spot_img
spot_imgspot_img

සිරිපා වන්දනාව අදින් අවසන්

පුවත්

විදෙස්

ශ්‍රී පාද වන්දනා කාලය අද (06) වැනි දිනයෙන් අවසන් කෙරිණි. සිරිපා වන්දනා කාලය ආරම්භ වන්නේ සෑම වර්ෂයක ම දෙසැම්බර් මාසයේ උඳුවප් ‍පුන් පොහෝ දිනයෙනි.  

එම වන්දනා කාලයේ දී උඩ මළුවේ තැන්පත් කර තිබූ කරඬුව, දේව පිළිම සහ දේව ආභරණ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයට වැඩමවීමෙන් වන්දනා කාරය අවසන් වෙයි.

ගෞතම බුදු රජාණන් වහන්සේගේ වම් පාද සටහන මෙහි නීල මාණික්‍යයක් මත තබා ඇති බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. කිතුනුවන් විශ්වාස කරන්නේ ලොව පහළ වූ ප්‍රථම මිනිසා හෙවත් ආදම්ගේ පා සටහන මෙහි ඇති බවයි.  හින්දු භක්තිකයන් කියන්නේ ශිව දෙවියන්ගේ පා සළකුණ ඇති බවයි. ඉස්ලාම් දහම අනුව ලොව මුල්ම මිනිසාගේ පා සටහන මෙහි තිබෙන බව ඔවුහු විශ්වාස කරති.

සියලු ආගමිකයන්ගේ විශ්වාස කවරක් වුව ද සිරිපා කඳු මුදුනේ කන්ද මත ඇති ගල් පර්වතයක කිසියම් නිර්මාණ ශිල්පියකු විසින් කොටන ලද අතිවිශාල පාද සටහනක් දක්නට ලැබෙයි. වාර්ෂිකව එහි භික්ෂූන් වහන්සේලා විසින් රන් ආලේප කිරීම ද සිදුවෙයි.

අතීතයේ එම පා සටහන දුටුබව කියන කිහිප සටහන් තබා තිබේ.

දේශ ගවේෂක ඉබන් බතූතා කියා සටහන් කර ඇත්තේ සිරිපා කඳු මුදුනේ ඇති පාද සළකුණ වියත් 11ක් තරම් විශාල බවයි. ජෝන් ද මරිඤ්ඤෝල්ලි බිෂොප්වරයා වසර 700කට පමණ පෙර පා සළකුණ දැක පවසා ඇත්තේ ඔහු දුටුවේ වියත් දෙකහමාරක පා සටහනක් බවයි. චාඕ පූජකතුමා පවසන්නේ සිරිපා සටහන අඩි හතකට වඩා විශාල බවයි. සුලෙයිමාන්තුමා පවසා ඇත්තේ එහි දිග රියන් ගණනක් බවයි.

කෙසේ වෙතත් මිනිස් පා සටහනක් නම් එහි නැති බවත්, බුදුන් වහන්සේ දැක්වීම සඳහා අතීත කලාකරුවන් විසින් නිර්මාණය කරන සිරිපතුල නම් කැටයම ආකාර කොටන ලද සළකුණක් ඇති බවත් සිරිපාදය පිළිබඳ ගවේෂණය කර ඇති පුරාවිද්‍යාඥයෝ කියති.

ඡායාරූප – මස්කෙළිය -ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!