගන්නට ලැබිණි. එය තොරතුරු කොමිසම විසින් නොසළකා හැර ඇත.

කැමති භාෂාවකින් තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සියලුම රාජ්‍ය ආයතනවලට අදාල වේ. එය තොරතුරු කොමිසමට ද අදාලය. එමෙන්ම තොරතුරු පනත අනුව තමන්ට කැමති ආකාරයෙන් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු ඉල්ලීමට පුරවැසියාට ඇති අයිතිය තහවරු කර ඇත.

නමුත් මෙම තොරතුරු පුරවැසියාට තමන් කැමති භාෂාවකින් ලබාගත හැකි ද යන්න පිළිබඳ තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

තොරතුරු කොමිසමේ වෙබ් අඩවිය බැලූ බැල්මට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පවත්වාගෙන යන්නේ වුව ද එහි සෑම කරුණක්ම ඉංග්‍රීසි භාෂාවෙන් දැකගත හැකිය. නමුත් සිංහල සහ දෙමළ භාෂාවෙන් ඇත්තේ ඇතැම් කරුණුු සහ ලේඛන පමණක් වීම ගැටලුවකි. ඒ අතරින් ද දෙමළ භාෂා භාවිතය සිංහල භාෂාවට සාපේක්ෂව අඩු අගයක පවතින බව පෙනී යයි.

සිංහල අතුරු මුහුණත පහතින්

දෙමළ අතුරු මුහුණත පහතින්

                                                

තොරතුරු කොමිසම සිය වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරිමේ දී ද භාෂාව සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකර තිබේ.

ඉංග්‍රීසි භාෂාවෙන් 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වාම වාර්ෂික වාර්තා වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇති අතර සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ 2017, 2018 සහ 2019 වාර්ෂික වාර්තා පමණි. දෙමළ භාෂාව භාවිතා කරන පුරවැසියන්ට තොරතුරු කොමිසමේ දෙමළ භාෂා අතුරු මුහුණතට පිවිසි විට 2017 වර්ෂික වාර්තාව ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කර ඇතත් එය වාර්ෂික වාර්තාවක් නොවේ. වෙනත් ලේඛනයකි. එය ඉංග්‍රීසි ලේඛකනයකි. එමෙන්ම 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව ලෙස සඳහන් කර ඇතත් එම වාර්තාව ඇත්තේ ද ඉංග්‍රීසි භාෂාවෙන් මිස දෙමළ භාෂාවෙන් නොවේ. 2019 වාර්ෂික වාර්තාව වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇතත් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇති 2019 වාර්ෂික වාර්තාවට සාපේක්ෂව මෙම දෙමළ භාෂා වාර්ෂික වාර්තාව ඉතාමත් සංක්ෂිපත් කෙටි වාර්තාවකි. සම්පූර්ණ වාර්ෂික වාර්තාව දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කිරීමට තොරතරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය අසමත්ව ඇත. 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව දෙමළ භාෂාවෙන් දක්නට ඇත. එය ඉතාමත් සාධනීය සළකුණකි. නමුත් 2020 එම වාර්ෂික වාර්තාවේ සිංහල පිටපතක් නැත. 2021 වාර්ෂික වාර්තාවේ ඇත්තේ ඉංග්‍රීෂ පිටපතක් පමණක් වීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියත් තොරතුරු වෙත තමන්  කැමති භාෂාවකින් ප්‍රවේශවීමට තොරතුරු පනත මගින් පුරවැසියාට දී ඇති අයිතියත් උල්ලංඝනය වී ඇත.

රජයේ පොදු අධිකාරීන් විසින් ඔවුන්ගේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කර ඇති බව දැක්වෙන ලේඛන ඒ ඒ වර්ෂයට අදාලව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට එක්කර තිබේ. සබැඳිය පහතින් දක්වා ඇත.

http://www.rticommission.lk/web/images/pdf/Section-10/2018.pdf

නමුත් මෙම ලේඛන සියල්ල ඇත්තේ සිංහල භාෂාවෙන් පමණි. එම ලේඛන දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත නොහැක.

එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම විසින් ලබාදෙන නියෝග වෙබ්අඩවියට ඇතුළත් කිරීමේ දී එම නියෝග භාෂා ත්‍රිත්වයෙන් ම ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තිය කොමිෂන් සභා කාර්යාලය විසින් අනුගමනය නොකරන බව පැහැදිළිව දක්නට ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ, පළාත් මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ පොදු අධිකාරීන් විසින් ද භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි අනුගමනය නොකරන බවටත්, තොරතුරු දැනගැනීමේ පනතේ සඳහන් පරිදි තමන් කැමති භාෂාවකින් තොරතුරු ලබාගැනීමේ අයිතිවාසිකම තමන්ට අහිමිවන බවත් තොරතුරු ඉල්ලූ ඇතැම් පුරවැසියන් අප සමඟ පවසා ඇත.

මාධ්‍යවේදිනී දිනූෂා නාගරත්නම් – තමිලන් පුවත්පත

“මම අවුරුදු 04ක විතර කාලයක සිට තොරතුරු දැනගැනීමේ පනත වරින්වර පාවිච්චි කරනවා. මම දෙමළෙන් තොරතුරු ඉල්ලුවාම පොදු අධිකාරිය තොරතුරු දෙන්නේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන්. මම එහෙම තොරතුරු දුන්නු තැන් කිහිපයකට කතා කරලා දෙමළ භාෂාවෙන් එවන්න කියලා ඉල්ලීමක් කළා. එතකොට කල් අරගෙන දෙමළ භාෂාවෙන් එවනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ දෙමළ භාෂාවෙන් එවන තොරතුරු කලින් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් එවපු තොරතුරු එක්ක සංසන්දනය කළාම අඩු පාඩු තියෙනවා. ඒවා සාරාංශගත කරලා එවන්නේ. මේ ප්‍රශ්නය මට දිගටම තියෙන ගැටලුවක්.“

මාධ්‍යවේනී, කලාවර්ෂනී කනකරත්නම් මෙසේ පවසයි.

