spot_img
spot_imgspot_img

ෂාෆ්ටර් මියගියේ “සයනයිඩ්” ශරීරගතවීමෙන් යැයි අධිකරණයේ දී කියයි

පුවත්

විදෙස්

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් නොව සයනයිඩ් ශරීරගත වීමෙන් යැයි අද කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ දී අනාවරණය විය.

ඒ ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය විසින් කියවූ අවස්ථාවේ දී ය.

එම වාර්තාවේ දැක්වෙන්නේ ගෙල සිරවීමෙන් ඇතිවූ තුවාල මරණීය තුවාල නොවන බවයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු දැක්වීම අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඉදිරි‍යේ සිදුකෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ ජංගම දුරකථනයේ සහ අයි පෑඩයේ ෂාෆ්ටර් තම බිරිඳට සහ බිරිඳගේ මව්පියන්ට සකසන ලද ලේඛන කිහිපයක් සොයාගැනීමට හැකි වූ බවයි. එහි ලිස්ට් යනුවෙන් සඳහන් වූ ලිපියක් තිබූ බවත් එහි KCM යන කෙටි නමින් හඳුන්වන ලද වචනයක් සහ ZIP TIE සහ තවත් භාණ්ඩ කිහිපයක ලැයිස්තුවක් තිබූ බව පැවසිණි. KCM යන කෙටි නමින් සයනයිඩ් හඳුන්වන බවත්  ZIP TIE යනු යම් දෙයක් ගැට ගැසීමට භාවිත කරන ප්ලාස්ටික් පටියක් බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒමෙන්ම THE LIST ලෙස සඳහන් තවත් නාම ලේඛනයක් ඒ තුළ තිබූ අතර එහි පුද්ගලයන් පස්දෙනෙකුගේ නම් සඳහන්ව තිබූ බවත් විමර්ශන නිලධාරීන් අනාවරණය කළේය. එම පුද්ගලයන්ගේ දුරකථන සහ ලිපිනයක් ද එහි තිබූ බව සඳහන්ව ඇත. එමෙන්ම බ්‍රයන් තෝමස්ගේ ඡායාරූප ඇතුළත් PDFගොනුක් ද එම අයි පෑඩය තුළ තිබී සොයාගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. 

”MOST IMPORTANT WHO IS BEHIND B.T. GET MY MONEY BACK” යනුවෙන් ද එහි සඳහන්ව තිබී ඇත.

එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් 15 වන දින අවසානයට දිනේෂ් ෂාෆ්ටර් විසින් ඔහුගේ ලේකම්වරයාට තමන් සිටින ස්ථානය යවා ඇති අතර එය සඳහන්ව තිබී ඇත්තේ “බොරැල්ල පොදු සුසාන භූමිය” ලෙසිනි.

මේ අතර විමර්ශන නිලධාරීන් පැවසුවේ බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකථනය ද පරීක්ෂා කළ බවයි. දිනේෂ් ෂාෆ්ටර් සහ බ්‍රයන් තෝමස් අතර 2019 වසරේ දෙසැම්බර් මස 25වන දින සිට දිනේෂ් ෂාෆ්ටර් මියගිය දිනය දක්වා හුවමාරු වූ වට්ස් ඇපි පණිවිඩ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අතර ෂාෆ්ටර් මියගිය දිනයේ සවස 2.48යි තත්පර 50ට තමන්ට ඔහුව හමුවීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් බ්‍රයන් තෝමස් විසින් ෂාෆ්ටර් වෙත වට්ස්ඇප් පණිවිඩයක් යවා ඇති අතර ඊට පෙර හමු වූ අවස්ථාවක දී කළ පහරදීමක් ගැනත් එහි සඳහන්ව ඇතැයි විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කීවේය.  ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ව බොරැල්ල කනත්තට කැඳවීමට උත්සාහ කළ ද ඔහුගේ එම උත්සහය සාර්ථක වී නැතැයි විමර්ශන නිලධාරීන් අධීකරණය හමුවේ අනාවරණය කළේය.

එමෙන්ම ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ට යැවූ ඇතැම් පණිවිඩ මකා දමා ඇති බවද විමර්ශන නිලධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!