spot_img
spot_imgspot_img

“ලෝකය ම විශ්මයට පත්කළ සොයාගැනීමක්” අද වැනි දවසක් (ජනවාරි 06)

පුවත්

විදෙස්

පෘථිවිය මත ඇති ගොඩබිම් ඒ මේ අත පාවෙමින් තිබෙන බව ලෝකයට සනාථ කර පෙන්වා අදට වසර 110ක් සම්පූර්ණ වෙයි. මහද්වීප ප්ලාවිතය යන මෙම සිද්ධාන්තය 1912 ජනවාරි 06 වැනි දා ඇල්ෆ්‍රඩ් වෙජනර් විසින් වඩාත් විද්‍යාත්මක ව ඉදිරිපත් කරන ලදී.

ඔහු සිය පර්යේෂණ පත්‍රිකාවක් මගින් එදින කියා සිටියේ ඇමෙරිකානු මහාද්වීපය, යුරේසියාව සහ අප්‍රිකාව සමඟ තනි විශාල ගොඩබිමක් ලෙස පැවත ඇති බවයි. වෙජනර්ගේ සිද්ධාන්තය ඔහු ස්වාධීනව ගොඩනගා තිබුණ ද ඔහුට පෙර සිටි ෆ්‍රෑන්ක්ලින් කොක්ස්වෝති (1848-180) රොබෙටෝ මැන්ටොවාන් (1889-1909) විලියම් හෙන්රි පිකරින් (1907) සහ ‍ෆ්‍රෑන්ක් බස්ලි ටේලර් (1908) ඊට සමාන අදහස් වරින් වර කියා තිබිණි.

ඇල්ෆ්‍රඩ් වෙජනර්

ඇල්ෆ්‍රඩ් වෙජනර් තම උපකල්පනය 1912 ජනවාරි 06 වැනි දා ජර්මානු භූ විද්‍යා සංගමයට ඉරිපත් කළේය. ඔහු පවසා ඇත්තේ මහාද්වීප එකිනෙක වෙන් වී වර්තමානයේ පවතින ස්ථාන වෙත යාමට පෙර පැන්ජියා නම් තනි ගොඩබිමක් සෑදී තිබූ බවයි.

“මහාද්වීපික ප්ලාවිතය” (1912-1915)  සහ මහාද්වීපවලට කලින් තිබූ ආකාරය උපකල්පනය කරමින් විධිමත් ආකාරයට ඉදිරිපත් කළ පුද්ගලයා වෙජර්නර් ය. මෙම ක්‍රියාවලිය සඳහා ඔහු බොහෝ සාක්ෂි ඉදිරිපත් කළ ද, මෙම ප්ලාවිතයට හේතු විය හැකි භෞතික ක්‍රියාවලීන් සඳහා ඒත්තු ගැන්වෙන පැහැදිලි කිරීමක් කිරීමට ඔහුට නොහැකි විය. එකල ඔහුගේ අදහස වූයේ පෘථිවිය භ්‍රමණයේ කේන්ද්‍රාපසාරී ව්‍යාජ බලය හෝ තාරකා විද්‍යාත්මක පූර්වගාමීත්වයේ කුඩා අංගයක් මගින් මහාද්වීප වෙන්කර ඇති බවයි. නමුත් ඔහු පවසන එම ක්‍රියාවලිය මෙවැනි මහද්වීප වෙන්වීමක් සඳහා ප්‍රමාණවත් නොවන බව ගණනය කිරීම්වලින් පෙනී ගියේය.  

පාථිවි අභ්‍යන්තරය සකස්වී ඇත්තේ ස්ථර කීපයකිනි.පෘථිවිය මතුපිට කලාපය පාථිවි කබොල හෙවත් ශිලා ගෝලය ලෙස හඳුන්වයි.මෙම කලාපය එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි හෙවත් භූ තැටි වලින් නිර්මාණය වී ඇත.මෙම කලාපයට යටින් පිහිටා ඇත්තේ ප්‍රාවරණය නැමති කලාපයයි.මෙම ප්‍රාවරණ කලාපය මතුපිට අති විශාල ලවණ සාගරයක් නිර්මාණය වී ඇත.‍මෙම කලාපය මත ඊට ඉහලින් ඇති පෘථිවි කබොලේ පාෂාණ තැටි පාවෙමින් පවති.සාමාන්‍යයෙන් වර්ෂයකට සෙන්ටිමීටර් කීපයක් මෙම පාෂාණ තැටි විවිධාකාර දිශාවල‍ට පාවෙමින් පවති.මෙම ක්‍රියාවලිය මහාද්වීප ප්ලාවිතය යනුවෙන් හඳුන්වයි.