“දෙමළ භාෂාවෙන් දාපුවට මට තොරතුරු ලැබෙන්න ගොඩක් පරක්කු වුණා. සමහර ඒවා ලැබුණෙම නෑ. මම සිංහල කතා කරන්න දන්නවා සිංහල ලියන්න දන්නේ නෑ. ඒ නිසා වෙන කෙනෙකුට කියලා සිංහලෙන් ලියලා ඉල්ලුවාම ලැබෙනවා. මේ භාෂා ප්‍රශ්නය නිසා අපිට තොරතුරු ලබාගැනීමේ දී ඇතිවන ප්‍රශ්න ගැන ඇත්තටම කණගාටුයි. පනතේ තියෙන ප්‍රතිපාදන ගැන රාජ්‍ය නිලධාරීන් සැළකිලිමත් නොවන නිසා මෙහෙම වෙනවා. මම ආයතනවලින් තොරතුරු ඉල්ලලා කෝල් කරාම එක එක නිලධාරීන්ට ඇමතුම දානවා. කවුරුවත් වගකීම ගන්නේ නැහැ.“

පොදු අධිකාරීන්ට නිශ්චිත ක්‍රමවේදයක් නැද්ද ?

තොරතුරු පනත සම්මත කර වසර 06කට වැඩි කාලයක් ගත වී ඇතත් ශ්‍රී ලංකා රජයේ පොදු අධිකාරීන් එම පනත අනුව නිසි පරිදි ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳ තවමත් බරපතල ගැටලුවක් තිබේ.

පොලිසිය තොරතුරු දීම පැහැර හැරීම

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අනුව තොරතුරු ඉල්ලීමේ නිරන්තරව නියැළී සිටින බොහෝ දෙනකු පවසන්නේ පොලිසිය තොරතුරු දීම හැකිතාක් මඟහරින බවයි. බොහෝ විට පොලිසියෙන් තොරතුරු ලබාගැනීමට නම් තොරතුරු කොමිසම දක්වාම යාමට සිදුව ඇති බව ඔවුහු කියති..

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පසුගිය අරගල කාලයේ පොලිසිය කඳුළු ගෑස් භාවිතා කළ ආකාරය සම්බන්ධ තොතුරු ඉල්ලීම රටපුරාම ප්‍රකට වූ කරුණකි. තරිඳු පවසන්නේ පොලිසියෙන් තොරතුරු ඉල්ලූ විට ඔවුන්ගේ තොරතුරු නිලධාරීවරයා හෝ නම්කළ නිලධාරීවරයා තොරතුරු නොදීමේ ප්‍රවණතාව දැන් 99%ක් පමණ වන බවයි.

ඒ හේතුවෙන් තොරතුරු කොමිසමට පැමිණිලි කළ විට පොලිස් නිලධාරීන් පැමිණ “අපි මේක නොදී හිටියේ කොමිසමෙන් නියෝගයක් ලැබෙන තුරු“ යැයි කිහිප අවස්ථාවක දී ම පැවසූ බව තරිඳු ජයවර්ධන සිහිපත් කරයි.

තොරතුරු පනත සම්මත වූ අවස්ථාවේ, පොලිසිය තොරතුරු නිලධාරීන් ලෙස ස්ථානාධිපතිවරු පත්කර තිබුණ ද මේ වනවිට එය වෙනස්කර තිබේ. කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තොරතුරු නිලධාරීන් ලෙස පත්කර ඇති අතර නම්කළ නිලධාරියා වන්නේ පොලිස්පතිවරයා ය. නමුත් මේ බව නිසි පරිදි නොදන්නා පුරවැසියන් තොරතුරු ඉල්ලීම් ස්ථානාධිපතිවරුන්ට යොමුකරයි. එමෙන්ම නම්කළ නිලධාරී අභියාචනය ද වෙනත් ස්ථානවලට යොමුකිරීම සිදුවෙයි.

පනත අනුව යම් පොදු අධිකාරියකට තමන්ට අදාළ නොවන අයදුම්පත්‍රයක් ලැබී ඇත්නම් එය නිවැරදි ස්ථානයට යොමුකළ යුතුව තිබේ. නමුත් පොලිසිය එසේ නොකර එය නොසළකා හැරීම සිදුවෙයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුව ම හිතාමතා සහ සැළසුම් සහගතව තොරතුරු ලබාදීම මඟහැරීමට භාවිතා කරන උපායක් බව තරිඳු ජයවර්ධන පවසයි.

police.lk වෙබ් අඩවියේ සැකස්ම පසුගිය දා වෙනස් කෙරිණි. ඊට පෙර පොලිස් වෙබ් අඩවියේ ස්ථානාධිපතිවරුන්ගේ සිට පොලිස්පතිවරයා දක්වා සියලුම නිලධාරීන්ගේ විද්‍යුත් තැපැල් ලිපින සහ රාජකාරී ජංගම දුරකථන අංක පැහැදිළිව සටහන් කර තිබිණි. නමුත් වෙබ් අඩවියේ වෙනස්කම් සමඟ සියලු නිලධාරීන්ගේ ‍විද්‍යුත් තැපැල් ලිපින ඉවත්කර ඇති අතර ස්ථානාධිපතිවරුන්ගෙන් ඉහළ නිලධාරීන්ගේ රාජකාරී ජංගම දුරකථන අංකය ද ඉවත් කර තිබේ. එමෙන්ම තොරතුරු නිලධාරීන්ගේ සහ නම්කළ නිලධාරීගේ විද්‍යුත් තැපැල් ලිපින ද මෙම වෙබ් අඩවියෙන් සොයාගත නොහැක.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අනුව යම් තොරතුරක් සන්තකයේ භාරයේ හෝ පාලනයේ තියෙනවා නම් එම තොරතුරු ලබාදිය යුතුයි. නමුත් ඇතැම් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශත් කරන දෙයක් තමයි තොරතුරු තමන්ගේ පාලනයේ තිබුණත් එය නැහැ කියලා  තොරතුරු දීම මඟ හැරීම. මෙයට හොඳම උදාහරණය අපිට ලැබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන්. දකුණු පළාතේ පොලිසිවලින් තොරතුරු ඉල්ලුවාම උසස් පොලිස් නිලධාරියෙක් අපිට දැනුම් දුන්නා තමන් සන්තකයේ නැහැ කියලා. නමුත් ඒ සියලු තොරතුරු ඔහුගේ පාලනය යටතේ තිබෙනවා. ඔහු එ් ගැන නොසළකා හරිමින් කටයුතු කරන්නේ.“

ස්වාධීනත්වය නොදන්නා පොදු අධිකාරී

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පත්කළ උපදේශක මණ්ඩලය ගැන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා සිටි විට එම කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ එම උපදේශක මණ්ඩලය ස්වාධීන ආයතනයක් බැවින් තොරතුරු ඉල්ලීම ඒ වෙත යොමුකරන ලෙසියි. නමුත් එම උපදේශක මණ්ඩලයට තොරතුරු ඉල්ලුම්පත්‍රයක් යොමුකළ විට පවසා ඇත්තේ එය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක බැවින් තොරතුරු ලබාගත යුත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාාරියාගෙන් බවයි. මෙවැනි ගැටලු සහගත අවස්ථා තොරතුරු පනත සම්මත වී වසර 06කට වැඩි කාලයක් ගත වුව ද දක්නට ලැබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නීතිය පැහැර හැරීම

