spot_img
spot_imgspot_img

රාජකීය පදයට ජනපති නටනවා යැයි, ගුරු විරෝධයට අධිකරණයෙන් කොන්දේසි

පුවත්

විදෙස්

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කණ්ඩායමකගේ ඉල්ලීමක් අනුව ගුරුවරුන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් අවලංගු කිරීමට ජනාධිපතිවරයා ගත් ඒකාධිපති තීරණය පරදමු යනුවෙන් පැවැත්වීමට නියමිත ගුරු විදුහල්පති උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

අගෝස්තු මාසයේ සිට මාස හයකට අධික කාලයක් මාරු මණ්ඩල මගින් ගුරුවරුන්ගේ ඉල්ලීම් සළකා බලා ඉන් අනතුරුව අභියාචනා ද පිරික්සීමෙන් අනතුරුව ගුරුවරු 12,050ක් මාරු කිරීමට නිර්දේශ කර තිබිණි. වසර 10කට වැඩි කාලයක් කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු සුපිරි යැයි කියාගන්නා පාසල්වල සිටින ගුරුවරුන්ට තවදුරටත් එම පාසල්වලම රැඳී සිටීමේ වුවමනාව මත ජනාධිපති රනින් වික්‍රමසිංහ ගුරු මාරු මණ්ඩල නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට තීරණනය කළ බවට ගුරු සංගම් චෝදනා තරයි.

ජනාධිපතිවරයාගේ අත්නෝමතික තීරණයට එරෙහිව විරෝධය දක්වමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක් අද (22) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළට රැස්වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට සැළසුම් කර තිබිණි.

එම ගුරු සංගම් කියා සිටියේ ගුරු මාරු මණ්ඩල නිර්දේශය ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කොටුව පොලීසිය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අද  තහනම් නියෝගයකක් නිකුත් කර ඇත. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි සහ එම සංගම්වල නියෝජිතයින් සදහා එම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අද (22)  උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාත්, ලෝටස් මාර්ගය, යෝර්ක් වීදිය, බැංකු මාවත, බාරෝන් ජයතිලක මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට එම මාර්ගයේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

එම ආඥාව කඩකිරීම දණ්ඩ නීති සංග්‍රහ පණතේ 185 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද අධිකරණ නියෝගයේ සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!