භූ තැටි පිහිටා ඇති ආකාරය

ඔහු එදා ඉදිරිපත් කරන ලද න්‍යාය වර්තමානයේ පිළිගනු ලැබුව ද, වසර ගණනාවක් තිස්සේ ප්‍රතික්ෂේප කරන ලදී.  එක් ගැටලුවක් වූයේ පිළිගත හැකි ගාමක බලවේගයක් ඔහු පෙන්වා නොදීමයි. දෙවැන්න නම් මහද්වීපික චලිතයේ වේගය ‍වෙජනර් විසින් දදක්වා තිබුණේ වසරකට සෙන්ටි මීටර 250ක් පමණ මහද්වීපයක් චලනය වන බවයි. නමුත්  මෙය පිළිගත හැකි වේගයක් වූයේ නැත. අද එය වසරකට සෙන්ටිමීටර 2.5ක් ලෙස සැළකේ. වර්තාමන තහවුරු කිරීම්වලට පෙර වෙජනර් පැවසූ වේගය අනපේක්ෂිත ලෙස ඉහළ මට්ටමක පැවතිනි. තවත් ගැටලුවක් වූයේ ඔහු භූ විද්‍යාඥයකු නොවීමයි. ඒ නිසාම වෙජනර්ගේ පැහැදිළි කිරීම් පිළිගැනීමට බොහෝ දනකු මැළිි වූහ.

ඉංග්‍රීසි ජාතික භූ විද්‍යාඥයකු වන ආතර් හෝම්ස් මහාද්වීපික ප්ලාවිතය පිළිබඳ න්‍යාය වඩාත් ප්‍රකට කළේය. ඔහු 1931 දී කියා සිටියේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති තාපය සහ ද්‍රවමය ලෙස පවතින ලෝහ මගින් ඇතිකරණ විකිරණ ක්ෂයවීමෙන් නිපදවෙන තාපය විසිරී යන බවයි. මේ හේතුවෙන් පෘථිවිය මතුපිට ඇති භූ තැටි ඒ මේ අත ගමන්කරන බව ප්‍රකාශ කෙරිණි.

හෝම්ස් යෝජනා කළේ භූ තැටි මුහුදට යටින් පැවතිය හැකි බවයි. 1928 දී පමණ පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවන සංවහන ධාරා මේ මහාද්වීප තල්ලු කර හැරීමට ගාමක බලය විය හැකියැයි ද මතයක් ගොඩනැගිණි.

1947 දී මොරිස් එවින්ගේ නායකත්වයෙන් යුතු විද්‍යාඥයන් කණ්ඩායමක් මධ්‍යම අත්ලාන්තික් සාගරයේ නැගීමක් ඇති බව තහවුරු කළ අතර විද්‍යාඥයයන් සබ්මැරීන හදුනාගැනීමත් සමඟ සාගර පත්ල හරහා චුම්භක විචලනයන් අධ්‍යයනය කරන්නට හැකිවිය.

සාගර පත්ලේ සීබ්‍රාගේ ඉරි වැනි රටා ඇති බව ද ඒවා අධ්‍යයනයෙන් පෙනී ගොස් තිබුණේ නව මැග්මා පෘථිවි ගැඹුරේ සිට මෙම දුර්වල කලාප හරහා පහසුවෙන් නැගී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර අධ්‍යයනයන්ගෙන් තේරුම් ගියේ හෝම්ස් නිවැරදි බවයි. සාගර ඉරිතැලීම් යනු පෘථිවි කබෝල මායිම් බව අවවබෝධ විය. ඉන් පසු භූ තැටි භෞතික විද්‍යාවේ කොටසක් බවට පත්විය.