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත සම්මත වී මාස තුනක් ඇතුළත තොරතුරු නිලධාාරින් පත්කළ යුතු වුව ද වසර 05ක් ගතවන තුරු තොරතුරු නිලධාරීන් පත්කිරීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු නිලධාරින් පත්කිරීමට කටයුතු කර තිබුණේ නැත. මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් දකුණු පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන පාසල්වලින් තොරතුරු ඉල්ලීමේ දී මේ බව අනාවරණය විය.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතරු නිලධාරියා ලෙස කටයතුු කරන සහකාර ලේකම් (පාලන) දන්වා තිබුණේ පාසල්වල නම්කළ නිලධාරියා වන්නේ විදුහල්පතිවරයා බවයි. නමුත්, දකුණු පළාතේ පාසල්වල තොරතුරු නිලධාරීන්ගේ සහ නම්කළ නිලධාරීන්ගේ නාම ලේඛනයක් ඉල්ලූ විට ඇයට එය දීමට නොහැකි වී තිබිණි.

ඒ අනුව නැවත තොරතුරු ඉල්ලුම්පත්‍ර යොමු කිරීමේ දී විදුහල්පතිවරු දැනුම් දී තිබුණේ තමන් නම්කළ නිලධාරීන් ලෙස පත්කර ඇති බවක් නොදන්නා බවයි. විදුහල්පතිවරුන් දැනුම් දී ඇත්තේ තමන් තොරතුරු නිලධාරියා බවත් නම්කළ නිලධාරියා පළාත් අධ්‍යාපන ලේකම්වරයා බවයි.

මෙවන් පසුබිමක දකුණු පළාතේ පාසල් තුල  අදාල තොරතුරු නිලධාරීන් හා අභියාචනා නිලධාරීන් පත්කරන ලද දිනයන් හා ඒ සම්බන්ධයෙන්  සිදුකරන ලද දැනුම්වත් කිරීම් ලිපිවල පිටපත් ඉල්ලා 2021 ඔක්තෝබර් මස 06වන දින දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත තොරතුරු අයදුම්පත්‍රයක් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් යොමුකර තිබිණි. එම තොරතුරු ඉල්ලීමට වැඩ කරන දින 14ක් තුලදී තොරතුරු ලබා නොදීම නිසා 2021 නොවැම්බර් 08 දින එහි නම්කළ නිලධාරියා වන දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට   අභියාචනයක් ද ගොනුකරන ලදී.

ඉන් පසු එයට ප්‍රතිචාර වශයෙන් 2021 නොවැම්බර් 09 දිනැතිව ලිපි අංක දපස/අඉමා/ආ14/B-02 යන යටතේ තොරතුරු ලැබිණි.

ඉන් අනාවරණය වන්නේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2021 ඔක්තෝබර් මස 11 වැනි දිනැතිව නිකුත් කරන ලද ලිපියක් මගින් දකුණු පළාතේ පාසල්වල නම්කළ නිලධාරීන් ලෙස ඒ ඒ කොට්ඨාශයන් හි කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පත්කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ අනුව පැහැදිළි වන්නේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු පනත අනුව වසර 05ක් ම ක්‍රියාකර නැති බවයි.

කාන්තාවන්ට සිදුවන හිරිහැර

මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිනියක වන සුමිත්‍රා ප්‍රියන්ති නාගරවත්ත කාන්තාවන් මුහුණ දෙන පොදු ගැටලු සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුම්පත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරිනියකි.

ඇය පවසන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පුරවැසියා වෙනුවෙන් ඇති ඉතාමත් ප්‍රබල සහ වැදගත් පනතක් වුව ද බොහෝ පොදු අධිකාරීන් එම පනතේ කරුණු නොසලකා හරින බවයි. රාජ්‍ය ආයතනයකට ඉල්ලුම් පත්‍රයක් යොමුකළ විට එයට කඩිනමින් පිළිතුරු දීම වෙනුවට කාලය හැකිතාක් ගත කිරීමට උත්සාහ ගන්නා බව ඇය අත්දැකීමෙන් පවසයි.

එමෙන් ම තොරතුරු ඉල්ලීමක් කළ විට තොරතුරු පනත ගැන දන්නේ කෙසේ ද යනුවෙන් ප්‍රශ්න කරන බවත්, ඇතැම් අවස්ථාවල දී මේ පනතට අනුව තොරතුරු ලබාදීමට බැඳී නෑ යනුවෙන් පවසන බවත් ඇය කියා සිටියාය.

වතු ප්‍රදේශ ආශ්‍රිතව අඩු වයස් ගැහැනු ළමයින් ගැබ් ගැනීම සම්බන්ධ තොරතුරු තමන් සහ තවත් මිතුරියක් එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඉල්ලූ අවස්ථාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දුරකථන ඇමතුමක් ගෙන අමානුෂික ලෙස බැන වැදුණු බව ඇය කියයි.

සුමිත්‍රා ප්‍රියන්ති නාගරවත්ත

“අපි ඔය එක එක ගෑනුන්ට ඕන විදියට තොරතුරු දෙන්න බැඳිලා නැහැ කියලා වෛද්‍යවරයා කිව්වා. එතුමා දුරකථනයෙන් අපිට විස්තර කිහිපයක් කිවුවාම අපි කිව්වා දුරකථනයෙන් විස්තර එපා අපිට ලිඛිතව දැනුම් දෙන්න කියලා. නමුත් දැනුම් දුන්නේ නැහැ. මේ වෛද්‍යවරයා මගේත් මිතුරියගේත් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය දක්වමින් බැන වැදුණේ එයාලා නිසි පරිදි තොරතුරු පවත්වාගෙන නොයන නිසා. අපි ඉල්ලුවේ පුද්ගලික තොරතුරු නෙවෙයි. අපි කාන්තාවන් හැටියට තොරතුර ඉල්ලුවාම වැඩිය ගණන් නොගන්නා බවත් හොඳින් දැනෙන්නට ඇති කරුණක්.“

මහනුවර ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක් වූ දෙමළ භාෂාව කතා කරන තරුණියක් පොලිසියට ගිය ද සාධාරණය ඉටු නොවී ඇය නැවත නැවතත් හරවා යවන සිද්ධියක් වාර්තා වූ අවස්ථාවේ තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් ඊට මැදිහත්ව පොලිසියෙන් තොරතුරු ඉල්ලා සිටි බව ද සුමිත්‍රා පවසයි. එම තොරතුරු ඉල්ලිම ඉදිරිපත් කර දින කිහිපයකින් අදාල තරුණිය ගෙන්වා කරුණු සියල්ල විමසා ඇයගේ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ බව ද ඇය පෙන්වාදෙයි. කාන්තාවන්ට තනි තනිවම හෝ සාමූහිකව හෝ තොරතුරු පනත භාවිතයෙන් සමාජ අසාධාරණයට එරෙහිව හඬක් නැගිය හැකි බව ඇගේ මතයයි.

