spot_img
spot_imgspot_img

වීසා නැති පළමු සංචාරකයා, ශ්‍රී ලංකාවට පැමිණෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට මෙවැනි සංචාරකයන් පැමිණීම ආරම්භ වන්නේ අගොස්තු මුල් සතියේ දී වුව ද ඇතැම් වර්ෂවල දී එය ජූලි අවසන් දින කිහිපයේ දී ද සිදුවෙයි.

වසර අවසාන මාස කිහිපයේ දී දක්නට ලැබෙන මේ සංචාරය අදින් වසර මිලියන ගණනාවක සිට අඛණ්ඩව සිදුවන්නකි. ඒ විදෙස් රටවල සිට සංචාරක පක්ෂීන් පැමිණීම හෙවත් පක්ෂි පර්යටනයයි.

සංචාරක පක්ෂීන්ගේ පැමිණීම ආරම්භ කරන කුරුල්ලන් කිහිප දෙනා අතරින් වෙරළබඩ සහ තැනිතලා ප්‍රදේශවල රැඳී නොසිට රට අභයන්තරයට ම ගමන් කරන පක්ෂියකු වන්නේ යුරෝපීය සිලිවටුවා (Common Sandpiper) නමැති කුරුල්ලන් විශේෂයයි.

මොවුන් සාමාන්‍යයෙන් බොහෝ විට ජූලි මාසයේ අවසන් දින 10 දී ශ්‍රී ලංකාවේ ජල මාර්ග, ඉවුරු සහ ජලාශ ආශ්‍රිතව දක්නට ලැබෙන්නේ පක්ෂි පර්යටනය ආරම්භ වූ බව සටහන් කරමිනි.

පරිසර නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන යුරෝපීය සිලිවටුවකු ඊයේ (24) බත්තරමුල්ල ප්‍රදේශයේ දී නිරීක්ෂණය කර තිබේ. වසර මිලියන ගණනක සිට අඛණ්ඩව පැමිණෙන මේ අපූරු සංචාරකයන් තම පූූර්වජයන් පරිදිම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

යුරෝපීය සිලිවටුවෝ වියළි කලාපයේ ජලාශ්‍රිත පරිසරයේ, කොළඹ තදාසන්න ජලාශ්‍රිත පරිසරයේ පමණක් නොව, සීතල නුවරඑළියේ ද මාස කිහිපයක් ගත කර නැවත තම නිජබිම් කරා යති.

නිරතුරුවම ශරීරයේ පසුපස කොටස උස්පහත් කිරීමේ නියැලීම මොවුන්ගේ දැකිය හැකි ලක්ෂණයකි. ඉතාත් කඩිසර නිරන්තර ක්‍රියාශීලී ලෙස ඔබමොබ ඔබමොබ ගමන් කරමින් සහ ඇතැම්විට ටික දුරක් දිව යමින් සිටින නිසා දැක ගැනීම පහසු පක්ෂි විශේෂයකි ජලාශ්‍රිත පරිසරවල හමු වූවත්, ජල මට්ටමට බැහැරව කල් ගත කිරීමත් විශේශත්වයකි.

යුරෝපීය සිලිවටුවා Actitis hypoleucos ලෙස සත්ව විද්‍යාත්මකව නාමකරණය කර තිබේ. Actitis  යන ඝන නාමය තබා ඇත්තේ “වෙරළ වැසියා” යන අර්ථයෙනි. hypoleucos යන විශේෂිත නාමයෙන් පුරාණ ග්‍රීක භාෂාවෙන් hypo “පහළ” සහ leucos “සුදු” යන අර්ථය ඇතිව hypoleucos යන්න ඒකාබද්ධ කර විශේෂ නම යොදා ඇත.

Actitis ඝනයට අයත් Actitis macularia විශේෂය සමඟ ඇතැම් අවස්ථාවල දී අභිජනනය කිරීමෙන් දෙමුහුම්කරණය සිදුවන බව ද වාර්තා වි තිබේ.

පියාපත්වල ඉහළ කොටස අළු දුඹුරු පැහැයක් ගන්නා අතර යටි කොටස සුදු පැහැතිය. කෙටි තද කහ පැහැති පාද සහිතය.

කොළ පැහැයෙන් දැක්වෙන්නේ ඔවුන් අභිජනනය කරන ප්‍රදේශයයි. ශීත කාලය එළැඹීමත් සමඟ සංක්‍රමණය වන ප්‍රදේශ නිල් පැහැයෙන් දැක්වේ

යුරෝපයේ සහ ආසියාවේ බොහෝ ප්‍රදේශවල අභිජනනය කරන මොවුන් ශීත සෘතුව ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලටත්, අප්‍රිකාව සහ ඔස්‍ට්‍රේලියාවටත් සංක්‍රමණය වෙයි. ඉන්පසු නැවත අප්‍රේල් මාසයේ අවසාන සතියේ සිට මැයි පළමු සතිය දක්වා අතර කාලය තුළ ඔවුන් අභිජනනය සඳහා තම නිජබිම් සොයා පිටත්ව යයි.

රංචු වශයෙන් සැරිසරන මොවුන් මිරිදිය ජලය සහිත ස්ථාන අසළ බිම කූඩු තනයි. බියට පත්වූ අවස්ථාවල දී පැටවුන් තම දෙමාපියන්ගේ සිරුරතුළ සැඟවෙන අතර පැටවුන් රැගෙන පියාසර කිරීමට ද මොවුන්ට හැකියාව තිබේ. සාමන්‍ය කෘමීන්, අපෘෂ්ඨවංශික සතුන් අහුලා ගිල දමමින් ජීළුත් වෙයි. නොගැඹුරු ජලයේ මෙන්ම ජලය ආසන්න ගොඩබිම සිටින එවැනි සතුන් කා දමයි. එමෙන් ම පියාසර කරන අතරතුර ද කෘමීන් අල්ලා ගිල දැමීමේ හැකියාව ඇත.

ඇන්ටාක්ටිකාව සහ ඇමෙරිකා මහද්වීපයේ හැර ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්තියක් දක්වන බැවින් සුලබ කුරුළු විශේෂයකි.

පැපුවා නිව්ගිනියාවේ දී මේ පක්ෂියාගේ නම ස්ත්‍රීන් සහ ළමයින් සිටින තැන කියන්නේ නැත. පැපුවා නිව්ගිනියාවේ පාරම්පරික භාෂාවක් වන නුකුමානු භාෂාවෙන් මේ පක්ෂියාට කියන්නේ මතකකෝනි යනුවෙනි. එහි තේරුම ටිකක් ඇවිද පසුව සංසර්ගයේ යෙදෙන කුරුල්ලා යන්නයි. ඒ නිසා මේ නම කාන්තාවන් සහ ළමයින් සිටින තැන තහනම් වචනයක් වී තිබේ

(පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන තැබූ සටහනක් පාදක කරගෙන සැකසූ ලිපියකි)

ඡායාරූප

https://www.jpgbirding.com/Birds-Water/Some-Others-new/

https://en.wikipedia.org/wiki/Common_sandpiper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!