ජීව විද්‍යාත්මක සාක්ෂි

භූ තැටි සහ මහද්වීප චලනය පිළිබඳ සාක්ෂි දැන් ඉතාමත් පුළුල් වී තිබේ. මහද්වීපවල වෙරළ ආශ්‍රිතව සමාන ශාක සහ සත්ව ‍ ෆොසිල දක්නට ලැබෙන අතර ඒවා වසර මිලියන ගණනකට පෙර එකට එක්ව තිබූ දැවැන්ත ගොඩබිම් බවට ‍මෙය හොඳ සාක්ෂියකි. කුඩා කිඹුලකු වැනි මිරිදිය උරගයකු වන මෙසෝසෝරස්ගේ ෆොසිල මේ සඳහා එක් හොඳම උදාහරණයකි. අප්‍රිකාවේ, ඉන්දියාවේ සහ ඇන්ටාක්ටිකාවේ ප්‍රදේශවලින් එකම වයසේ පාෂාණවලින් ගොඩබිම උරගයකුවන ලිස්ට්‍රොසෝරස්ගේ ෆොසිල සොයාගැනීමටත් හැකිවූයේ මේ සිද්ධාන්තය සනාථ කරමිනි.

භූ විද්‍යාත්මක සාක්ෂි

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලබාදිය හැකි භූ විද්‍යාත්මක සාක්ෂි අති විශාල ප්‍රමාණයක් ඇති අතර මින් වඩාත්ම වැදගත්  සහ පුදුමය ඇතිකරන සුළු සාක්ෂියක් වන්නේ අප්‍රිකාවේ සහ ඇමෙරිකාවේ මහද්වීපවල දාරයන් එකිනෙකට මනාව ගැලපීමයි. එම මහද්වීප දෙක අතීතයේ එක්ව තිබූ බවට තවත් භූ විද්‍යාත්මක සාක්ෂි රැසක් තිබේ. ඇමෙරිකාවේ සහ දකුණු අප්‍රිකාවේ ඇති කඳු පන්තිවල අඛණ්ඩතාව අදටත් හොඳින් නිරීක්ෂණය කළ හැකිය. අත්ලාන්තික් සාගරය මේ මහද්වීප දෙක වෙන් කර තිබේ.

දේශගුණික සාධක

මෙම න්‍යාය අර්ථ නිරූපණය කිරීමට දේශගුණය ද උපකාරී විය. එකම ඛාදන රටාවේ සාක්ෂි විවිධ මහාද්වීපවලින් හවුවිය. වර්තමානයේ සෑම මහාද්වීපයකට ම තමන්ගේ වර්ෂාපතනය, සුළං, උෂ්ණත්වය ආදිය සම්බන්ධයෙන් අනන්‍යතාවයක් තිබේ. නමුත් සියලු මහද්වීප එක්ව තිබූ අතීතයේ ඒකාබද්ධ දේශගුණයක් පැවතිණි. මේ බව සනාථ කරමින් දකුණු අප්‍රිකාවේ, ඇමෙරිකාවේ, ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ අතීත දේශගුණික සාධක අධ්‍යයනයේ දී පෙනී ගොස් ඇත්තේ වසර මිලියන ගණනකට පෙර එකම දේශගුණයක් මේ ප්‍රදේශවල තිබූ බවයි.

ඉතිහාසය පුරාම සිදුවන ක්‍රියාවලියකි

මහාද්වීප ප්ලාවිතය පෘථිවි ඉතිහාසය පුරාම සිදුවන්නකි. මෙය අතීතයේ සිට විවිධ කැපී පෙනෙන අවධීන් ගතකර ඇති අතර ඒ සමඟ ජීවය ද පරිසරයට අනුවර්ථනය වී තිබේ. ඒ ඒ අවධීන්වල දී ලැබී ඇති දේශගුණික තත්වයන් අනුව පරිනාමය සිදුවූ බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණකි.

