spot_img
spot_imgspot_img

පාසල් සංවර්ධනයට කියා කෝටි ගණන් පිල්ලි ගහපු හැටි අනාවරණය වෙයි

පුවත්

විදෙස්

හොඳම පාසල ළඟ පාසල බවට පත්කිරීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ පාසල් සංවර්ධනය සඳහා ලබාදුන් මුදල්වලින් රුපියල් කෝටි 26කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා කර ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේ අවසන් විගණන වාර්තාවේ දක්වා තිබේ.

පලුගස්වැව මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා දී තිබූ රුපියල් කෝටි 10ක මුදලකට සිදුවූ දෙයක් පවා සොයාගත නොහැකි වී තිබේ.

එකම කාර්යයක් සඳහා කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා ඇති අතර ඇසත්මේන්තුවට වඩා වැඩියෙන් මුදල් ගෙවා ඇති බව ද වාර්තා වේ. එමෙන් ම සිදුනොකළ ඉදිකිරීම් සඳහා පවා මුදල් ගෙවා ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවේ දැක්වේ.

  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පලුගස්දමන විද්‍යාලයට ශ්‍රවණාගාරයක අවශ්‍යතාවක් නොතිබිය දී ඒ සඳහා මුදල් පවා නොමැති තත්වයක පුද්ගලයන් 4,000කට වැඩි පිරිසකට අසුන්ගත හැකි ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 54කට ඇස්තමේන්තු සකස් කර ඇත. 2017 අප්‍රේල් මස 05 වැනි දින කොන්ත්‍රාත්කරු හා ප්‍රධාන ලේකම්වරයා ගිවිසුමක් අත්සන් කර ඇති අතර 2017 අප්‍රේල් මස 28 වැනි දින අත්තිකාරම් මුදල් වශයෙන් කොන්ත්‍රාත්කරුට රුපියල් කෝටි 10ක් ගෙවා ඇත. නමුත් මේ වනතුරුම එම ශ්‍රවණාගාරයේ ඇත්තේ කොන්ක්‍රීට් කණු කිහිපයක් පමණි.
  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෑගම මුස්ලිම් විද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අදාළ බිල්පත් අනුව කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 76කි. එසේ වුව ද 2017 වර්ෂයේ දී කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති මුදල   රුපියල් ලක්ෂ 96කි. ඒ අනුව කොන්ත්‍රාත්කරුට රුපියල් ලක්ෂ 20ක් වැඩිපුර ගෙවා තිබිණි.
  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ මහානාම විදුහලේ ආපන ශාලාව ඉදිකිරීමට වැඩ අයිතම 32ක් අනුමත කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 27ක මුදලකට ගිවිසුම් ගත වී තිබිණි. නමුත් උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අනුමත නොකළ අතිරේක වැඩ අයිතම් 13ක් ඇතුළත් ව රුපියල් ලක්ෂ 55ක මුදලක් ගෙවා තිබේ. ඒ අනුව වැඩිපුර ගෙවා ඇති මුදල ලක්ෂ 28කි.
  • ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ප්‍රතිපාදන මත සිදුකළ ඉදිකිරීම් වෙනුවෙන් මැනුම්පත්, වැඩ අවසන් වාර්තාව හා බිල්පත් ගෙවීම් සාරාංශ ඇතුළු ලියකියවිලිවල මුල්පිටපත් මත එක් අවස්ථාවක දී ද එම ලියකියවිලිවල ඡායාපිටපත් මත තවත් අවස්ථාවක දී ද වශයෙන් දෙවරක් එකම ව්‍යාපෘතියට මුදල් ගෙවූ අවස්ථා ද විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වේ. මෙලෙස ද්විත්ව ගෙවීම් මගින් වංචනිකව ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 88කි.

උතුරු මැද පළාත තුළ හොඳම පාසල ළඟම පාසල යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උතුරු මැද පළාතේ වනෙම ආයතනක් ද ස්ථාපිත කර තිබූ අතර එම ව්‍යාපෘති සඳහා රජයෙන් වෙන්කර තිබූ මුදල රුපියල් කෝටි 560කි.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ රජයේ විගණකාධිපතිවරයා කර ඇත්තේ නියැදි පරීක්ෂණයක් පමණක් බවයි. නමුත් තම වෘත්තීය සමිතිය සතුව, අක්‍රමිකතා පිළිබඳ මීට වඩා බොහෝ තොරතුරු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි. නාච්චදූව ප්‍රදේශයේ පාසලක් ඉදිකිරීමට කියා රුපියල් කෝටි ගණනක් කොන්තාත්කරුට ගෙවා ඇතත් එවැනි පාසලක් ඉදිකර නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති අතර විමර්ශනයක් පවත්වන ලෙස උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද පැමිණිලි කරන බව ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!