තොරතුරු නැතැයි පැවසීම

ඇතැම් රාජ්‍ය ආයතන තමන් සන්තකයේ තොරතුරු තිබිය යුතු කරුණු සහ තොරතුරු ඇති, ඔවුන්ගේ සන්තකයේ, භාරයේ සහ පාලනයේ ඇති  තොරතුරු පුරවැසියන්ට ලබාදීම ප්‍රතික්ෂේප කරන අවස්ථා ද වාර්තා වී තිබේ.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම ඉතාමත් කෙටි කාල පරාස කිහිපයක් අතරතුර විදේශ ගමන් රැසක නියැළීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දී මංගලනාත් ලියනාරච්චි තොරතුරු ඉල්ලා ඇත. එම තොරතුරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ තිබිය යුතු ලේඛනයකි. නමුත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ තොරතුර නිලධාරීවරයා ඔහුට පිළිතුරු ලෙස එවා ඇත්තේ එම සංචාර සම්බන්ධ තොරතරු කාර්යාලය සන්තකයේ නැති බවයි. එතැනින් තොරතුරු සෙවීම නතර විය.

මංගලනාත් ලියනාරච්චි

“මම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගේ මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කරනවා. නමුත් මම හඳුනාගත්තු ප්‍රවණතාවක් තමයි රාජ්‍ය ආයතන තමන් සන්තකයේ තිබෙන ඇතැම් තොරතුරු තමන් සතුව නැහැ කියලා නොදී ඉන්නවා. එලෙස නොදී ඉන්නේ දේශපාලනඥයන්ගේ දූෂණ වංචාවලට රාජ්‍ය නිලධාරීන්ගේ අක්‍රමිකතාවලට අදාල තොරතුරු. ඒ වගේම නිලධාරීන්ට හෝ දේශපාලන බල අධිකාරියට ප්‍රශ්නයක් වේවි කියන තොරතුරු දීම වෙනත් හේතුවක් දක්වා ප්‍රතික්ෂේප කරනවාට වඩා එවැනි තොරතුරක් නැහැ කියා නොදී සිටීම පහසුවක්  කියා ඔවුන් හිතනවා විය යුතුයි.“

මංගලනාත් හෙළිදරව් කරන එම කරුණ සම්බන්ධයෙන් වෙනස් අත්දැකීමක් මව්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ බිඟුන් මේනකට තිබේ.

වරක් මද්‍රසා පාසල් කමිටු වාර්තාවක් එවකට අගමැති රනිල් වික්‍රමසිංහට භාරදුන් බවට ප්‍රවෘත්තියක් සියලු මාධ්‍යවල ප්‍රචාරය කෙරුණේ ඡායාරූප සමගිනි. මේ වාර්තාවේ පිටපතක් බිඟුන් එම වාර්තාව සැකසූ බව පවසන මුස්ලිම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. එහි තොරතුරු නිලධාරී පිළිතුරු දී ඇත්තේ එවැනි වාර්තාවක් නොමැති බවයි. මේ තොරතුරු පදනම් කරගෙන බිඟුන් විසින් ප්‍රවෘත්තියක් සකසා පළ කෙරිණි. එම ප්‍රවෘත්තිය පළවීමත් සමඟ බොරු පුවත් ප්‍රකාශ කරන්න එපායැයි කියමින් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු බිඟුන්ට ඇමතුමක් ගෙන දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය. තමන්ට බැන වදින මේ රාජ්‍ය නිලධාරියාගේ නම සහ තනතුරු ඇසූ බිඟුන් පවසා ඇත්තේ “ඔබ තොරතුරු නිලධාරියා ලෙස මට දුන් තොරතුරු තමයි මම පත්තරේට ලිව්වේ“ යනුවෙනි. තමන් තොරතුරු දුන්නේ පුවත්පත් ලේඛකයකුට බවත් තොරතුරු නිලධාරියා දැනගත්තේ එම අවස්ථාවේ දී ය. ඔහු බිඟුන්ගෙන් සමාව ඉල්ලා තිබිණි. ගැටලුව වී තිබුණේ අගමැතිවරයාට බාරදුන්නා යැයි පුවත් පළකර තිබුණේ කිසිසේත්ම සකසා නොමැති වාර්තාවක් වීමයි.

මෙවැනි කරුණක් සම්බන්ධයෙන් අපට ද අත්දැකීමක් තිබේ. 2023 වර්ෂයේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල නගරයේ වෙසක් කලාපයක් පැවැත්වූ අතර එය ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනය විසින් සංවිධානය කරන බවට ප්‍රචාරය කෙරිණි.

එම ජාතික වෙසක් උත්සවය සඳහා ඒ ඒ ආයතනවලින් වැය කරන ලද මුදල් සහ සංවිධානය කරන ලද වැඩසටහන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් දැනුම් දී ඇත්තේ කිසිම වියදමක්  සිදුකර නොමැති බවයි. එමෙන්ම ඔවුන් කිසිම වැඩසටහන් සංවිධානය නොකළ බව ද දැනුම් දී ඇත. නමුත් දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිල ෆේස්බුක් පිටුවල එම කාර්යාලවලින් සංවිධානය කරන ලද වැඩසටහන් පිළිබඳ පළකිරිම් ඇත. ඒ අනුව පැහැදිළි වන්නේ අයවැය වාර්තා ඉදිරිපත් කිරීමෙන් වැළකීම සඳහා එවැනි වැඩසටයහන් සංවිධානය කර නැතැයි පවසා ගැටලුව මඟහරින බවයි.

එබැවින් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල පළකර ඇති වැඩසහන්වල ඡායාරූප සහ වීඩියෝ සබැඳි ද ඉදිරිපත් කරමින් අප එම තොරතුරු ඉල්ලා අයදුම්පත්‍රයක් යොමුකර ඇත.

