දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක් 21 හැවිරිදි තරුණයකුට සිය බිරිඳ ලෙස තබාගැනීමට ඉඩ දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, දැරියගේ මව, තරුණයාගේ දෙමාපියන් සහ අදාල තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
දැරිය කොළඹ රාජගිරියේ ඔබේසේකරපුර පදිංචිකාරියකි. තරුණයා වීරඹුවේ පදිංචි අයෙකි. සමාජ මාධ්‍ය ඔස්සේ දෙදෙනා හඳුනාගෙන ඇති බවත් 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ දී දැරිය තරුණයා සොයගෙන කුලියාපිටියට ගොස් ඇති බවත් පොලිසිය කියයි. ඒ වනවිට දැරියගේ වයස අවුරුදු 13කි. එවකට තරුණයාගේ වයස 21කි.
එදා සිට අද දක්වා ම වසර දෙකක කාලයක් මේ තරුණයාත් දැරියත් තරුණනයාගේ නිවසේ අඹු සැමියන් ලෙස ජීවත් වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. පසුගිය දා ඇය තරුණයා සමඟ ඇති වූ හිත් අමනාපයක් හේතුවෙන් රාජගිරියේ පිහිටි සිය නිවසට ගොස් ඇත. ඇය නිවසට ගිය වහාම තරුණයා වෙනත් තරුණියක සමඟ නීත්‍යානුකූලව විවාහ වී ඇතැයි ද පොලිසිය පවසයි.
මෙම විවාහය ගැන දැනගත් දැරිය පොලිසියට පැමිණිලි කළාය. ඒ පැමිණිල්ල අනුව විමර්ශන සිදුකළ පොලිසිය තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. දැරියගේ මව තම බාලවයස්කාර දියණිය තරුණයකු සමඟ අඹු සැමියන් ලෙස ජීවත්වන බව දැන දැනත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන අපරාධමය වරදකට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. නිවසින් පලා ආ දැරිය බාලවයස්කාර තැනැත්තියක බව දැන දැන ම ඇය තම නිවසේ රඳවාගෙන තම පුතු සමඟ අඹු සැමියන් ලෙස ජීවත්වීමට අවස්ථාව ලබාදීමේ චෝදනාව යටතේ තරුණයාගේ දෙමාපියන් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.