spot_img
spot_imgspot_img

දරුවන් සැමට ආදර්ශයක් වන “තරු අතරට ගිය දරුවා”

පුවත්

විදෙස්

දඹානේ ආදිවාසීන් අතර හිඳ සිරස ගුවන්විදුලිය එසැණ වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියේ 1990 ගණන්වල මැද හෝ අග හරියේ උදෑසනක ය. එතැන ආදිවාසී දරුවකු ද සිටින බව භාෂා පරිවර්තකයාගෙන් කියැවිණි. මෙය අවස්ථාවක් කර ගත් කොළඹ සිටි නිවේදකයා සාමාන්‍යයෙන් වැඩිහිටි අප ඕනෑම දරුවකුගෙන් ඉස්සෙල්ලාම අසන තාලේ ප්‍රශ්නයක් ඇසීය: ‘වයස කීයද?’  අර සුරතල් ‘වැදි පැටියාගේ’ බසින් ඊට ලැබුණු පිළිතුර වූයේ ‘දන්නෙ නෑ, ඉන්නවා, ඉන්නවා, ඉන්නවා….’

වැඩිහිටි ලෝකයේදී අපූරු, දාර්ශනික අරුතක් ඇති මෙවැනි කතාවක් දරුවකු කී විට අපි ළමයාගේ හිස අත ගා සිනාමුසු මුහුණින් එය අමතක කර දමන්නෙමු. මෙසේ මග හැරී යන්නේ අප තුළ ද ඇති, ළමයකු මෙන් සිතීමේ අගනා හැකියාවයි. ළමා බව ඉක්මවා යෑමෙන් පසු එසේ සිතීම විහිළුවක් කියාය අප සිතන්නේ. 

එහෙත් ළමයකුගේ සිතිවිලි බොහෝ දුරට අවංකය. ඒ නිසා වඩාත් පැහැදිලි වේ.  සියල්ලටම වඩා එය නිදහස්, චමත්කාරජනක සිතිවිල්ලකි. වැඩිහිටි ලෝකයේ ඉතා විරල වෙමින් පවතින මේ ගුණාංග නොවැදගත් වන්නේ කෙසේ ද? 

අප මෙන් ළමෝ සිතන්නට බය නොවෙති. එයින් වැඩෙන්නේ නිර්මාණශීලිත්වය ය.  දැනුමටත් වඩා නිර්මාණාත්මක බව අගනේ යැයි අද ලොවට පිළිගන්නට සිදු වී ඇති කරුණකි. ලෝකය ඉදිරියට යන්නේ මිනිසාගේ නිර්මාණාත්මක චින්තනය නිසා ය. 

අලුත් කෑමක් පිසීමේ සිට නව බලශක්තීන් සොයා ගැනීමටත් එහා මේ හැකියාව අපට ප්‍රයෝජනවත් වේ.  නමුත් අපි එය කලාව පැත්තට බර කොට යම් කෙනෙකුට විශේෂයෙන් පිහිටන හැකියාවක් මට්ටමට දමා ඇත්තෙමු. සාමාන්‍ය ජීවිතයේදී මතු වන අවුල්, නිරවුල් කිරීමට පවා ඉවහල් විය හැකි වෙනස් දැක්මකි මේ. උදාහරණයක් හැටියට, වැඩිහිටි අප විවිධ අත්දැකීම් ගැන සිත සිතා කල් ගත කරන අතර ළමෝ තමනට සිදු වන දෑ චිත්‍රයට නගති.

දැන් එදිනෙදා ජීවිතයේ අංග වී ඇත්තේ විද්‍යාවෙන් තාක්‍ෂණයෙන් දියුණු, තියුණු කර ගත් ඉස්සර අප ළමුන් මෙන් මැවූ සිහින නොවේද?  ග්‍රහලෝක සොයා යෑම, ඈත සිදු වන දේ එවෙලේ ම නැරඹීම, වෙනත් තැනක සිටින කෙනකු හා කතාබහ කිරීම, තමනට අවශ්‍ය තොරතුරු හා දැනුම ගබඩා කළ උපකරණ ආදි සංකල්ප දිගින් දිගටම දියුණු වන්නේ මීට දශක ගණනාවකට පෙර කුඩා දරුවන්ව සිටි, ඒ ගැන උනන්දු වූවන් අතිනි.  ඉදිරියේදී යථාර්තය වන්නේ අද දරුවන්ගේ අරුම සිතිවිලි ය.

අවුරුදු සියයකට පෙර වෙනත් රටක ගත කළ ආචාර්ය ශ්‍රීමත් ආතර් සී ක්ලාක්ගේ ළමා කාලය, දශක කිහිපයකට කලින් ළමයින්ව සිටි අපටත් අනාගතයේ දරුවන්ටත් අදාල වන්නේ එලෙසිනි.  ශ්‍රීමත් ක්ලාක් සිය ළමා කාලය බොහෝ ඈතට විහිදා ගත්තෙකු බව හැඟෙන්නේ ඔහුගේ චින්තන රටාව අද මෙන් ම හෙට ලොවට බලපාන අයුරු විමසන විටය.