පොදු අධිකාරීන් කොමිසමට අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වන ලද විභාගයක් සම්බන්ධයෙන් අපි තොරතුරු ඉල්ලා සිටියෙමු. එම විභාගයේ ප්‍රතිඵල අනුව බඳවාගනු ලබන්නේ එක් අයකු පමණි. ‍පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම විභාගයේ ප්‍රතිඵල ලේඛන දෙකක් නිකුත් කර තිබූ අතර පළමු ලේඛනයේ 26 වැනි තැනට නම් සඳහන් තැනැත්තිය දෙවැනි ලේඛනයේ 01 වැනියා ලෙස සඳහන් කර තිබිණි. ඇයට පත්වීම ලැබී තිබිණි.

අප මෙහි යම් අක්‍රමිකතාවක් ඇත්දැයි සෙවීමට තොරතුරු ඉල්ලූ විට පළමු ප්‍රතිඵල ලේඛනයේ 01 වැනියාට ද පත්වීමක් ප්‍රධානය කෙරිණි. රාජ්‍ය සේවා කොමිෂම අනුමාන කළේ ඇයට පත්විම ලබාගැනීමට අවශ්‍ය නිසා තොරතුරු ඉල්ලන බවයි. නමුත් මෙම ලේඛකයාට එවැන්නක් අවශ්‍ය වූයේ නැත.

තොරතුරු ඉල්ලීම රාජ්‍ය සේවා කොමිෂමේ නම්කළ නිලධාරීවරයා ද විභාග තොරතුරු බැවින් ලබාදිය නොහැකියැයි පවසමින් ප්‍රතික්ෂේප කළේය. අභියාචනය කොමිසමට ඉදිරිපත් කළ අතර එය විභාග කෙරිණි. එහි දී කොමිසම සියලු තොරතුරු ලබාදෙන ලෙස නියෝග කළේය. තොරතුරු කොමිසමේ විභාගය පැවැත්වෙන අතර රාජ්‍ය සේවා කොමිසමේ තොරතුරු නිලධාරීවරයා කියා සිටියේ මෙම ලේඛකයා විභාගයේ නැවත පුනරීක්ෂණ කටයුතුවලට අදාල ගෙවීම් වවුචර, කැඳවීම් ලිපි ආදියද ඉල්ලා ඇති බැවින් ඒවා පුද්ගලික තොරතුරු නිසා නිකුත්කළ නොහැකි බවයි.

එම ‍අවස්ථාවේ දී තොරතුරු කොමිසම විමසා සිටියේ එම විභාගය නිසි පරිදි  පුනරික්ෂණය කළානම් තොරතුරු ලබාදීම ගැටලුවක් නොවිය යුතු බවයි. ඒ අවස්ථාවේ දී තොරතුරු නිලධාරීවරයා පැහැදිළිව ප්‍රකාශ කළේ තම ආයතනය විසින් විභාගය නිසි පරිදි පවත්වා, ඉන් පසු ඉල්ලීමකට අනුව නැවත පරීක්ෂණයක්ද කර ප්‍රතිඵල වෙනස්කළ බවයි. එම ගෙවීම් ලේඛන, පරික්ෂකවරුන්ගේ පැමිණීම් සටහන් ආදී සියල්ල ඇති බව ද ඔහු කීවේය.

නමුත් අප එම කාර්යාලයට ගිය විට ඒ කිසිදු ලේඛනයක් ඔවුන් සතුව නැත. නැවත ඒ පිළිබඳ තොරතුර අයදුම්පත්‍රයක් දමා විභාගය නැවත පරීක්ෂණය පැවැත්වූ දින සහ පරීක්ෂණ තොරතුරු ඉල්ලූ විට තොරතුරු නිලධාරියා එවැනි නැවත පරීක්ෂණයක් සිදුකර නැතැයි පිළිතුරු එවා තිබිණි.

ඒ අනුව පැහැදිළි වන්නේ පොදු අධිකාරීන්වල සිටින තොරතුරු නිලධාරීන් සහ නම්කළ නිලධාරීන් තොරතුරු කොමිසමට අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවයි.

පර්යේෂණයේ දී ඇති වූ සීමාවන්

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත භාවිතා කිරීමේ සාර්ථක අසාර්ථකත්වය පිළිබඳ කරන ලද මෙම සමීක්ෂණයේ දී අප සියලු පැතිකඩ ආවරණය කිරීමට උත්සාහ ගෙන ඇත.

එසේ වුව ද මේ සම්පූර්ණ සමීක්ෂණය සඳහා තිබූ දින ගණන මෙතරම් පුළුල් වාර්තාවක් සැකසීම සඳහා ප්‍රමාණවත් නැත. නමුත් මෙම සමීක්ෂණ වාර්තාව පසුබිම් කරගනිමින් වඩාත් සවිස්තරාත්මක වාර්තාවක් සැකසීමට ඉදිරි පර්යේෂණ කාර්යයන්හි දී අවකාශ හිමිවනු ඇත.

තොරතුරු පනත සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතන පමණක් 1588 ක් පොදු අධිකාරීන් ලෙස හඳුනාගෙන ඇති බැවින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ සාර්ථක අසාර්ථකත්වය සහ එම පනතේ අයිතිවාසිකම් ලබාගැනීමේ දී ඇතිවන ගැටලු පිළිබඳ වඩාත් පුළුල්ව පර්යේෂණ කිරීම සඳහා එම ආයතන බහුතරයක තොරතුරු අවශ්‍ය වේ. නමුත් එම ආයන පනත අනුව ලබාදීමට අනිවාර්ය වන තොරතුරු පවා නිකුත්කර නොමැතිවීම මෙම පර්යේෂණය සාර්ථක කරගැනීම සඳහා පැණ නැගී ඇති ගැටලුවකි.

එමෙන් ම අප සමීක්ෂණය තුළ දී මුහුණ දුන් තවත් ගැටලුවක් වන්නේ තොරතුරු පනත භාවිතයෙන් තොරතුරු ලබාගන්නා බව නිතර පවසන මාධ්‍යවේදීන් පවා සැබැවින් ම තොරතුරු පනත මගින් තමන්ට හිමිව ඇති අයිතිවාසිකම් භාවිතා කර නොමැති වීමයි. අප කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ද ඒ බව සනාථ විය.

එමෙන් ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත භිවිතා කර තොරතුරු විශාල වශයෙන් ලබාගත් පුද්ගලයන් ද විවිධ හේතු දක්වමින් මෙම සමීක්ෂණය සඳහා තොරතුරු ලබාදීම මඟහැර යාම ද අපට ප්‍රශ්නකාරී විය.

තොරතුරු කොමිසම සතුව ද ඔවුන් සන්තකයේ තිබිය යුතු තොරතුරු නොමැතිවීම ගැටලුවක් බව අවබෝධ වූ අතර කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම නිසා එම ප්‍රශ්නය විසඳා ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමිවී තිබෙන බව ද නිරීක්ෂණය විය.

