spot_img
spot_imgspot_img

මරියතුමියගේ කඳුළු කතාව බොරුවක්. තීන්ත පැල්ලමකට රටක් රවටලා ?

පුවත්

විදෙස්

හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ තබා ඇති මරියතුමියගේ යැයි කියන පිළිමයක ඇසකින් රුධිරය ගලා යනවා යැයි කියන කතාව බොරුවක් බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

පසුගිය (10) වැනි දා සිට මේ පිළිමය එම දේවස්ථානයේ තැන්පත් කර ඇති අතර මාධ්‍ය මගින් කිසිදු විචාරයකින් තොරව ඒ පිළිබඳ ප්‍රචාරය කිරීමෙන් පසු දහස් ගණන ජනතාව එහි ගොස් වැඳ වැටෙමින්, යාඥා කරමින් දේවස්ථානයට මුදල් පරිත්‍යාග ද සිදුකරන ආකාරය දැකගත හැකිවිය.

හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවසක මේ පිළිමය තිබූ බවත්, එයට දිනපතා පුද පූජා පැවැත්වූ බැවින් එහි වම් ඇසෙන් රත් පැහැ දියරයක් ගලනු දැක 10 වැනි දා සවස එම පිළිරුව හැටන් ශ්‍රී කුරු දේවස්ථානය වෙත උත්සවාකාරයෙන් ගෙනවිත් තැන්පත් කළ බවත් දෙවස්ථානයේ භාරකරුවෝ කියති.

අප නියෝජිතයකු එහි ගොස් පිළිමයට ආසන්න වී මොහොතක් බලා සිටි විට එහි ඇත්තේ රතු පැහැති කිසියම් තීන්ත වර්ගයක් බව පැහැදිළිව නිරීක්ෂණය විය. එම තීන්ත පැල්ලම ගලායන ස්වරූපයක් නැත. නමුත් එහි පැමිණෙන බැතිමතුන් එකිනෙකා සමඟ පවසන්නේ එම ඇසෙන් රතු පැහැති කඳුළු වැගිරෙන ආකාරය තමන් දුටු බවයි.

අපට එවැන්නක් නිරීක්ෂණය වූයේ නැත. එම තීන්තවල තෙතමනයක් ද දක්නට නැත.

මේ සම්බන්ධයෙන් එම දේවස්ථානයේ පියතුමා බව කියන වර්ණකුලසූරිය ඇන්තනි ප්‍රනාන්දුගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මේ පිළිමයේ ඇසින් රතු පැහැයෙන් කඳුළු ගලා එන ආකාරය මුලින්ම දැක තිබුණේ එය තිබූ නිවසේ කුඩා දරුවෙක්. ඒ වෙලාවේ ඒකේ තෙතමනයක් තිබුණා. නමුත් දැන් එය වේළිලා ගිහින්. රතු පැහැති කඳුළු ගලා ඇවිත් ඇති බව දැනටත් ඕනම කෙනෙකුට දැකගන්න පුළුවන්.”

ඔහු කියන්නේ කලින් තිබුණා දැන් නෑ ඔන්න බලාගන්න නමැති කතාවකි. පිළිමයේ රතු පැහැයෙන් තිබෙන පැල්ලම රසායනාගාර පරීක්ෂණයකට ලක්කිරීමට කටයුතු කරමු යැයි අප යෝජනා කළ විට හෙතෙම එය තරයේ ප්‍රතික්ෂේප කළේය. දේවස්ථානයේ දායකයන් යැයි කියාගත් පිරිසක් ද දේව පිළිමයේ හාස්කම්වලට අපහාස කරන්න එපා යැයි කියමින් අප සමඟ උරණවූහ.

මෙවැනි සිදුවීම් ජනතාව විශ්වාස කිරීම සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහ‍ේල විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙන් විමසූ විට මෙසේ කීවේය.

“මට භෞතික සිද්ධාන්ත ගැන පැහැදිළි කරන්න බැහැ. බුදු පිළිමවලින් රැස් විහිදෙනවා කියා කියපු දේ සිදුවුණේ ආලෝක පරාවර්ථනයක් නිසා කෙනෙකු දුටු දෘෂ්ඨි මායාවක් වැනි යමක් අනිත් අයට ප්‍රකාශ කිරීම. මෙවැනි පිළිමයකටත් ඇතැම් අවස්ථාවල යම් පරාවර්තිත ආලෝකයක් ලැබීමෙන් දිලිසීමක් තවත් කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන් යම් දියරයක් වැගිරෙනවා කියා. ඇතැම් දේව පිළිම සකස් කරන අවස්ථාවේ දී ම කඳුළු වැගිරෙන ආකාරය පෙනෙන විදියට සකස් කර තිබෙනවා. මෙවැනි පිළිම සම්බන්ධයෙන් කෙනෙකුගේ ඇති අධික විශ්විසාය භක්තිය නිසා ඇතැම් අවස්ථාවල දී සැබැවින්ම නැති දේවල් මැවිලා පෙනෙන්න පුළුවන්. කෙනෙක් තමන්ට මැවිලා පේන දේ තවත් කෙනෙකුට කිව්වාම ඒ තැනැත්තාත් අධික භක්තිය නිසා ඒක විශ්වාස කරනවා. නමුත් ඇත්තටම එවැන්නක් සිදු වන්නේ නැහැ. විශ්වාසයක් මත තමයි මේක සිදුවෙන්නේ. මෙය මානසික ඇණවුමකින් සිදුවන දෙයක්.”

විශේෂඥ ‍මනෝ වෛද්‍ය රූමි රූබන් වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි මානසික ඇණවුම් හේතුවෙන් ආශ්චර්යයන් සිදුවන්නේ යැයි විශාල පිරිසක් විශ්වාස කරන අවස්ථාවන් ශ්‍රී ලංකාවේ දී මෙන්ම විදෙස් රටවලදී ද වාර්තා වී ඇති බවයි.

මෙතැන දී ද සිදුව ඇත්තේ ද තීන්ත හෝ වෙනත් රසායනික පැල්ලමක් පෙන්වා ජනතාව රැවටීම බව එය නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!