නවීන ලෝකයේ චින්තකයකු ලෙස දැනුම හා තාක්‍ෂණය මානව හිතවාදීව යොදා ගත යුතු අන්දම ගැන ශ්‍රීමත් ක්ලාක් දැරූ අදහස් සම්මුඛ සාකච්ඡා ලෙසින්, ලිහිල් සිංහලෙන් මීට කලින් එකතු කර පළ කළ නාලක ගුණවර්ධන ම මෙසේ එම මහා පුරුෂයාගේ ළමා කාලය සොයා යෑම අගනා ප්‍රයත්නයකි. එහෙත් එය අනාගතය නමැති පරිණත මිනිසාගේ අතීතය නම් ළමා කාලය සෙවීමක් නොවේ. අර වැදි ළමයාගේ කියමන අනුව මෙය දිගටම සිදු වන ක්‍රියාවලියක එක් අවස්ථාවක් පමණි. (පෙරවදන – දිලීප අබේසේකර)

ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන හා අප‍්‍රකට හා රසවත් තොරතුරු රැසක් කැටි කර ගත් ‘තරු අතරට ගිය දරුවා’ නම් පොතේ දෙවැනි මුද්‍රණය නිකුත් වී ඇත.

ක්ලාක්ගේ ජීවිතයේ මුල් වසර 20 ගැන සිදුවීම් ඇතුළත් මේ පොත, පසු කලෙක ලොව ප්‍රමුඛ පෙළේ චින්තකයකු හා ලේඛකයකු වීමට ඔහුට බලපෑ සාධක විස්තර කරයි. පාසල් දරුවන්ට, දෙමව්පියන්ට හා ගුරුවරුන්ට වටිනා ආදර්ශ ලද හැකි මේ පොත, කතාන්දරයක් ලෙස නිර්මාණය වී ඇත.

පොත ලියා ඇත්තේ ක්ලාක්ගේ පර්යේෂණ සහායක ලෙස වසර 21ක් ක‍්‍රියා කළ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධනය. පරිවර්තනයක් නොවන මේ කෘතිය, වසර ගණනක් තිස්සේ ලේඛකයා විසින් කරුණු ගවේෂණය සහ සංචාරයෙන් ලද තොරතුරු සරල ලෙස කැටි කිරීමක් වෙයි.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ ගම්බද ප‍්‍රදේශයක සාමාන්‍ය පවුලක උපන් ක්ලාක් ජීවිතයේ මුල් දශක දෙක ගත කළේ ගමේ පාසලේ හා අසල නගරයේ පාසලේ ඉගෙනුම ලබමිනි. සිවු දරු පවුලක වැඩිමහලු දරුවා වූ ඔහු කුඩා වියේදී පියා මිය ගිය නිසා පවුලේ ගොවිපල පවත්වා ගෙන යන්නට මවට උදවු වීමට ද ඔහුට සිදු විය. 

පාසල් වැඩ හා පවුලේ වගකීම්වලට උර දෙන අතරම පොත් කියවීම, විද්‍යාත්මක අත්හදා බැලීම් හා සොබාදහම ගවේෂණයට ද ඔහු කෙසේ හෝ කාලය සොයා ගත් සැටිත්, අධිෂ්ඨානය හා උද්‍යොගය හරහා ජීවිතය ජය ගත් සැටිත් මේ පොතෙන් විස්තර කෙරෙයි.

ක්ලාක්ගේ පවුලේ අය මුණ ගැසී දැන ගත් තොරතුරු මෙන්ම ඔහුගේ උපන් ගමට ගිය චාරිකාවක තොරතුරු ද නාලක ගුණවර්ධන මේ පොත ලිවීමට පාදක කර ගෙන ඇත. තම නිර්ප‍්‍රභූ ගැමි සම්භවය පිළිබඳව පසු කලෙක ක්ලාක් අවංකව කළ ආවර්ජනයන් ද  සිංහල පාඨකයන් හමුවට එන්නේ මුල් වතාවටය.

ආතර් සී. ක්ලාක් භාරය සතු ඓතිහාසිකව වැදගත් පැරණි ඡායාරූප රාශියක් ද ඔවුන්ගේ අවසරයෙන් පොතෙහි අඩංගු කර තිබේ. පිටු 156ක මේ පොතේ පිටු සැළසුම හා නිමාව, කාටුන් හා චිත‍්‍ර ශිල්පී දර්ශන කරුණාතිලක විසිනි.

‘ශ‍්‍රී ලංකාවට මහත් සේ ඇලුම් කළ ආතර් සී. ක්ලාක් ගැන බොහෝ ලාංකිකයන් හරිහැටි තොරතුරු දන්නේ නැහැ. මේ පොතින් මා උත්සාහ කරන්නේ විශේෂයෙන් අද කාලයේ ළමුන්, දෙමවුපියන් හා ගුරුවරුන්ට ඔහුගේ ළමා කාලයෙන් ගත හැකි ආදර්ශ හුවා දැක්වීමටයි’ නාලක ගුණවර්ධන කියයි.

S&T Group ප‍්‍රකාශනයක් වන ‘තරු අතරට ගිය දරුවා’ පොත, 2023 සැප්තැම්බර් 22දා ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී J-270 කුටියෙන් 20% වට්ටමක් සහිතව ලබා ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!