නිගමන සහ නිරීක්ෂණ

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් පුරවැසියන්ට ලැබී ඇති අයිතිවාසිකම ප්‍රයෝජනයට ගන්නේ එහි සැබෑ ප්‍රයෝජනය ගත හැකි සහ ගතයුතු පුරවැසියන් අතරින් ඉතාමත් සුළු පිරිසක් බව පෙනෙන්ට තිබේ.

මේ සඳහා පහත සඳහන් හේතු ප්‍රධාන වශයෙන් බලපාන බව හඳුනාගත හැකිවිය.

  1. පනත ගැන අවබෝධයක් සහ පුහුණුවක් නොමැතිවීම හෝ ප්‍රමාණවත් නොවීම
  2. තොරතුරු ලබාගැනීම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස සැළකීම
  3. නිශ්චිත කාලසීමාවන් ගැන උනන්දුවක් නොමැතිවීම සහ නොදැනීම
  4. තොරතුරු ලබාගැනීම සඳහා කාලයක් වෙන්කිරීමට නෙනාහැකිවීම
  5. තොරතුරු නොලැබෙනු ඇතැයි පූර්ව නිගමනවලට එළැඹ සිටීම
  6. මෙම පනත භාවිතයෙන් වැදගත් කම නොදැනීම

අපගේ නිරීක්ෂණ අනුව පෙනීගිය වැදගත්  කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ පොදු අධිකාරි වාර්ෂික වාර්තා ලබාදීම ඇතුළු කාර්යයන් තවදුරටත් පැහැර හරිමින් සිටින බවයි. ඒසඳහා වහාම අවධානය යොමුකළ යුතුව තිබේ.

එමෙන් ම පොදු අධිකාරීන් අතර ඒකමිතියක් නොමැතිවීම සහ එකම අමාත්‍යාංශයට හෝ දෙපාර්තමේන්තුවට අයත් පොදු අධිකාරීන් විවිධ පුරවැසියන්ට වෙනස් ආකාරයෙන් සැළකීම ද නිරීක්ෂණය කළ හැකිවිය. එවැනි ගැටලු සඳහා වහාම පිළියම් යෙදිය යුතු වෙයි.

භාෂාමය ගැටලුව පිළිබඳව ද පොදු අධිකාරීන් මෙන් ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ද දක්වන්නේ අඩු සැළකිල්ලක් බවත් ඒ නිසා තොරතුරු ඉල්ලා සිටින පුරවැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බවත් නිරීක්ෂණය වෙයි. එමෙන් ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් කාන්තාවන් නොසළකා හැරීමේ තත්වයක් ද හෙළිදරව් විය. මෙම තත්වයන් පිළිබඳ වහාම සැළකිලිමත් විය යුතුය.

ශ්‍රී ලාංකික පුරවැසියන් බහුතරයක‍ගේ මෙන් ම අප සමඟ අදහස් දැක්වූ තොරතුරු පනත භාවිතා කරන බහුතරයකගේ මතය වන්නේ පොදු අධිකාරීන් තොරතුරු ලබාදීම පැහැර හැරීමට හෝ මඟහැරීමට හෝ කල්ගත කිරීමට හෝ නිරන්තර උත්සාහයක් දරන බවයි. එබැවින් මෙම යාන්ත්‍රණය පිළිබඳ වහාම පසු විපරමක් කරමින් එය තවත් කාර්යක්ෂම කළ යුතුව ඇත.

හැඳින්වීම

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක, ජනතාවාදී පාලනයකට සහ වගවීම සහතික කිරීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම වැදගත් වෙයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට පසු 14 (අ) වගන්තියෙන් හඳුනාගත් යම් සීමාවන්ට යටත්ව ජනතාවට තොරතුරු වෙත ළඟාවීමට ඇති අයිතිය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත මගින් ස්ථාපිත කෙරිණි.

ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවෙන රටක පොදු ජන ජීවිතයට සෘජුව බලපාන රජයේ, රජයේ කොටස් හිමි පොදු අධිකාරීන්, විදේශ ආධාර ලබාගන්නා සංවිධාන සහ රජය සමඟ ගිවිසුම්ගත වන පුද්ගලික ආයතන ආදී සියල්ල සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට මෙම පනත මගින් ජනතාවට නෛතික බලයක් හිමිකර දී ඇත. මේ නිසා ම දූෂණය සහ නාස්තිය අවම වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරගැනීමට ජනතාවට අයිතියක් හිමිව ති‍බේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවරු කිරීම සඳහා 2016 ජුනි මස 23 වැනි දින පනත සම්මත කළ ද එම අයිතිය ස්ථාවර කිරීමට සහ එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට එම පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන ප්‍රමාණවත් වූයේ නැත. ඒ සඳහා අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාපටිපාටිය පැහැදිළිව සඳහන් කරමින් ව්‍යාතිරේක සකස් කළ යුතු විය. එමෙන්ම ආයතනික ව්‍යුහයන් සකස් කිරීම, නෛතික රාමුවක් සැපයීම මෙන්ම පොදු අධිකාරීන්හි අදාල නිලධාරීන් පත්කර ඔවුන්ට ඒසඳහා මාර්ගෝපදේශ සහ පුහුණුවක් ලබාදීම ද අවශ්‍ය විය.

පනතේ ප්‍රධාන කරුණු ප්‍රධාන මූලධර්ම තුනක් යටතේ හෙළිදරව් කළ යුතුය. ඒ අනුව මහජනතාවට හැකිතරම් තොරතුරු ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුවට නියම කර ඇත. රාජ්‍ය ආයතන සන්තකයේ ඇති නිල තොරතුරු ලබා ගැනීමට මහජනතාවට හැකියාව ලැබිය යුතුය. එමෙන් ම යම් ආයතනයක් විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය යුක්තිසහගත කිරීම් භාරය ද ආණ්ඩුව සතු වෙයි. තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථාවල දී පවා එවැනි තොරතුරු ලබාගැනීම සඳහා ද අවස්ථාව ලබාදිය හැකි මහජන සුබසිද්ධිය යන කරුණ  ප්‍රධාන සාධකයක් බව ද පනත මගින් තහවරු කර ඇත. තොරතුරු දැනගැනීමේ පනත මේ සම්බන්ධයෙන් පනවා ඇති කිසිදු වෙනත් නීතියකට වඩා පූර්වගාමී වෙයි.

