spot_img
spot_imgspot_img

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සල්ලි ගරන ජාවාරමක්. සල්ලි නැති නිසා දරුවන්ට පාසල අහිමි වෙයි

පුවත්

විදෙස්

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට උසස් පෙළ සඳහා අලුතෙන් පැමිණෙන සිසු සිසුවියන්ගෙන් රුපියල් 10,000.00ක මුදලක් නිති විරෝධී ලෙස එකතුකර ඇති බව වාර්තා වෙයි.

උසස් පෙළ පන්ති සඳහා පැමිණි සිසුන් සංඛ්‍යාව 170ත් 200ත් අතර ප්‍රමාණයක් වන අතර මේ අනුව පාසල් පාලන අධිකාරිය විසින් නීති විරෝධී ලෙස එකතුකළ මුදල රුපියල් ලක්ෂ 17 ඉක්මවයි.

මෙම මුදල් එකතුකර ඇත්තේ ‍පාසලට ඇතුළත්වන සිසුන් සඳහා ඩෙස් පුටු ලබාගැනීමට යැයි කියා මේ මුදල එකතුකර තිබේ. නමුත් උසස් පෙළ සිසුන් සඳහා අලුතේ පන්තිකාමර ඉදිකර නැත. එසේ නම් විදුහල්පති ඇතුළු පාසල් පරිපාලනය මුදල් එකතුකර ලබාගන්න ඩෙස්පුටු ගොඩගසන්නේ කවර ස්ථානයක ද යන්න බරපතල ගැටලුවක් තිබේ.

තවත් දින කිහිපයකින් උසස් පෙළ විභාගය ආරම්භ වෙයි. 13 වසරේ ඉගෙනුම ලබන එම සිසු සිසුවියන් විභාගය ආසන්න බැවින් පාසලට එන්නේ නැත. ඔවුන්ට මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර පවා ලැබී තිබේ. එම සිසුන් භාවිතා කළ ඩෙස් පුටු සහිත පන්තිකාමර තිබිය දී අලුතෙන් ඩෙස් පුටු අවශ්‍ය වන්නේ මුදල් යටිමඩි ගැසීමට මිස වෙනත් කාර්යයකට නොවේ යැයි දෙමාපියෝ චෝදනා කරති.

මෙම මුදල් එකතු කර ඇත්තේ පන්ති මට්ටමිනි. දෙමාපියන් විසින් ලබාදුන් රුපියල් 10,000.00 ක මුදල සඳහා කිසිදු ලදුපතක් නිකුත් කර නැත.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු ගු‍ණසේකර මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ඔහු කීවේ මෙවැනි කතාවකි.

“අපි කිසිම මුදල් අයකිරීමක් කරලා නෑ. මේ පාසලට අලුතෙන් ඇතුල්වෙන ළමයින්ට ඩෙස් පුටු නෑ. අපි ඒ ගැන දෙමාපියන්ට කිව්වා. දෙමාපියන් කණ්ඩායම් හැටියට හැදිලා ඩෙස් සහ පුටු 161ක් බැගින් පාසලට ගෙනත් දුන්නා. මම කිසිම මුදලක් එකතු කළේ නෑ. ළමයින්ට ඩෙස් පුටු නැතිව අධ්‍යාපන කටයුතු කරන්න බැරි නිසා එහෙම කරන්න වෙනවා. අපිට බොරුවට චෝදනා කරන්න එපා.” යැයි කියමින් ඔහු දුරකථනය විසන්ධි කළේය.

වැලිමඩ පාසලක ඉගෙනුම ලැබූ සාමාන්‍ය පෙළ විශිෂ්ඨ සම්මාන 09ක් ලබාගත් සිසුවකු ද බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට සුදුසුකම් ලබා තිබිණි. නමුත් පාසලට ඇතුළත්වීමේ දී රුපියල් 30,000.00ක පමණ මුදලක් අයකරන බැවින් එය ගෙවාගත නොහැකිව ඔහු බණ්ඩාරවෙල පාසලට නොපැමිණි බව බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ ම ගුරුවරු කියති.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රකාශකයකු කීවේ විදුහලේ ඩෙස් පුටු අතිරික්තයක් ද ඇති බවයි. එබැවින් උසස් පෙළ සිසු සිසුවියන්ට පාසලට පැමිණෙන විට ඩෙස්පුටු පිටතින් රැගෙන ඒමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු පෙන්වා දෙයි. දෙමාපියන්ට හිතුමතයේ පාසලක ඩෙස් පුටු ගොඩගැසීමට කිසිම හැකියාවක් නැත. එවැනි ඩෙස් පුටු හිගයක් ඇත්නම් විදුහල්පතිවරයා ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී තිබිය යුතුය. අපි ඒ පිළිබඳ පසුව විමර්ශනය කරන බව ද මෙහි සඳහන් කර තැබිය යුතුය.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට විදුහල්පති ලෙස පත්ව ආ සරත් බන්දු ගුණසේකර වැඩ බාරගැනීමට පෙර ‍විදුහල්පති කාමරයේ උළුඅස්සකින් අපළ යැයි කියමින් එම උළුඅස්ස තිබූ ස්ථානය වෙනස් කර ශාන්තිකර්මයක් ද කරවූයේය. ඒ සම්බන්ධයෙන් එවකට අප වාර්තා කළ ලිපිය මෙතැනින්.

ඔහුට ඇඳීමට අවශ්‍ය ඇඳුම් පවා මිලදී ගත්තේ ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදලින් බවට ද චෝදනා එල්ල විය. එම සිද්ධිය ද අපි වාර්තා කළෙමු. එම ලිපිය මෙතැනින්.

එම අනාවරණයෙන් පසු විදුහල්පතිවරයා තමන්ට ලැබුණු තෑගි බෝග ආපසු හරවා යැවූ බව ද අපි වාර්තා කළෙමු. එම ලිපිය මෙතැනින්.

1 COMMENT

  1. මුදල් සහ බලය වෙනුවට, රජයේ පාසල් වල දක්ෂ ළමයින්ට මුල් තැන දෙන්න! මේ පාසැලත් එසේ විය යුතුයි!😔

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!