spot_img
spot_imgspot_img

පාසලේ කෲරත්වය ඉවසාගත නොහැකිව සිසුවියෝ පලායති. විදුහල්පති සහ තිදෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

මහනුවර මඟුල් මඩුවේ සැඟවී සිටි සිසුවියන් තිදෙනකු ඇදගෙන යාමට තැත්කළ ගුරුවරියන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමෙ දී පාසලක සිදුවන කෲර වදහිංසා පිළිබඳ අනාවරණය වූ බවත්, විදුහල්පතිවරයා සහ තවත් තිදෙනකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බවත් මහනුවර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර මොරන්කන්ද ප්‍රදේශයේ නේවාසික පෞද්ගලික පාසක විදුහල්පතිවරයෙකි. විදුහල්පතිවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙකුත් අය හලාවත, වෙලම්බඩ හා අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝය.

පසුගිය සඳුදා (13) මහනුවර මඟුල් මඩුවට පැමිණ සිටි පාසල් වියේ පසුවන දැරියන් තිදෙනකු කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ ගන්නා බවත්, දැරියන් කෑ ගසමින් ඊට විරෝධය දක්වන බවත් දුටු දළදා මාළිගාවේ ආරක්ෂාව භාර පොලිස් නිලධාරීන් පිරිසක් ඊට මැදිහත්ව ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

එම අවස්ථාවේ එම සිද්ධියට මුහුණ දෙමින් සිටි 17 හැවිරිදි දැරියක් සහ 15 හැවිරිදි දැරියන් දෙදෙනකු පවසා ඇත්තේ තම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු බලධාරින් තමන් ඇතුළු සිසු සිසුවියන්ට අමානුෂික ලෙස වධහිංසා සිදුකරන බැවින් එයින් බේරීමට පලා ආ බවයි. ඒ අනුව දැරියන් රැගෙන යාමට පැමිණ සිටි ගුරුවරුන් දෙදෙනකු ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම දරුවන් පුද්ගලික පාසලක නේවාසිකව ඉගෙනුම ලබන බවයි. එම පාසල ව්‍යාපාර ලියාපදිංචියක් යටතේ පවත්වාගෙන යන එක් සිසුවකුගෙන් මාසිකව රුපියල් 35,000.00ත් 45,000.00ත් අතර මුදලක් අයකර ගනිමින 250ක පමණ සිසු සිසුවියන් පිරිසකට අධ්‍යාපනය ලබාදෙන බවත් අනාවරණය වී ඇත. එහි සිසුන් සහ සිසුවියන් සඳහා වෙන වෙනම නේවාසිකාගාර දෙකක් පවත්වාගෙන යන බව ද පොලිසිය පවසයි.

මෙම පාසලේ නේවාසිකව සිටින සිසුන් 05 දෙනකු තම 12 වැනි දා රාත්‍රියේ තම නේවාසිකාගාරයෙන් පිට වී සිසුවියන්ගේ නේවාසිකාගාරයට ගොස් ඇති බවත් ගුරුවරුන් පොලිසියට පවසා ඇත. ඒ ඔවුන් අතර තිබූ ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් බව ද ඔවුන් පවසා තිබේ. මේ විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් ඔවුන්ට දඬුවම් කළ බව ද එය කෲර වදහිංසා පැමිණවීමක් නොවන බව ද ගුරුවරුන් පොලිසියට ලබාදුන් ප්‍රකාශවල සටහන් කර තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඒ අනුව ක්‍රියාත්මක වෙමින් විදුහල්පතිවරයා ද, නේවාසිකාගාරයෙන් රහසේ පිටව ගිය බව කියන සිසුන් පස් දෙනා සහ දඬුවම් ලැබූ බව කියන අනෙක් සිසුවියන් දෙදෙනාගෙන් ද තොරතුරු විමසා වැඩිදුර පරික්ෂණ පවත්වා ඇත.

පොලිසිය පවසන්නේ මේ සියලු සිසු සිසුවියන් වයස අවුරුදු 15-17ත් අතර පසුවන බවයි. කෲර වදහිංසා නොකළ බව විදුහල්පතිවරයා ඇතුළු පාසල් බලධාරීන් කියා සිටිය ද කාන්තා නේවාසිකාගාරයට ගිය බව කියන සිසුන්ට සහ සිසුවියන්ට එදිනම රාත්‍රී බිම පෙරළාගෙන පහර දී ඇත. අනතුරුව සිසුන් හැඳ සිටි කමිස ගලවා ඒවායින් ඔවුන්ගේ දෑත් පිටුපසට කර බැඳ දමා හිසකෙස් කපා හිස් මුඩුකර සිසුවියන්ගේ නේවාසිකාගාරය ඉදිරිපිට දණ ගස්වා තිබූ බව ද සිසු සිසිවියන් පොලිසියට පවසා තිබේ. ඉන් පසු ඔවුන් කළුවර කාමරයකට දමා හිරකර තිබී ඇති අතර එක් සිසුවකු තම දෙඅත් මුදවාගෙන සියදිවි නසාගැනීමට තැත් කර ඇතැයි ද අනාවරණය වූ බව පොලිසිය කියයි. රාත්‍රී කාලයේ හිරකරගෙන සිටි සිසුවියන් පිරිසක් තමන් හිරකර සිටි කාමරයේ දොර කඩාගෙන පලාගොස් ඇති අතර ඔවුන් ආරක්ෂාව පතා දළදා මාළිගාව දෙසට පැමිණෙන විට පාසලේ බලධාරීන් ද ඔවුන් පසු පස පැමිණ ඇතැයි පොලිසිය පවසයිි.

පොලිසිය මෙම සිද්ධියට මැදිහත්වන අවස්ථාව වනවිටත් සියදිවි නසා ගැනීමට තැත්කළ සිසුවා ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් සිටි බැවින් ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන තිබිණි. අනෙක් සිසුන් ද වදහිංසාවලට ලක්වීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකරන බව පොලිසිය කීවේය.

සිසු සිසුවියන් ප්‍රකාශ කර ඇත්තේ පාසල තුළ දී තමන්ට පහරදීම්, නොයෙකුත් හිරිහැර, තර්ජන සහ වදහිංසාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසලේ විදුහල්පතිවරයා, පිරිමි හා කාන්තා නේවාසිකාගාර බාර පාලිකාවන් ලෙස කටයතුු කරන ගුරුවරියන් දෙදෙනකු සහ තවත් ගුරුවරයකු මහනුවර මහේස්ත්‍රාත් අධිිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර ඊයේ (14) නියෝග කළේය.

මෙලෙස රිමාන්කර ඇත්තේ එම විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ මුල්ලේගම පදිංචි සුජීව සම්පත් (45), නේවාසිකාගාර පාලිකාව වූ අවිස්සාවේල්ල පදිංචි නිමාෂි හංසිකා, ගුරුවරියක වූ වෙළම්බඩ පදිංචි ප්‍රසංගයා මනෝජා සහ විනය පාලක ගුරවරයා වශයෙන් කටයතු කළ හලාවත පදිංචි ඩබ්ලි් ජීයස් යන සිව්දෙනෙකි.

මෙම පාසලේ විදුහල්පතිිවරයා ලෙස කටයුත කරන්නේ එම ව්‍යාපාරයේ හිමිකරුවා ම බව ද පොලිසිය පවසයි.

මෙම පාසලේ තවත් මෙවැනි ක්‍රියාවන් සිදුව ඇත්දැයි සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!