අවරුදු මිලියන 1100කට පමණ පෙර පළමු සුපිරි මහාද්වීපය ගොඩනැගීම සිදුවිය. අවුරුදු මිලියන 600කට පමණ පෙර එම සුපිරි මහද්වීපය කැබලිවීම ආරම්භ වී ඇති අතර වසර මිලියන 150ක් පමණ ගත වී දෙවැනි සුපිරි මහද්වීපය නිර්මාණය වී ඇති බව නූතන විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි එය වසර මිලියන 60ක පමණ කෙටි කාලයක් (පෘථිවියේ ඉතිහාසය සැළකූවිට ඉතා කෙටි කාලයකි) පැවත ඇත. වසර මිලියන 540කට පමණ පෙර පන්නෝටියා ගොන්ඩ්වානා සහ ප්‍රෝටෝලෝරාසියාව බෙදී වෙන්ව ගියේය. අවුරුදු මිලියන 500ට පමණ පෙර නව සාගර කලාප දෙකක් බිහිකරමින් ප්‍රෝටෝලෝරාසියාව, ලෝරෙන්ටියා, සයිබීරියාව සහ බෝල්ටික් නමින් නව මහාද්වීප 03කට බෙදී ගියේය. අවුරැදු මිලියන 485කට පෙර ඇවලෝනියාව ගොන්ඩ්වානා (ඇමෙරිකාව, නෝවා ස්කොටියා සහ එංගලන්තයට අනුරූප වූ භූමියකි) බෝලටික් ලෝරෙන්ටියා සහ ඇවලෝනියා එකිනෙක ගැටී ගොඩබිමක් නිර්මාණය විය. එය වර්තමානයේ යුරේමෙරිකා ලෙස හඳුන්වයි. අවුරුදු මිලියන 300කට පමණ පෙර පෘථිවියේ දක්නට ලැබුණේ විශාල මහාද්වීප දෙකක් පමණි. එම මහද්වීප දෙක එකක් පැන්ජියා ලෙසත් අනෙක සයිබීරියාව ලෙසත් හඳුන්වයා. භූ විද්‍යාත්මක කාල පරිනාමය බැලූ විට එය වසර මිලියන 225කට පෙර බිඳී යාම ආරම්භ වී තිබේ. පැන්ජියා යනු සියලු ජීවීන් ව්‍යාප්ත වූ තනි මහද්වීපයක පැවැත්මක් තිබූ කාලයයි. මහාද්වීප දෙකම එකම සාගරයක් වන පන්තලස්ස සාගරයෙන් වට වී තිබිණි. ඉන්පසු අදින් වසර මිලියන 200කට පමණ පෙර පැන්ජියා බිඳීයාමේ ප්‍රතිඵලයක් ලෙස‍ ලෝ‍රාසියාව සහ ගොන්ඩ්වානා ඇතිවිය. ඇන්ටාක්ටිකාව ද ආරම්භ විය. එතැන් පටන් වෙන් වෙන්ව ගිය ගොඩබිම්වල සිටි එකම ජීවීන් වෙනස් ලෙස පරිනාමය වන්නට විය.

ජීවීන්ට සිදු වූ දේ

මහාද්වීප වෙන් වූ පසු සෑම ජීවී විශේෂයක් ම වෙන් වෙන්ව පරිනාමය වෙමින් නව පරිනාමීය ශාකා ඇතිකරගත්ත ද විවිධ මහාද්වීපවල තවමත් එකම ලක්ෂණ සහිත ජීවීන් දක්නට ලැබෙයි. ජීවීන්ගේ ජානමය ලක්ෂණ සොයා පරීක්ෂාකිරීමෙන් ද මේ සිද්ධාන්තය සනාථ කරගත හැකිය. ඒ ඒ මහාද්වීපයන්හි සිටින ජීවීන් අදටත් සමාන ජානමය ලක්ෂණ දරයි. ඔවුන් අතර ඇති වෙනස නම් අලුතෙන් බිහි වූ හුදකලා ගොඩබිම්වල ඔවුන්‍ ඊට සුදුසු ලෙස හැඩ ගැසෙමින් නව සැකසුම් ඇතිකරගෙන ඇත. එනම් ඒ ඒ පරිසරයට උචිත ලෙස පරිනාමය වී තිබේ. මේ සඳහා උදාහරණ දහස් ගණනක් ජීව ලෝකයෙන් සොයාගත හැකිය.

මේ අනුව අදින වසර 110කට පෙර ඇල්ෆ්‍රඩ් බෙජිනර් පෘථිවිය මත ඇති ගොඩබිම් ඒ මේ අත පාවෙමින් තිබෙන බව ලෝකයට සනාථ කර පෙන්වීම විද්‍යාවේ දියුණුවට ඉඩ සැළසූ මහා සෙසායාගැනීමක් ලෙස සැළකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!