තොරතුරු පනත ක්‍රිියාත්මක වීම ආරම්භ වී මේ වනවිට වසර 06කට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ පුරවැසියන් විශාල පිරිසක් දෛනිකව තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු ඉල්ලීම් කරති. ඇතැම් අවස්ථාවල දී තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන්ට අදාල පොදු අධිකාරියේ නම්කළ නිලධාරීවරයාට අභියාචනා කර තොරතුරු ලබාගැනීමට හෝ නැතිනම් තොරතුරු කොමිෂන් සභාවට අභියාචනාවක් ඉදිරිපත් කර තොරතුරු ලබාගැනීමට සිදුවන අවස්ථා ද තිබේ.

තොරතුරු දැනගැනී‍මේ පනත අනුව, තොරතුරු කොමිෂන් සභාවක් පමණක් නොව තොරතුරු නිලධාරීන්, නම්කළ නිලධාරීන් ද පත්කෙරිණි. ආයතන මට්ටමින් පත්කරන ලද එම නිලධාරීන්ට අවස්ථා කිහිපයක දී ම පුහුණුවීම් ද ලබා දී ඇත.

සියලු පොදු අධිකාරීන් ශ්‍රී ලංකාවේ භාවිතා වන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය අතරින්, පුරවැසියා කැමති භාෂාවකින් තොරතුරු ලබාදීමට බැඳී සිටින අතර වාර්ෂිකව තම ආයතනය විසින් තොරතුරු පනත යටතේ සිදුකළ දෑ පිළිබඳ වාර්ෂිකව වාර්තාවක් තොරතුරු කොමිෂන් සභාව වෙත යොමුකළ යුතුය.

මෙම පරයේෂණයේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියාට රාජ්‍ය පාලනයේ සහ ආයතනවල විනිවිධභාවයත්, වගවීමත් පිළිබඳ කරුණු සොයා බැලීමට මෙම පනත ඉවහල් වී ඇති ආකාරය සොයා බැලීමයි. එහි දී ශ්‍රී ලංකාවේ ‍පොදු අධිකාරීන් 2016 අංක 12 දරණ පනත අනුව නිසි පරිදි කටයුතු කරන්නේ ද යන්නත්,  ව්‍යතිරේක අනුගමනය කරන්නේ ද යන්නත් විමසා බැලීමට අපේක්ෂිතය.

එමෙන් ම ශ්‍රී ලාංකික පුරවැසියන්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත භාවිතා කරන ආකාරය සහ ඔවුන් එය ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගැනීමේ දී ඇතිවන ගැටලු පිළිබඳව ද සොයා බැලීමට උත්සාහ ගනී.

විශේෂ අවධානය යොමුකළ කරුණු

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිිබඳ කොමිෂන් සභාව 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වාර්ෂික වර්තා පිළියෙළ කර ප්‍රසිද්ධියට පත්කර තිබේ. එමෙන්ම පනත අනුව සෑම පොදු අධිකාරියක් විසින් ම වාර්ෂික වාර්තා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත එවිය යුතුය.

ඉහත සඳහන් වාර්තා පරිශීලනය තුළින් ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට අදාල කටයුතු කොතරම් ප්‍රගතියක් අත්පත්කරගත්තේ ද ? සාධනීය ලෙස ක්‍රියාත්මක වන්නේ ද ? ඒ තුළින් පුරවැසියාගේ අයිතිය තහවරු වී තිබෙන්නේ ද යන්න අධ්‍යයනය කරනු ලබයි. මෙහි දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවන්හි ඇති දත්ත අවසන් සහ නිරවද්‍ය දත්ත ලෙස සළකා ඇත. එම දත්ත නිවැරදි බවත්, පර්යේෂණ කාර්යය සඳහා අදාල දත්ත පරිශීලනය කිරීමේ ගැටලුවක් නොමැති බවත්, ප්‍රගාමී තොරතුරු වෙත ප්‍රවේශවීමට අවසරය ඇති බවත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යාලය මගින් දැනුම් දී ඇත.

සමීක්ෂණය 01

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වන රාජ්‍ය සේවකයන් හෝ නීතිඥයන් හෝ මාධ්‍යවේදීන් නොවන පිිරිසක් වෙත ප්‍රශ්නාවලියක් යොමුකර ඇති අතර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධයෙන් ඔවුන් සතු අවබෝධය පිළිබඳ නිගමනයකට එළැඹීමට ඉන් අපෙක්ෂා කර ඇත. ඒ සඳහා පිළිතුරු සපයා ඇත්තේ පුද්ගලයන් 430 දෙනෙකි. (ප්‍රශ්නාවලිය පහත දැක්වෙයි)

රාජ්‍ය ආයතනවලින් විස්තර ලබාගැනීම

  • යම් රාජ්‍ය ආයතනකින් කිසියම් විස්තරයක් ලබාගැනීමට හැකියාව ඇති බව දන්නවා ද ?
    • ඔව්
    • නැත
  • එවැනි හැකියාවක් ඇත්නම් එය පනතක් මගින් හෝ යම් නීතියක් මගින් සම්මත කර තිබේ ද ?
    • ඔව්
    • නැත
    • අදහසක් නැත
  • රාජ්‍ය ආයතනයකින් කිසියම් තොරතුරක් බාගැනීමට ඔබට යම් අවස්ථාවක අවශ්‍ය වී තිබුණේ ද ?
    • ඔව්
    • නැත
    • අදහසක් නැත
  • ඔබට රාජ්‍ය ආයතනයකින් අවශ්‍ය වූ තොරතුරක් ලබාගැනීමට හැකිවූයේ ද ?
    • ඔව්
    • නැත
    • අවශ්‍යතාවක් ඇති වී නැත
  • රාජ්‍ය ආයතනවල තොරතුරු ඔබේ අවශ්‍යතාවයන් සඳහා ලබාගැනීමට හැකියාවක් ඇති බව ඔබ දන්නවා ද ?
    • ඔව්
    • නැත

ඉහත ප්‍රශ්න මා‍ලාවෙන් අපේක්ෂා කර ඇත්තේ සාමාන්‍ය ජනතාව අතර (තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ අවබෝධයක් ඇති වෘත්තීන්ට අදාළ නොවන පුද්ලයන්) මෙම අයිතිවාසිකම සම්බන්ධ යම් අවබෝධයක් තිබේ ද යන්න සොයා බැලීමයි.

සමීක්ෂණය 02

තොරතුරු පනත සම්බන්ධව කටයුතු කරනු ලබන්නේ යැයි සිතන මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අතරින් පුද්ගල නියැදියක් තෝරාගෙන තොරතුරු පනතේ ක්‍රියාත්මකවීම සම්බන්ධ ප්‍රශ්නාවලියක් යොමුකරන ලදී.  ඒ සඳහා ප්‍රතිචාර 382ක් ලැබී ඇත. එම දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. (ප්‍රශ්නාවලිය පහතින් දක්වා ඇත.)

