ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත්තා කියලා එංගලන්තේ වැසියන්ගෙන් හතරෙන් පංගුවක්වත් දන්නවා ඇති කියලා හිතන්න අමාරුයි. ඒත් තමන්ගේ ජයග්‍රණයක් නොවුණත් ශ්‍රී ලංකාවෙන් භාගයකට වැඩි පිරිසක් එංගලන්තය T20 කප් එක දිනාගත් බව දන්නවා යැයි අනුමාන කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය මේකට හොඳම සාක්ෂියක්.
එංගලන්තේ අද ඊයේ හමුවුන හතර පස්දෙනෙකුට අද මැච් එක ගැන කිව්වා. එක්කෙනෙක්වත් දැන ගෙන හිටියේ නැහැ. එංගලන්තය වර්ල්ඩ් කප් එකක් දිනා ගන්නයි යන්නේ කිව්වත් ඊට එහා කිසි දෙයක් අහන්නත් ඔවුන්ගේ උවමනාවක් තිබුණේ නැහැ. ෆුට් බෝල් නම් ඕකේ. ක්‍රිකට් නම් අදාළ නෑ වගේ තමයි ඔවුන්ගේ ප්‍රතිචාරය.
එංගලන්තය ක්‍රිකට් උපන් රට වුණත් බහුතරයක් දෙනා අඩුම කණ්ඩායමක ක්‍රීඩකයන් ගණන, පන්දු වාරයකට පන්දු ගණන වගේ දේවල්වත් දන්නේ නැහැ. ෆුට් බෝල් එක්ක ගත්තම ක්‍රිකට් කම්මැලි ක්‍රීඩාවක් හැටියට මොවුන් සලකන බවයි මට නම් හැඟෙන්නේ. ලෝඩ්ස් ක්‍රීඩාංගණය ක්‍රිකට් හා සම්බන්ධ අය විශේෂ ස්ථානයක් ලෙස සැලකුවත් ක්‍රිකට් ගැන උනන්දුවක් නැති බොහෝ දෙනෙක් එම ක්‍රීඩාංගණය ගැන දන්නේ නැහැ. ලංඩන් ඉන්න සුදු ජාතිකයන් කිහිපදෙනෙක්ගෙන් කිහිප වතාවක් මේ ගැන මා අසා තිබෙනවා.
කෙසේ වෙතත් වෙනත් ක්‍රීඩාවන්ට වගේම ක්‍රිකට්වලටත් ලැබෙන පහසුකම්වල අඩුවක් නම් මෙහි නැහැ. ඊට උනන්දු සියලු දෙනා මේ පිළිබඳ හොඳින් දන්නා අතර අනෙක් අය ප්‍රවෘත්තියක් ලෙස යම් ජයග්‍රහණයක් ගැන දැන ගත්තත් ඔවුන් ඒකෙන් අපි වගේ උදම් අනන බවක් නම් පේන්න ඇත්තෙම නැහැ. ඒත් පාපන්දු තරඟයක් ජය ගැනීම වගේම පැරදීම වුණත් හොඳට අඩිපුඩි ගහලා නන්නත්තාර වෙන්න අවස්ථාවක්.
එංගලන්තයට එතරම්ම නොදැනෙන ක්‍රිකට් අපට මෙතරම් දැනෙන්නේ අපට වෙනත් එවැනි දෙයක් නැති නිසා විය යුතුයි. මේකේ ඇති වැදගත්ම පණිවුඩයත් එයයි. ඉන්දියාව, පාකිස්ථානය වගේම ශ්‍රී ලංකාවෙත් ජීවයක් සහිත ක්‍රීඩාව ක්‍රිකට් බව අවිවාදිතයි.
අප ක්‍රිකට් සම්බන්ධයෙන් විටෙක උද්දාමයට පත්වන්නෙත් තවත් විටෙක දැඩිව සැලෙන්නෙත් ලෝකයක් ඉදිරියේ සාඩම්බර ජයග්‍රහණ අත්කරගත හැකි අපට හිමි එකම ක්‍රීඩාව එය වීමත් නිසයි. එනිසාම ලංකාවේ ක්‍රිකට් රැක ගැනීම ජාතියේ සන්තුෂ්ටියට හේතුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එනිසාම, පිස්සන්ගෙන්, හොරුන්ගෙන්, ජාවාරම්කරුවන්ගෙන්, දැනට අපට ජයග්‍රහණ සංතුෂ්ටිය බුක්ති විඳිය හැකි එකම දෙය වන ක්‍රිකට් රැකගත යුතුය.
(මහින්ද රූබසිංහ)