spot_img
spot_imgspot_img

පොලිස් ලොක්කෝ මානව හිමිකම් කොමිසම මඟහරිති

පුවත්

විදෙස්

නීති විරෝධී ශබ්ද දූෂණයට ‍එරෙහිව පොලිසියට කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බව පවසමින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිලි දෙකක් අද (10) විභාගයට කැඳවා තිබුණ ද දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය කිසිම දැනුම්දීමකින් තොරව මානව හිමිකම් කොමිසම මඟහැර තිබිණි.

ඉන් එක් පැමිණිල්ලක සඳහන් වූයේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ සංගීත සංදර්ශන, සැණකෙළි, ප්‍රදර්ශන සහ වෙනත් උත්සව සඳහා ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයා මූලස්ථාන පොලිසියේ නිර්දේශය සහිතව නීති විරෝධී ලෙස ශබ්ද විකාශන බලපත්‍ර ලබාදෙන බවයි. එම පැමිණිල්ල කර තිබුණේ ගාල්ල නගරයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සේනක ද සිල්වා විසිනි.

දෙවැනි පැමිණිල්ල කර තිබුණේ උණවටුන ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන ඉන්ද්‍රජිත් දේවසුරේන්ද්‍ර විසිනි. ඔහු සඳහන් කර තිබුණේ උණවටුන ප්‍රදේශයේ ඇති ඒන්ජල් බීච් නමැති සංචාරක හෝටලකය රාත්‍රී කාලයේ දී බලපත්‍ර නොමැතිව ඩී.ජේ. වැඩසටහන් පැවැත්වීමෙන් අධික ශබ්දයක් උත්පාදනය කරන බවට පොලිසියට පැමිණිලි කළ ද හබරාදුව පොලිසිය පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගෙන තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවයි.

මෙම පැමිණිලි දෙකට වගඋත්තර කරුවන් ලෙස ගාල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා, හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා, ගාල්ල සහකර පොලිස් අධිකාරීවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ මධ්‍යම පරිසර අධිකාරිය නම්කර තිබිණි.

නමුත් මෙම පැමිණිල්ල විභාගය සඳහා පොලිසියේ කිසිම නිලධාරියකු නොපැමිණි අතර පොලිසිය විසින් චෝදනා එල්ල වී ඇති ඒන්ජල් බීච් හෝටලයට මේ ගැන දැනුම් දීම හේතුවෙන් ඔවුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ගේ උපදෙස් මත නීතිඥවරු දෙදෙනකු සමඟ පැමිණ පැමිණිල්ලට ඉදිරිපත්වීම සඳහා අවසර ඉල්ලා සිටියේය. පැමිණිලි පාර්ශවයේ විරෝධතාවක් නොවීම හේතුවෙන් ඔවුන්ට අවස්ථාව ලැබිණි.

පැමිණිල්ල විභාගය ආරම්භ කරමින් චෝදනා ලැබ සිටින ඒන්ජල් බීච් හෝටලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ මේ පැමිණිල්ල විභාග කිරීම පිළිබඳ පොලිසිය නොදන්නවා විය හැකි බවයි. නමුත් ඔවුන්ට ද ඒ බව දැනුම් දුන්නේ පොලිිසය විසින්ම බව එම නීතිඥවරුන්ට අමතක වී තිබිණි.

පැමිණිල්ල විභාග කිරීමේ දී අනාවරණය වූයේ පැමිණිලිකාර ඉන්ද්‍රජිත් දේවසුරෙන්ද්‍ර විසින් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු පොලිසිය ඒන්ජල් බීච් හෝටලයේ ඩී.ජේ. සඳහා දෛනිකව බලපත්‍රයක් නිකුත්කර ඇති බවයි. නමුත් එම බලපත්‍රයේ කොන්දේසි ඉටු නොකරන බව පැමිණිලිකරුගේ චෝදනාව විය.

මධ්‍යම පරිසර අධිකාරියෙන් පැමිණි නිලධාරීන් පවසා සිටියේ මෙම ඒන්ජල් බීච් හෝටලයට පාරිසරික බලපත්‍රයක් ලබා දී ඇති අතර එහි සඳහන් කර ඇත්තේ රාත්‍රී කාලයේ දී ඩෙසිබල් 50 ඉකමවන ශබ්දයක් එම ස්ථානයෙන් නිකුත් නොවිය යුතු ලෙස බවයි. නමුත් ඩීජේ සංදර්ශනවල දී නික්තු කරන ශබ්දය අනිවාර්යයෙන් ම ඩෙසිබල් 50 ඉක්මවා යන බවත් එය තම බලපත්‍රයේ සඳහන් කාර්මික ශබ්ද දූෂණයක් නොව මහජන ශබ්ද දූෂණයක් බවත් මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටියේය. ඒ සඳහා පොලිසියෙන් බලපත්‍රයක් ලබාගත යුතු බවත් බලපත්‍රයක් නොමැති ශබ්දය උත්පාදනය කිරීම හෝ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කිරීම අවශ්‍යයැයි ද මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පොලිසිය චූදිතයාට අදාල ගැටලුව දැනුම් දී මානව හිමිකම් කොමිසම මඟහැර සිටීම හේතුවෙන් ඉදිරි දැනක නැවත පොලිස් නිලධාරීන් කැඳවා පැමිණිල්ල විභාග කිරීමට ද තීරණය කෙරිණි.

සමනල ක්‍රීඩාංගණයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම හේතුවෙන් තමන් ඇතුළු ගාල්ලේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සේනක ද සිල්වා විසින් කරන ලද පැමිණිල්ල විභාග කිරීමේ දී ද එහි වගඋත්තරකරුවන් කිසිවෙකු පැමිණ නොසිටි බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදීමට ද තීරණය කෙරිණි.

සේනක ද සල්වා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ දක්වා ඇත්තේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් එහි පිහිටීම අනුව ශබ්දය පිටතට විස්ථාරණය වීම වැළැක්විය නොහැකි බවට පොලිස්පතිවරයා පවා දැනුම් දී තිබිය දී පොලිසිය එම ස්ථානයට බලපත්‍ර ලබාදීම හෝ නීති විරෝධී ශබ්ද විකාශනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම වරදක් බවයි.

මේ සම්බන්ධයෙන් විභාග කිරීමට පොලිසියට තවත් දිනයක් ලබාදෙන බවත් නැතිනම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මානව හිමිකම් කොමිසමේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!