spot_img
spot_imgspot_img

ICTA ඩිජිටල්කරණය ඉස්සරහට දමා මූල්‍ය අපරාධ කරලා. පාඩුව බිලියන 30ක් ?

පුවත්

විදෙස්

තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනය (ICTA) පසුගිය වසර 20ක කාලය තුළ ආරම්භ කළ ව්‍යාපෘති අතරමග නතරකර දැමීම හේතුවෙන් රුපියල් බිලියන 20-30ත් අතර පාඩුවක් සිදුවන්නට ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයෙ ලේකම් මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන පවසයි.

ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම සම්පූර්ණ මුදල සාක්කුවේ දාගත්තා යැයි කිව නොහැකි වුව ද එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (19) කෝප් කමිටුවේ දී තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ එහි දී කියා සිටියේ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනය (ICTA) වෙතින් අපේක්ෂිත කාර්යභාරය ඉටුවී නැති බවයි.

“ආයතනයේ ප්‍රධානීන් ඇතුළු ඉහළ නිලතල දරණ 34 දෙනෙක් ඉවත්වෙලා තියෙනවා. 113 දෙනෙක් හිටපු ආයතනය දැන් 84ට බැහැලා. ඔක්කොම ප්‍රධාන අය ගිහිල්ලා. අපිට පස් දෙනයි අලුතෙන් ගන්න පුළුවන් වුණේ. ආයතනයට එන්න කැමති අය නැති නිසා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.” යැයි ද සභාපතිවරයා පෙන්වාදුන්නේය.

මෙහි දී අනාවරණය වූයේ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනය (ICTA) වසා දමන්න යැයි ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබීම නිසා සේවකයන් ආයතනයෙන් ඉවත්වන බවයි. මෙම ආයතනය වසා දැමීමක් ගැන ජනාධිපතිවරයා සඳහන් නොකළ බවත්, මීට වඩා බලපත් ආයතනයක් පිහිටුවා මෙහි කටයුතු එයට අන්තර්ග්‍රහණය කිරීම ගැන ජනාධිපති කාර්යසාධන බලකායේ දී සාකච්ඡා කළ බවත් අමාත්‍යාංශ නිලධාරීහු කෝප් කමිටුවේ දී කීහ.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසා සිටියේ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනය (ICTA) මූල්‍ය ගනුදෙනු විගණනයට ඉදිරිපත් කිරිමේ විශාල ප්‍රමාදයක් දිගින් දිගටම දක්නට ලැබෙන බවයි. එම ආයතනය පාර්ලිමේන්තුවත්, විගණකාධිපතිවරයාත් මඟහැර ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය.

“මේ ආයතනය සමාගමක් ලෙස ස්ථාපිත කර තිබුණත්, තනිකරම යැපෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්. මෙහි ව්‍යාපෘති තිබුණට ඒවා අතරමග නතර කරනවා. එතකොට විශාල වියදමක් දරා අවසන්” යැයි කෝප් කමිටු සභාපතිවරයා කීවේය.

මෙම ආයතනය සඳහා ඒ ඒ රජයන් විසින් අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ඇත්තේ ව්‍යාපාරිකයන් බවත් ඔවුන් පැමිණ තමන්ට අවශ්‍ය ව්‍යාපෘති සඳහා සැළසුම් සකස්කර ඒවා අනුමත කරගෙන පසුව ටෙන්ඩර් දමා  මග දී ආයතනය අතහැර දමනබවත්, නමුත් ඔවුන් නියෝජනය කරන විදේශීය සමාගම් විසින් එම ව්‍යාපෘති සිදුකරමින් මුදල් ලබාගන්නා බවත් මෙහි දී අනාවරණය විය.

කෝප් කමිටුව චෝදනා කළේ එය මූල්‍ය අපරාධයක් බවයි.

ඩිජිටල්කරණය වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමු‍ණින් මෙම ආයතනය ආරම්භ කර මේ වනවිට වසර 20ක කාලයක් ගත වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!