ඔබ සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත

  • ඔබ කිසියම් අවස්ථාවක දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත භාවිතා කරමින් තොරතුරු ඉල්ලා තිබේ ද ?
    • ඔව්
    • නැහැ
  • එසේ තොරතුරු ඉල්ලා ඇත්තේ
    • පෞද්ගලික අවශ්‍යතාවකට
    • පොදු අවශ්‍යතාවකට
    • පෞද්ගලික සහ පොදු අවශථාව යන දෙකටම
  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත භාවිතා කර නැත්නම්
    • එවැනි අවශ්‍යතාවක් ‍ඇති නොවූ නිසා
    • තොරතුරු පනත නැතිව තොරතුරු ලබාගත හැකි නිසා
    • තොරතුරු පනත ගැන අවබෝධයක් නැති නිසා
    • තොරතුරු පනත භාවිතා කිරීමට කාලයක් සහ හැකියාවක් නැති නිසා
    • එය වැඩකට නැතැයි හැඟීමක් ඇති නිසා
  • තොතරු ලැබුණු ආකාරය
    • තොරතුරු නිලධාරියා විසින් ම තොරතුරු එවා ඇත
    • නම්කළ නිලධාරීට අභියාචනා කළ විට තොරතුරු ලැබිණි
    • තොරතුරු දැනගැනීම් අයිතිවාසිකම් කොමිසමට පැමිණිලි කළ පසු විභාගයක් පවත්වා තොරතුරු ලැබිණි
    • ඉහත ක්‍රම තුනටම තොරතුරු ලැබී ඇත
    • තොරතුරු කොමිසමට පැමිණිලි කළ ද විභාග කළේ නැත
    • තොරතුරු ඉල්ලා ඇතත් කිසිම ‍ආකාරයකින් තොරතුරු ලැබී නැත.
  • තොරතුරු දැනැගැනීමේ පනත සම්බන්ධයෙන් ඔබේ අදහස
    • ඉතාමත් ප්‍රයෝජනවත් පුරවැසි අයිතිවාසිකමකි
    • ක්‍රියාත්මක වන්නේ සුළු වශයෙනි
    • කිසිසේත්ම වැඩකට නැත
    • නිශ්චිත අදහසක් නැත
  • රාජ්‍ය ආයතන තොරතුරු පනත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළලිබඳ ඔබේ අදහස
    • ඉතාමත් හොඳින් කාර්යක්ෂමව පනතට අනුව ක්‍රියාත්මක වේ
    • කාර්යක්ෂමව ක්‍රියාත්මක වන්නේ නැත
    • තොරතුරු ඉල්ලා  සිටීමෙන් පසු ඒ පිළිබඳ සෙයා නොබලන්නේ නම් පිළිතුරු ලැබෙන්නේ නැත.
    • තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කිසිසේත්  ම කැමැත්තක් දක්වන්නේ නැත.
    • තොරතුරු ලබාදීම මඟහැරීමට නිරන්තර උත්සාහ ගනී
  • තොරතුරු පනත ගැන ඔබේ අවබෝධය
    • ඉතා ඉහළ අවබෝධයක් තිබේ
    • සාමාන්‍ය අවබෝධයක් තිබේ
    • පනත ගැන දන්නා නමුත් අවබෝධය ප්‍රමාණවත් නැත
    • ඒ සම්බන්ධ පුහුණුවක් අවශ්‍ය වේ
    • පනත සම්බන්ධ අවබෝධයක් නැත.
  • තොරතුරු පනත භාවිතා කිරීමේ දී ඇති වූ අපහසුතා
    • පොදු අධිකාරීන්, තොරතුරු ඉනිලධාරීන් සහ නම්කළ නිලධාරී හඳුනාගැනීමේ අපහසුව
    • පනත අනුව ඉල්ලීම් කිරීම, අභියාචනා කිරීම ආදිය ගැන අවබෝධය ප්‍රමාණවත් නැත
    • පනතේ සඳහන් අභියාචනා දින ආදිය මඟහැරී යාම නිසා තොරතුරු ගැනීමට නොහැකි විය
    • තොරතුරු නොලැබුණු විට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවබෝධය ප්‍රමාණළුත් නැත
    • තොරතුරු ඉල්ලීමට වේලාවක් නැත. ඒ නිසා ඉල්ලන්නේ නැත.

මෙම කරුණු විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක වීම ආරම්භ වී අවුරුදු 06කට වැඩි කාලයක් ගත වී ඇතත් තවමත් පනත ක්‍රියාත්මක වීමේ යම් යම් ගැටලු සහගත තත්වයන් ඇති බව අනාවරණය වෙයි.

ගුණාත්මක පර්යේෂණ දත්ත

2016 දී තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත වූ කාලයේ පටන් මේ දක්වා වසර 06කට වැඩි කාලයක දී විවිධ අවස්ථාවල දී තොරතුරු දැනගැනීමේ අයදුම් පත්‍ර යොමුකර ඇති කරන. මාධ්‍යවේදීන් සහ සිවිල් පුරවැසියන් කිහිප දෙනකු සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ අත්දැකීම් අනුව තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ගුණාත්මක විශ්ලේෂණයක් සිදුකර ඇත. එම තොරතුරු අපගේ සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණයට වරින් වර සුදුසු ස්ථානවල දී අන්තර්ගත කර තිබේ.

ලේඛකයා – ශ්‍රී ලාංකික පුරවැසියකු සහ වසර 30ක පමණ කාලයක් විවිධ මාධ්‍ය ක්ෂේත්‍රයන්හි විවිධ භූමිකාවල ක්‍රියාකාරිකයකු වන මෙම ලේඛකයා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන සහ එම පනත ප්‍රයෝජනයට ගන්නෙකි. සාමාන්‍ය පුරවැසියාට මුහුණ දීමට ඇති ගැටලු විසඳාගැනීම සඳහා තොරතුරු පනත ප්‍රයෝජනයට ගන්නා අතර ම සිය ලිපි සම්පාදනයටත්, මාධ්‍ය ක්ෂෙත්‍රයේ පර්යේෂණ කටයුතු සදහාත් එම පනත උපයෝගී කරගනී. කොළඹ විශ්වවිද්‍යාලයේ “මාධ්‍ය පර්යේෂණ” පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය නිබන්ධනයක් සඳහා රැස්කළ තොරතුරු අනුසාරයෙන් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!